ජගත් ගේ සතියේ සටහන - 92

විපක්ෂයේ සියලු පක්ෂ එකතු කොට ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සටනක් ඇරඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඇතුළු දේශපාලන පක්ෂ රාශියක් එක්වී සාකච්ඡා කිරීම ඇරඹුවේ පසුගිය අගෝස්තු මාසයේ දී ය.
පක්ෂ කාර්යාලවල, හෝටල්වල, හා හිටපු ඇමතිවරුන්ගේ නිවෙස්වල ද මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණා.
එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියක් ''මහජන හඩ විරෝධතා රැළිය" නමින් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
එහෙත් මෙම රැළියට විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයසහභාගි නොවන බව එහි මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරක්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
පසුගිය සතියේ රූපවාහිනී වැඩ සටහනකට පැමිණි සුජීව සේනසිංහ මන්ත්රීවරයාත් තම පක්ෂය නුගේගොඩ රැළියට සහභාගි නොවන බව කියා සිටියා. එම පක්ෂයේ අජිත්. පී. පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ සමගි ජන බලවේගය නුගේගොඩ රැළියට නොගියත් එයට ආශිර්වාද කරන බව යි.
මේ තත්වය යටතේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු වී වැඩ කිරීම සඳහා යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට, සජබෙ නායක සජිත් ප්‍රේමදාස මහතා කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කොට තිබුණා. එහි අනිකුත් සාමාජිකයින් වුණේ මුජිබර් රහුමාන් හා තිස්ස අත්තනායක මහත්වරු යි.
කබීර් හෂීම් මහතා එම කමිටු වාර්තාව සජිත් ප්‍රේමදාස මහතාට සති දෙකකට පෙර බාරදී තිබුණා. එහෙත් එහි නිර්දේශ ගැන සජබෙ නායකයා කිසිවක් පවසා තිබුණේ නැහැ. එසේ වුවද පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී සජබ සහ එජාපඑකතු වන්නේ නම් එහි නායකත්වය සජබට දියයුතු යැයි ඔහු පැවසූ බව ද දැනගන්නට තිබෙනවා. සජිත් ගේ ඒ ප්‍රකාශයෙන් පසු සජබෙ, එජාප හවුල ගැන පැවති කතාබහ යටපත් වී ඇති බවයි පෙනී යන්නේ.
ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති පක්ෂත් එක්ක මොන සන්ධාන ද? සාගර

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව සන්ධානයක් පිහිටුවිය යුතු බවයි.
එහෙත් එම යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධත්වය ප්‍රකාශ කර තියෙනවා. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සජබ - එජාප හා පොදුජන පෙරමුණ අතර බරපතල ප්‍රතිපත්තිමය වෙනස්කම් පවත්නා බැවින් ඔවුන් සමඟ තම පක්ෂය එකතු නොවන නමුත් පොදු ප්රශ්නවල දී එම පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට සැලසුම් කරැති ''මහජව හඬ" විරෝධතා රැළිය ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ විසින් ඉකුත් සතියේ කොම්පඤ්ඤ වීදියේ හෝටලයක දී මාධ්‍ය හමුවක් පැවැත් වූවා. විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් සාගර කාරියවසම්, මහින්ද අමරවීර, ඩී. වී. චානක, ප්‍රසන්න රණතුංග, තලතා අතුකෝරළ, ටිරාන් අලස්, මෙහොමඩ් මුසාමිල්, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, අජිත් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත්. සී. දොළවත්ත, සාගල රත්නායක හා අසංග නරත්න යන මහත්ම මහත්මින් මෙයට පැමිණ සිටියා.
මෙහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයින් පැවසුවේ විපක්ෂය ලෙස ආණ්ඩුවට විරුද්ධව සටනක් මෙමඟින් දියත් කරන නමුත් එය පක්ෂ සන්ධානයක් ලෙස කටයුතු නොකරන බවයි.
මෙම පක්ෂ නායකයින් 22 වනදා මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී රැස්වී 21 දා රැළියේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කොට තිබුණා. රැළියේ වේදාකව සකස් කිරීමේ දී කතාකරන කථිකයා පමණක් වේදිකාවට ගොඩවී කතාකිරීමටත් අනිත් නායකයින් සඳහා වේදිකාවෙන් පහළ අසුන් පැනවීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. එසේම කිසිදු දේශපාලනඥයකුගේ නම් අලවා ආසන වෙන් නොකෙරෙනු ඇති ඒ තීරණය ගෙන ඇත්තේ කිසිවකුගේ සිත් රිදවීම් වළක්වාලීම සඳහා යි. ඒ අනුව පක්ෂ නායකයින් අසුන් ගත යුත්තේ පැමිණෙන පිළිවෙළට ය.
එසේම හිටපු ජනාධිපතිවරුන් කිසිවකුටත්, මේ රැළිය සඳහා ආරාධනා නොකිරීමට, නාමල් රාජපක්ෂ මහතා ගේ යෝජනාවක්අනුව තීරණය කොට තිබෙනවා.
එහෙත් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා තමා නුගේගොඩ රැළියට සහභාගි වෙන බවත් එහෙත් කතාවක් නොකරන බවත් පැවසූ බව 'මල්පාරේ' පක්ෂ කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
මහජන හඩ විරෝදෙට සජබෙ එක් නොවීමේ රහස?
නොවැම්බර් 21 දා රැළියට සමගි ජන බලවේගය සහභාගි නොවීම ගැන මහින්ද අමරවීර මහතා ගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී කතාබහ කෙරුණු අවස්ථාවේ කිහිප දෙනකුම පවසා ඇත්තේ සජබ නායකයින් ගණනාවකට ඉදිරියේ දී විවිධ චෝදනා යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඒවා නිරාකරණය වන තුරු මෙවැනි විරෝධතාවන්ට සහභාගි නොවනු ඇති බවයි. එසේ වුවද නුගේගොඩ රැළියේ දී සජබෙ විවේචනය නොකිරීමට ද මෙහිදී පක්ෂ නායකයින් එකඟත්වයක් ඇති කරගත් බව ද වාර්තා වෙනවා.
සර්වජන බලෙත් නෑ

එමෙන්ම නොවැම්බර් 21 වැනිදා රැළිය පැවැත්වෙන තුරු සෑම සතියක ම මාධ්‍ය හමු පවත්වා රැළිය ගැන ප්‍රචරක කටයුතු සිදු කිරීමට ද තීරණය වී ඇති අතර නුගේගොඩ රැළියෙන් පසු දිස්ත්‍රික්ක මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද පක්ෂ නායකයින් තීරණය කොට තිබෙනවා.
මේ අතර සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ හා ජනරජ පෙරමුණ යන පක්ෂ නුගේගොඩ රැළියට සහභාගි නොවන බව පසුගිය සතියේ පවසා තිබුණා.
සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා වැඩ පිළිවෙළක් නොමැතිව විපක්ෂය එක්වී මෙවැනි විරෝධතා රැළි පැවැත්වීම තේරුමක් නැති වැඩක් බවයි පවසන්නේ.

පොදු වැඩ පිළිවෙළක් නොමැති විරෝධතා රැළි මොන බම්බුකට ද? විමල් - පාඨලී !!
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහත්වරුන් ද පවසන්නේ පොදු වැඩ පිළිවෙළක් නොමැතිව නිකං ආණ්ඩු විරෝධී රැළි පැවැත්වීම ප්‍රතිඵල රහිත බවයි.
විපක්ෂයේ පක්ෂ ගණනාවක් විසින් නොවැම්බර් 21 වනදා පැවැත්වීමට යන රැළිය ගැන ආණ්ඩුව පවසන්නේ පසුගිය කාලයේ විවිධ චෝදනාවලට සම්බන්ධ වී චෝදනා ලබා සිටින කණ්ඩායම් ඉදිරියේ දී තමන්ට විරුද්ධව සිදුකෙරෙන නීතිමය ක්‍රියාමාර්ග වලින් වැළකීම සඳහා පක්ෂ භේදයෙන් තොරව එකතුවන බව යි.
⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆ ⋆⋆⋆⋆
ලේක් හවුස් පාලකයින් අඳ ගොළු බිහිරි වතක
හිටපු ඇමතිවරයකු වන ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ ලිපියක් පළ කිරීම නිසා ඔහුට රුපියල් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලේක් හවුස් ආයතනයට පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව හා එහි අලුත් තත්වය පසුගිය සති දෙකේ අප විසින් අනාවරණය කළා.
මෙම වන්දිය ගැන ලේක් හවුස් අධ්යක්ෂ මණ්ඩලය නිහඩව සිටින නමුත් එහි වෘත්තීය සමිති හා සේවකයින් මහත් සේ නොසන්සුන් වී සිටින්නේ වසර අවසානයේ ඔවුන් බලාපොරොත්තු වූ බෝනස් හෙවත් ප්‍රසාද දීමනා ලබා දීමට ආයතනය අපොහොසත්වීම නිසයි.
මේ වන්දිය ගෙවීමට කටයුතු කළහොත් සේවකයින් 800 කගේ පමණ රැකියා අහිමිවේය යන බැවින් මේ පිළිබඳව සාකච්ඡා කොට විසඳුමකට පැමිණීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ලේක් හවුස් වෘත්තීය සමිතියක් ඉකුත් සතියේ විජේදාස රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා තිබුණා.
වන්දියෙන් කෝටි 20 ක් දුන්නොත් ඉතිරිය ගැන සලකා බැලිය හැකි ලු
මේ අතර එහි තවත් සේවකයින් පිරිසක්, මෙම වන්දි නඩුව නිසා සේවකයින් විශාල පිරිසකගේ රැකියා අහිමි වී ඔවුන්ට යන එන මං නැතිවීමට ඉඩ තිබෙන බැවින් සානුකම්පිතව සළකා බලා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන්නැ යි විජේදාස රාජපක්ෂ මහතාට පෙත්සමක් ද යවා තිබෙනවා.
එහෙත් දැනගන්නට තිබෙන අන්දමට විජේදාස රාජපක්ෂ මහතා වෘත්තීය සමිතියට දැනුම් දී ඇත්තේ තමාට හිමි වන්දි මුදලෙන් රුපියල් කෝටි 20 ක මුදලක් සති දෙකක් ඇතුළත තමාට ලබා දෙන්නේ නම් වන්දියේ ඉතිරි මුදල් ගැන තව දුරටත් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
වෘත්තීය සමිති නිලධාරීන් මේ බව ලේක් හවුස් සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට දන්වා ඇතත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඩව සිටින බවයි ලේක් හවුස් සේවකයින් පවසන්නේ.
