උණුසුම් පුවත්කාලීනපරිසරය

ප්‍රවේශම් වෙන්න, ආරක්ෂාකාරී පියවර ගන්න

අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අද (09) පස්වරු 5:30 සිට රාත්‍රී 11:30 දක්වා වූ කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර වෙරළ තීරය හරහා ශ්‍රී ලංකාව තුළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත..

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් විට ගිගුරුම් සහිත වැසි තත්වය මිලිමීටර 150 - 200 දක්වා වැඩි විය හැකි ය. පැයට කිලෝමීටර 60 දක්වා ප්‍රහාරක තද සුළං දිවයින තුළ ඇතිවිය හැකි යි. මුහුද ආශ්‍රිතව පැයට කිලෝමීටර 80 දක්වා එය වැඩි විය හැකි ය. මුහුදු රළ මීටර 5 ක් පමණ ඉහළ යා හැකි ය. නැවත දැනුම් දෙනතුරු මුහුදු නොයන්නැ යි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවයි .

◾ නාය යාම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද පස්වරුව උදා වීමට පෙර පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත්වී ජීවිත බේරා ගන්නා ලෙස විශේෂ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

 මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ, මැදදුම්බර, පන්විල, දොළුව, දෙල්තොට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද,

බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය, පස්සර, බදුල්ල, ලුණුගල, හපුතලේ, ඇල්ල, බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, මීගහකිවුල සහ ඌව පරණගම කොට්ඨාස ද,

මාතලේ දිස්ත්‍රික්කයේ,විල්ගමුව, අඹන්ගඟ කෝරළේ, රත්තොට, නාඋල, උකුවෙල සහ ලග්ගල පල්ලේගම කොට්ඨාසවල ද,

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ,වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ නුවරඑළිය වසම්වලට ද මේ අනතුරු ඇඟවීම නිකුත් කොට ඇත.

 නායයාම් අවදානම් ස්ථාන යනු මොනවාද?

පසුගිය වර නායගිය ස්ථාන හා ඒ ආශ්‍රිත ස්ථාන,නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න සහ මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.

වර්ෂාව දිගටම පැවතුණහොත් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව මහවැලි අධිකාරිය පවසයි.

දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඊයේ (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු, එල්.එස් සූරියබණ්ඩාර පැවසුවේ පවතින කාලගුණ පුරෝකථන අනුව දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බව යි.

විශේෂයෙන් අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ උතුරු ප්‍රදේශවලට තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ඇති වුවහොත් ප්‍රධාන ගංගාවන් නොමැතිව වුවද ඉදිරියේ දී ගංවතුර තත්ත්වයක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවද පැවසු ඒ මහතා ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ද ඔහු අවධාරණයෙන් සඳහන් කළේ ය.

 මේ වනවිට බොහෝ ජලාශවල අවදානම් මට්ටමට වඩා පහළ ජලමට්ටමක් පවතින බවත් පැවසු ඒ මහතා, වාරිමාර්ග ගණනය කිරීම් අනුව සමස්ත ජලාශවල ජල ධාරිතාවයෙන් 80% - 90% ත් අතර ප්‍රමාණයක් ගනු ලබන බවද සඳහන් කළේ ය.

ජලාශ 24 ක් දැනුත් වාන් දමමින්

මේ වනවිට විශේෂයෙන් නැගෙනහිර, උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත ආවරණය වන ජලාශවල වාන් දැමීම සිදුවෙන බවත් ප්‍රධාන ජලාශ 73 න් 25 ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 24 ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ ක‌ෙළ් ය..

මේ අතර මහවැලි ජලාශ 6 ක් මේ වනවිට වාන් දමනින් පවතින අතර, ලොග්ගල්ඔය, හෑපොළ, මාඳුරුඔය, කණ්ඩලයම, කලාඔය සහ කළුගඟ ඒ අතර වේ.

මහවැලි අධිකාරියට සම්බන්ධ ජලාශවල 95% ක පමණ ජල ධාරිතාවයක් ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 59% ක් වන බව මහවැලි කළමනාකරණ අධ්‍යක්ෂ, ජල කළමනාකරණ නිලන්ත ධනපාල මහතා  පැවසී ය.