උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංග

පිළිවෙත් පුරන පින්බර පෝදාවක් ඔබට!!!!

චම්මිගේ හිතිවිල්ල - ''ඒ රටේ මිනිස්සු, තනිකර කෙළින්නෙ පිස්සු''

සිතිවම - ( අන්තර්ජාලයෙනි) ආර් . පී. ජේ. ජයසිංහ

"ඒ රටේ මිනිස්සු

තනිකර කෙළින්නෙ පිස්සු ''

හීං හිමිදිරියේ, ගුරුපාටට උඩින්  සිමෙන්ති ගල් අල්ලපු ගමේ පාරවල් දිගේ, නගරයේ කාපට් පාරවල් දිගෙයි දෙපයිනුත් ,තුන් පා රියවලිනුත්, තමන්ගේ දරුවන්ගෙ වාහනවලිනුත්  සුදු ඇඳ ගත්තු දෙමාපියන් වගේම තවත් අයත් මේ වෙද්දී අටසිල්,දසසිල් සමාදන් වෙලා ඇති.

සමහරු බණ මඩුවල ඇති.

තවත් අය බෝ සෙවණක ඇති. බෝපත් සෙළවෙන සිලිසිලිය අහන මොහොතේ සමහරුන්ට අමරදේවයන්ගේ ගීතයක් මතක් වෙනවත් ඇති. තවත් අයෙක් ඒ හඬත් සමග කිසියම් ලොව්තුරු පණිවුඩයක් සුවඳක් විඳිනු ඇති.

ඒ සියල්ලෝම සසර කෙටිකරගන්න වගේම මේ විඳින දුක් කන්දරාවෙන් මිදෙන්න කරන පැතීමකට මේ කරන කැපකිරීම විය හැකියි.

ඒ නිසා ඔවුන්ගේ ඒ සාධුතර හැඟීම් ඔවුන්ට ඇවසි නිවීම ගෙන එත්වා. එයට උපකාර කළ කරන අයටත් කුශල් බෝ වේවා!

බෝසතුන්ට බුද්ධත්වය ලබන්නට සාර සංඛෙය්ය කල්ප ලක්ෂ කාල ගියා නම් මේ සිල් සමාදන් වෙන ඇත්තන්ට මේ මිනිස් බවවත් හඳුනා ගන්නට කොතරම් කලක් ගත වෙයිද?

එහෙම හිතෙන්නේ අපේ රටේ පන්සල් වෙහෙර විහාර පල්ලි කෝවිල් කොච්චරනම් තියෙනවාද?

ඔවුන් කොයිතරම් නම් පින්කම් කරනවාද? වෙසක් පොසොන් පෝදාවන් වෙනුවෙන් පාරක තොටක යන්න බැරි තරමට දන්සල් දෙනවා. ඒත් කුසගින්නට පොල් ගෙඩියක් කඩා ගත්තම හිරේටත් දමනවා.

දරුවන් වගේම අම්මල තාත්තලත් අතරමං කරල යනව.

ඉඩ නුදුන්නම පාරේදි හෝන්  ගහල ඉස්සර කරන් ගියාම පන්නල ඇවිත් ගහනව.

තමන් යන පාරේ ඉන්න සෙනග වෙන බසයකට නැග්ගම ඒ මිනිසුන්ට පහර දෙනව.

පාරේ යන වාහනයක් අනවශ්‍ය විදියට පොලීසියෙන් නැවත්තුවම "මොකක්ද රාළහාමි කරපු වැරද්ද" ඇහුවම 'රාළහාමි' යැයි ඇමතීමම නැති වරදක් නිර්මාණය කරන සමාජයක.

කාන්තාවක් දිහා ,මාතෲත්වය ,සහෝදරත්වය,දාරකත්ව හැඟීමකින් බලන්න බැරි සමාජයක.

බලය ඇතිවිට එය අධිමානයේ නිල ශක්තිය හා අපහාසය හා පළිගැනීම කර ගන්නා රටක,

අනුන් අදහන දහමට අපහාස කිරීම තම දහමට අගරු කිරීමකැයි දැන දැන තමන්ගේම ශාසනේ අයටත් වින කරන ,අනුන්ගේ ධර්මය හෙළා දකින්නට තම දායකයින් පුහුණු කරන, සියලු උදව් උපකාර තම ජාතියේ තම ආගමේ උන්ට පමණකැයි පිළිපදින සමාජයක,

පස්සෙන් ගොස් ප්‍රේම කරල සටන් කරල, නැත්නම් ලොකු දෑවද්දකින් ගෙනාව කසාද   බිරිඳට වඩා අනික් ගැහැණු සියල්ලම හොඳයැයි සිතන පිරිමින් සේම අනික් පසට සිතනා කාන්තාවනුත් ඉන්නා සමාජයක ,

කොටස්කාරයෝ වෙච්චි අපි යුක්ති ගරුක, විනයගරුක,සාධාරණ, ආගම් ධර්ම අනුව සිතන, පතන ම්නිස්සු වෙන්න කොයිතරම් කාලයක් යයිද?

ඒකත් අපි රට හදන්න කාලෙන් කාලෙට එක එක ඇත්තෝ පත්කර ගෙනත් තවමත් හැදුණු රටක් නැතුවා වගේ, නොවේද කියල හිතෙන්නේ මේ පරිසරයම එහෙම හිතන්න පොළඹවන නිසයි.
අන්තිමට අපි හිතන්නේ කොහොමද?
රට හැදුනේ නැතත් අපේ පාලනයක් නේ බලේ ඉන්නෙ කියල.
ඒ වගේම සිල් නොරැක්කත් සිල් රෙද්දක්,සිවුරක්, ලෝගුවක්, ගොතපු රවුම් සුදු තොප්පියක්,තුන්නුර් ගාපු නළලක් දැක්කම අපි හිතනව ඒ අපේ හෝ අපේ රටේ ආගමක්  නේද කියල.
වැඩක් නොකෙරුණත් ආණ්ඩුව අපේ නේද කියල අපි සැනහෙනව වගේ මේ  අපේ ආගම නේද කියල සංශාර බය අපි අඩු කරගන්නව .
ඒ වෙලාවට.එහෙම

වෙලාවල් පහු කරගන්නා අපි දින සති කරගනිමින්, මාස අවුරුදු කරගනිමින් ජීවිතේ ගෙවා ගන්නවා. ඒත් නිවීම දුරස් වෙනවා.

හරියට ආණ්ඩු රට හදන්න මිනිස්සු ජීවත් කරවන්න ආදායම් උපද්දා නොගෙන ණය අරගෙන ඒක ජාති ජාති සංශාර ණයක් වෙනව වගේ.

දැන් මේ වෙලාවට ලංකාවෙ FM ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා තරගෙට බණ කියනව ඇති, භාවනා කරනව ඇති.නිවන් බෙදන්න නොවේ. Ratings වැඩි කරගන්න.

අර සිංදුවක කෑල්ලක් මතක් වෙනව.

"ඒ රටේ මිනිස්සු

තනිකර

කෙළින්නෙ පිස්සු ''

පිළිවෙත් පුරන පින්බර පෝදාවක් ඔබට.

   චම්මින්ද වෙලගෙදර  

 

 

 

 

 

07-09-2025.