උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක්

ජගත් ගේ සතියේ සටහන  -  78

තීරුබදු අඩුකර ගන්න අනුර මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක 

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී ගිනිගෙන විනාශ වී ගිලී ගිය ' එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බව නීතිවේදින් පවසනවා.

මෙය ශ්‍රී ලංකා අධිකරණයක් විසින් නියම කළ විශාල ම දඩ මුදල බව ද ඔවුන් පෙන්වා දෙනවා.

'එක්ස්ප්‍රස් පර්ලි නෞකාව 2021 මැයි 21 වැනිදා රසායනික ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ පැටවූ බහාලුම් 1486 ක් සමඟින් ශ්‍රී ලංකා මුහුදු තිරයට ඇතුළු වී තිබුණා. මේ වන විට නැවේ තිබූ බහාලුම් කිහිපයක ගින්නක් හටගෙන තිබී ඇති නමුත් නැවේ කපිතාන්වරයා ඒ බවක් කොළඹ වරායේ බලධාරීන්ට දැනුම් දී තිබුණේ නෑ. නැව කොළඹ වරායට ඇතුළු වූ දිනයට පසු දිනයේ එම නැවේ දේශීය නියෝජිතයා නැවේ ගින්නක් හටගෙන ඇති බව හාබර් මාස්ටර් ට දැනුම් දී තිබෙනවා. මැයි 25 වනදා වන විට නැව සම්පූර්ණයෙන් ම ගිනි ගනිමින් තිබී ඇති අතර ජුනි 02 වනදා වන විට නැව සම්පූර්ණයෙන් ම ගිලී ගොස් තිබුණා.

මෙම නකැව ගිලී යෑමෙන් සිදුවූ විනාශය පිළිබඳව අදාළ නැව් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වුණා. ඒ අතර පරිසර යුක්ති කේන්ද්‍රය හා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු සංවිධාන කිහිපයක් මෙම අනතුරෙන් සිදුවූ හානිය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්  ගොනු කළා.

මෙම පෙත්සම්වල තීන්දුව වසර 4 කට පසු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පසුගිය 24 වැනිදා ලබා දුන්නා.

එමෙන්ම එවකට නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමතිව සිටි නාලක ගොඩහේවා සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සභාපති දර්ශන ලහදපුර මහත්මිය ද මේ පිළිබඳව නිසි පියවර නොගැනීම හේතුවෙන් ඔවුන් ද මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ සඳහන් වෙනවා.

මේ අතර නීතිපතිවරයා ද 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් සිදුවී ඇති හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා. එම නෞකාව හිමි සමාගම ද නැවේ තිබු බහාලුම් විනාශවීම ගැන වන්දි ලබා ගැනීම සඳහා ලන්ඩනයේ රක්ෂණ සමාගමකට එරෙහිව නඩුවක් පවරා ඇති අතර එහි තීන්දුව ලැබෙන තුරු සිංගප්පූරු අධිකරණය නීතිපතිවරයා පවරා ඇති නඩුව විභාග නොකොට තබාගෙන ඇති බව ද වාර්තා වෙනවා.

නීති විශාරදයින් පවසන්නේ නීතිපතිවරය මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ දී මහාධිකරණයේ නඩු පැවරිය යුතුව තිබු බවයි. එසේ නම් මේ අනතුරින් සිදුවූ හානියට ඩොලර් බිලියන 6. 4 ක් ලබා ගත හැකිව තිබූ බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එසේ ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය  පසුගිය 24 වනදා ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බව ද නීති විශාරදයින් පවසනවා.

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ සිද්ධියට ශ්‍රී ලංකාවේ අධිකරණයක නඩු පවරන්නේ නැතිව සිංගප්පූරුවේ අධිකරණයක නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණයට එකල නීති විශාරදයින් රැසක් විරෝධය පළ කොට තිබු නමුත් එවකට අධිකරණ ඇමතිව සිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගේ උපදෙස් අනුව නීතිපතිවරයා නඩුව සිංගප්පූරුවේ අධිකරණයක ගොනු කළ බවයි නීති විශාරදයින් පවසන්නේ.

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව හිමි සමාගම මේ වන විට වසාදමා ඈවර කොට ඇති බැවින් එම සමාගමෙන් වන්දි ලබා ගැනීම අඩමාන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් වෙන්නේ නෞකා සමාගම හා එහි කපිතාන්වරයාගෙන් හා නැවේ දේශීය නියෝජිත සමාගමෙන් මෙම වන්දි මුදල අයකර ගත හැති බවයි. නැව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු වන්දි මුදල නොගෙවන්නේ නම් නැව් සමාගම හා එහි දේශීය නියෝජිත සමාගම සතු ශ්‍රී ලංකාවේ තිබෙන දේපොළ රාජසන්තක කොට විකුණා එම මුදල ලබා ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවේ දැක්වෙනවා.

'එක්ස්ප්‍රස් පර්ල්' අරන් සිංප්පූරු ගියේ ? කවුරු හරි කුට්ටියක් ගිලල ද ??

මේ අතර නීති විශාරදයින් පවසන්නේ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ සිද්ධිය ගැන පරීක්ෂණ පමා කිරීම, ශ්‍රී ලංකාවේ නඩු පවරන්නේ නැතිව සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීම හා නෞකාවේ සිද්ධිය ගැන පරීක්ෂණ සිදු කෙරන අතරතුර කිසියම් අයකුට අල්ලස් මුදලක් ලැබී තිබේ ද යන කරුණු සොයා බැලීම සඳහා රජය විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව යි.

⋆⋆⋆     ⋆⋆⋆    ⋆⋆⋆    ⋆⋆⋆

‍සජිත් ට මල පැනලා

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් පාලන මැතිවරණ පිට පිට ම පරාජය වීම හේතුවෙන් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකළ යුතු යැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවති බව පසුගිය සතියේ පුවත්පත් මඟින් හෙළ කළා.

එයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් කිහිප දෙනකු මාධ්‍ය හමු පවත්වමින් එම පුවත අසත්‍ය බවත්, සමගි ජන බලවේගයේ එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ප්‍රකාශ කළා. මෙම අසත්‍ය ප්‍රචාර ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ පවුලේ මාධ්‍ය විසින් බව ද ඔවුන් චෝදනා කළා.

 

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුනට සාකච්ඡාවකට  ආරාධනා කොට තිබු අතර එහි දි ඔවුන් වෙනුවෙන් රාත්‍රී භේජන සංග්‍රහයක් ද පවත්වා තිබුණා. පසුගිය සතියේ අප මේ පිළිබඳව අනාවරණය කළා.

පෞද්ගලිකව පැවති මෙම සාකච්ඡාව හා භෝජන සංග්‍රහය ගැන පුවත්පත්වල පළවීමෙන් පසු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහත් සේ කෝපයට පත්වූ බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් මන්ත්‍රීවරුන් දෙදෙනා තමාට කලින් නොදන්වා මෙම භෝජන සංග්‍රහයට සහභාගි වීම හා එයට රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටීම සජිත්ට ප්‍රශ්නයක් වී තිබු බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ සිද්ධියෙන් පසු සජිත්ට හිතවත් මාධ්‍ය මඟින් හර්ෂ ද සිල්වා ආචාර්යවරයාට හා කබීර් හෂීම් මහතාට ද ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබෙන්නේ ඔවුන් සජබ නායකත්වයෙන් සජිත් පන්නා දැමීමට රනිල් සමඟ එක්වී ඇති බව පවසමින්. හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාට ද මේ චෝදනාව නඟමින් 'මව්රට' ආදි සජිත්ට හිතවත් මාධ්‍ය වාර්තා පළ කරනවා.

සමගි ජන බලවේගය තුළ භේද නැතැයි යනුවෙන් සජිතගේ හිතවතුන් පුන පුනා ප්‍රකාශ කළත් ඇතුළත  භේද තිබෙන බව දේශපාලන විචාරකයින් පවසනවා. 

⋆⋆⋆   ⋆⋆⋆   ⋆⋆⋆   ⋆⋆⋆

දේශබන්දු දේශපාලනයට ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත්කිරීමේ යෝජනාව සම්සත කර ගැනීම අගෝස්තු 5 වනදා සිදු කිරීමට පාර්ලිමේන්තුවේ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධ ව ඇති චෝදනා පරීක්ෂා කිරීම සඳහා කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වි ඇති චෝදනා 31 ට ම ඔහු වරදකරු බව නිර්දේශ කොට තිබුණා.

ඒ අනුව ඔහු පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව අගෝස්තු 5 වනදා ඉදිරිපත් කෙරෙනවා. මෙම යෝජනවාට පක්ෂව ඡන්දය දෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කොට ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට තීරණය කොට ඇතැ යි වාර්තා වෙනවා.

පොලිස්පති ධූරයෙන් නෙරපා හරියොත් දේශබන්දු තෙන්නකෝන් මහතාට විශ්‍රාම වැටුප ද අහිමි වෙනවා.

මේ අතර ආරංචි මාර්ග පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කළ පසු ඔහු දේශපාලනයට පැමිණීමට තීරණය කොට ඇති බවයි.

ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයකු වශයෙන් පත්කිරීමට ඉඩ ඇති බව පොදුජන පෙරමුණු මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

විමුක්ති කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ  - චන්ද්‍රිිිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය ගේ 80 වැනි ජන්ම දිනය පසුගිය සතියේ යෙදී තිබුණා. ඒ සමඟම බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ 20 වැනි සංවත්සරය ද යෙදී තිබුණේ එම දිනයේ දී මය.

ඒ වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවයක් ද පැවති අතර ඇයට සුබ පැතීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් රාශියක් ද තානාපතිවරුන් ද පැමිණ සිටියා. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයකු වූ ශිවෂංකර් මෙනන් මහතා ද සහභාගි වුණා.

මෙහිදී හිටපු ජනාධිපතිනියගේ පුත් විමුක්ති කුමාරතුංග එංගලන්තයේ සිට සිය මෑණියන්ට සුබ පතමින් එවා තිබූ වීඩීයෝ පටයක් ද විකාශය කරනු ලැබුවා. එය නැරඹූ සැම දෙනාම කීවේ ''විමුක්තිත් දැන් විජය වගේ. වොයිෂ් එකත් ඒ වගේමයි" කියායි. එයට පිළිතුරු වශයෙන් චන්ද්‍රිකා ''එයා නං කවදාවත් දේශපාලනයට එන්නේ නැතැ" යි කියා සිටියා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් රාශියකට පනවන ලද අන්‍යොන්‍ය තීරුබදු අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත යි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ද ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 30% ක තීරු බද්දක් පනවා තිබෙනවා. ඉකුත් අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට 44% ක බද්දක් පනවා තිබු නමුත් ශ්‍රී ලංකා රජයේ දූත පිරිසක් ඇමරිකාවට ගොස් කරන ලද සාකච්ඡාවලින් පසු එය 30% දක්වා අඩු කරනු ලැබුවා.

එම බද්ද තවත් අඩු කර ගැනීම සඳහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සතියේ මාර්ගගත ක්‍රමය ඔස්සේ  ඇමරිකානු වෙළඳ මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට තිබුණා.

මෙම 30% බද්ද ගෙවීමට සිදුවුව හොත් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන ඇඟළුම්, රබර් සහ පොල් නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදනවලට ද පහර වදිනු ඇතැ යි ශ්‍රී ලාංකික අපනයනකරුවන් බිය පළකරනවා.

ශ්‍රී ලංකාවට වඩා අඩු තීරු බද්දක් වියට්නාමය, පිලිපීනය හා බංගල දේශයට පනවා තිබීම නිසා එම රටවල ඇඟළුම් නිස්පාදන සමඟ තරග කිරීමට තමන්ට නොහැකි බව ඇඟළුම් නිෂ්පාදකයින් හා මත්ස්‍ය නිෂ්පාදන ආයතනකරුවන් පවසනවා.

දෙරට අතර වෙළඳ පරතරය අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන ප්‍රමාණය වැඩි කිරීමටත් එරටෙන් ඛනිජතෙල් සහ බෝයිං ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳවත් සාකච්ඡා කල බව ද වාර්තා වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරුබදු අඩුකර ගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇමරිකානු බලධාරීන් සමඟ පැවැත්වීමට කටයුතු යොදා ඇතැ යි මුදල් අමාත්‍යාංශයෙන් වාර්තා වෙනවා.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එහි ප්‍රධානියා පැවසුවේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ තීරුබදු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පහරක් වනු ඇති බව යි.

ඉන්දියාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. ඒ මඟින් ඇමරිකාවෙන් ‌ඩොලර් බිලියන ගණනාවක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති අතර ඒනිසා ඇමරිකාව ඉන්දියාවට 10% පමණ අඩු තීරුබද්දක් පනවා ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.  

එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟළුම් නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ කර්මාන්තශාලා ඉන්දියාවට ගෙන යාම ගැන සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

  - ජගත් -