ජගත් ගේ සතියේ සටහන - 64

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම්?
මෙයට වසර හයකට පෙර එනම් 2019 අප්‍රේල් 21 වැනි දා සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් නමැත්තා බව ඇමරිකාවේ FBI හෙවත් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශයේ ඒජන්තවරියක වන මෙරිලි ජේ. ගොඩ්වින් නමැත්තිය කැලිෆෝනියාවේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශයක සඳහන් කොට තිබෙනවා. 
එෆ්බීඅයි ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා හා සාක්ෂි උපයෝගී කරගෙන මෙම තොරතුරු සොයාගත් බවයි එම දිවුරුම් ප්‍රකාශයේ දක්වා තිබෙන්නේ.
සහරාන් හෂීම් අයිඑස්අයිඑස් (ISIS) සංවිදානය සමඟ ඍුවම සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව තුළ බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම, පුහුණු කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ බව ද මෙම විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.
එමෙන් ම සහරාන් හෂීම්ට මෙම කටයුතුවලට සහයෝගය දී ඇති තවත් තිදෙනකුගේ නම් ද මෙම දිවුරුම් ප්‍රකාශයේ දැක්වෙනවා.
මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් හා අහමඩ් මිල්ෂාන් යන මෙම තිදෙනා ත්‍රස්ත කඳවුරු පිහිටුවීම, තරුණයින් බඳවා ගැනීම හා ප්රචාරක කටයුතු වලට සහරාන් ට සහාය දී ඇති බවත් මොහොමඩ් නවුෆර් මෙහි සහරාන් ගේ දෙවැනියා ලෙස ක්‍රියා කළ බවත් එහි තව දුරටත් සඳහන්.
මොවුන් විසින් ත්‍රස්තවාදී කටයුතු සඳහා යූරියා, නයිට්ට්‍රේට්, බැටරි හා ස්වීච් ආදිය එකතු කොට ඇති අතර බෝම්බ ප්‍රහාරයේ දී වැඩි හානියක් සිදුකිරීම සඳහා ඒවාට යකඩ තැබලි එකතු කොට තිබෙනවා.
කොළඹ, මීගමුව හා මඩකළපුවේ දේවස්ථාන හා සංචාරක හෝටල්වල බෝම්බ පුපුරුවා හැරීමට මොවුන් කටයුතු කොට ඇති අන්දම ද ඔවුන් රැඳී සිටි ස්ථානවල CCTV දර්ශන හා වෙනත් සාක්ෂි මඟින් සොයාගත් බව ද එෆ්බීඅයි ඒජන්තවරියගේ දිවුරුම් ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.
මෙරිලි ජේ. ගොඩ්වින් මහත්මිය කැලිෆෝනියා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති දිවුරුම් ප්‍රකාශයේ සැකකරුවන් පිළිබඳ සියලු තොරතුරු ඔවුන් ගේ ප්‍රකාශ හා පිපිරීම්වල ඡායාරූප හා අවිආයුධවල ඡායාරූප ද ඇතුළත් කොට ඇති අතරඑය පිටු 71 කින් සමන්විතයි.
ඛේදනීය පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය
මේ අතර පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය වෙනුවෙන් කොටහේන පල්ලියේ සිට කොච්චිකඩේ පල්ලිය දක්වා පාගමනක් කතෝලික පල්ලිය විසින් සංවිධානය කොට තිබෙනවා. අප්‍රේල් 21 වැනි දින පෙරවරුවේ පැවැත්වෙන මෙම පාගමනින් පසු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන අතර විදේශීය තානාපතිවරුන් ඇතුළු අමුත්තන් රැසකට ද මෙයට ආරාධනා කොට තිබෙනවා.
අගරදගුරු හිමිපාණන් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මීට පෙර අගරදගුරු හිමිපාණන් පවසා තිබුණේ පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින් අල්ලා ගැනීමට රජය අපොහොසත් වුවහොත් එදිනට පසු රටපුරා දැඩි විරෝධතා ව්‍යාපාරයක් බවත්වන බවයි.
එම ප්‍රකාශයෙන් පසු විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක් අගරදගුරු හිමිපාණන් බැහැදැකීමට ගොස් සාකච්ඡාවක් පවත්වා තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද රැස්වීම්වල දී පැවසුවේ අප්‍රේල් මාසය අවසන්වීමට පෙර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන බවයි.
මේ අතර නැගෙනහිර පළාතේ හිටපු රාජ්‍ය ඇමතිවරයකු වූ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතුඅඩංගුවට ගෙන දින 90 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා. පිල්ලෙයාන් අත්අඩංග=වට ගෙන තිබෙන්නේ 2006 වසරේ දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ යි.
එහෙත් දැනට ස්වීට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින අසාද් මවුලානා නමැත්තා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් ද සම්බන්ධ බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිල්ලෙයාන් කෙරෙහි ද ඇස යොමුකොට තිබෙනවා.
පුංචි ඡන්දෙට දවස 22 යි
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ සඳහා ඇත්තේ තවත් දින 22 ක කාලයක් පමණයි.
මෙතෙක් නොලැබුණු පුංචි ඡන්දෙ මනාප අංක!
මේ සඳහා පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 71000 ක් පමණ ඉදිරිපත් වී සිටිනවා.
එහෙත් මැතිවරණ කොමිෂන් සභාව තවමත් මේ අපේක්ෂකයින් කිසිවකුටත් මනාප අංක ලබා දී නැහැ. මේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයින් තවමත් ඡන්ද ප්රචාරක කටයුතු ආරම්භ කර නැති බවයි වාර්තා වෙන්නේ.
පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීමේ දී සිදුවී ඇති අඩුපාඩු හේතුවෙන් නාමයෝජනා පත්‍ර 423 ක් ප්‍රතික්ෂේප වී තිබුණා.
තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම ගැන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව අභියාචණාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා.
මෙම පෙත්සම් විභාගයට ගත් අභියාචණාධිකරණය කොළඹ මහ නගර සභාව ඇතුළු නගර සභා හා ප්‍රාදේශීය සභා රැසක ඡන්ද කටයුතු අත්හිටවමින් රීට් ආඥානිකුත් කොට තිබුණා.
පසුව එම පෙත්සම් යළි පසුගිය සිකුරාදා විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 ක ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළි භාරගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළ අතර කලින් පනවා තිබූ අතුරු තහනම ද ඉවත් කළා.
මේ අනුව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් එම පළාත් පාලන ආයතනවල ඡන්ද ප්රචාරක කටයුතු ආරම්භ කොට තිබෙනවා.
අප්‍රේල් 4 වනදා සිට 6 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නියෝජිත පිරිස හා ශ්‍රී ලංකා රජය අතර බලශක්ති, ඩිජිටල්කරණය, සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරනු ලැබුවා.
මෙම ගිවිසුම්වලින් එකක් වූ ආරක්ෂක ගිවිසුම පිළිබඳව විපක්ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරනවා.
ඉන්දු ලංකා ගිවිසුමට විපක්ෂයේ දියාරු විරෝධතා
ආණ්ඩුව පවසන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නාවුක කටයුතු සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට ඉන්දියාවේ දී පුහුණුව ලබාදීම ආදි කරුණු එහි අඩංගුවන බවයි. මෙය හුදෙක් අවබෝධතා ගිවිසුමක් බව ද ආණ්ඩුව පවසනවා.
එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති දයාසිරි ජයසේකර, දයාන් ජයතිලක ආදීන් මෙම ගිවිසුම මඟින් ආණ්ඩුව ශ්‍රී ලංකාව ඉන්දියාවට පවාදී ඇති බවට චෝදනා කරනවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, පසළොස්වක පොහොය, මහ සිකුරාදා, පාස්කු ඉරිදා අප්‍රේල් 12 වැනිදා සිට 17 දා දක්වා නිසා දිග නිවාඩුවක් ලැබී තිබෙනවා. මෙම දීර්ඝ නිවාඩුව හේතුවෙන් දේශපාලන නායකයින් ද කොළඹින් පිට යෑම නිසා ඉන්දු ලංකා ගිවිසුම ගැන උණුසුම ලිහිල් වන බව යි පෙනෙන්නට තිබෙන්නේ.
- ජගත් -
