උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසතියේ සටහන

පොලිස්පති තෙන්නකෝන් ගේ ගෙල සිඳීම 8 වැනිදා?

ජගත් ගේ සතියේ සටහන  -  63

යටගැසුණු ෆයිල් එක එක එළියට!

 ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේ තමන් බලයට පැමිණි විට පසුගිය ආණ්ඩු කාලවල දී මහජන දේපොළ අයථා  අන්දමින් කොල්ල කෑ හොරු අල්ලන බවට දුන් පොරොන්දුව නිසයි.

පසුගිය ආණ්ඩුවල සිටි දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් බහුතරයක් විසින් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලින් හා මහජන සේවාවලින් කෝටි ගණන් මුදල් ගසා කෑ නමුත් ඒවාට විරුද්ධව එම ආණ්ඩු මඟින් කිසිදු පියවරක් ගෙන නොතිබීම නිසා ජනතාව දැඩි කෝපයකින් හා අප්‍රසාදයකිනුයි සිටියේ.

සෑම දේශපාලන පක්ෂයකම සිටි උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයින් බහුතරයක් පසුගිය මැතිවරණ වලදී ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ රටේ හොරකම්, දූෂණ, වංචා නැති කර ගැනීමේ අරමුණෙන් බව පැහැදිලියි.

වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ පාලනය භාරගෙන මාස 6 ක් ගතවී තිබුණත් එම දූෂණ, වංචා, හොරකම් ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ නිසා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ බොහෝ නායකයින් මාධ්‍ය සාකච්ඡාවල දී "කෝ හොරු ඇල්ලුවාදැ" ආණ්ඩුව සමච්චලයට ලක් කළා.

එහෙත් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් වසර ගණන් යටගසා තිබූ දූෂණ පැමිණිලි අඩංගු ලිපිගොනු එළියට ගෙන පරීක්ෂණ සිදුකරමින් ඒවායේ චූදිතයින් අධිකරණය හමුවට පැමිණ වීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් හා ඔහුගේ ලේකම්වරියව සිටි ශාන්ති චන්ද්‍රසේන යන දෙදෙනාට පසුගිය සතියේ මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් හා රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළේ ඔහු මහ ඇමතිව සිටි 2012 – 2014 කාලයේ සිදු කළ අයථා මුදල් වංචාවකට වරදකරුවන් වීම නිස යි.

මේ අයුරින් ම ඌව මහ ඇමතිව සිටි, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව අප්‍රේල් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

එසේම පසුගිය රජයේ හිටපු රාජ්‍ය ඇමතිවරයකු වන වියලේන්ද්‍රන් හා  තවත් හිටපු රාජ්‍ය ඇමතිවරයකු වූ මර්වින් සිල්වා ඇතුළු තවත් කිහිප දෙනකු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙන අතර තවත් හිටපු රාජ්‍ය ඇමතිවරයකු ප්‍රසන්න රණවීර අධිකරණයට බාර නොවී සැඟවී සිටිනවා.

මේ අතර  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා වැල්ලවායේ පැවති රැස්වීමක දී 'හොරු අල්ලන්නේ නැති බවට' නැඟෙන චෝදනාවලට පිළිතුරු වශයෙන් පැවසුවේ අප්‍රේල් මාසය අවසන් වීමට පෙර දූෂණ චෝදනා තිබෙන 40 කට නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බවයි.

වර්තමාන ආණ්ඩුව විසින් පත්කොට සිටින පසුගිය ආණ්ඩුවල සේවය කොට ඇති උසස් නිලධාරීන්ට ද එ‌ෙඒහිව ලැබුණු පැමිණිලි සළකා බලා ඉතා ඉක්මනින් ම නඩු පවරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්‍රවලට මේ වන විට අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීම සඳහා එම කොමිෂන් සභා පරිශ්‍රයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවක දී.

රජයේ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ගණනාවකට ම ඉතා ඉක්මනින් නඩු ගොනු කරන බවත්, කොමිෂන් සභාවට සමහර පැමිණිලි ලැබී ඇත්තේ 2015, 2016 හා 2020 යන වර්ෂවල සිදුවී ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් යැ යි ප්‍රකාශ කළ දිසානායක මහතා එම දූෂණවලට සම්බන්ධ ඉහළ නිලධාරීන් නැවතත් එම පුටුවල සිටින බව ද සඳහන් කළා.

‌ෙම් 9 වැනිදා ෙදාරට වඩින දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම

ආණ්ඩුව විසින් 2030 දක්වා පස් අවුරුදු කාලයක් සඳහා සකස් කළ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 9 වැනිදා පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්වීමට නියමිත බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ අතර අයථා ලෙස මහජන දේපොළ කොල්ලකන පුද්ගලයින්ට එම දේපොළ උපයාගත් ආකාරය ඔප්පු කළ යුතු බවට නව පනත් කෙටුම්පතක් අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා.

දේපොළ සන්තකයේ තබා ගන්නා තැනැත්තා විසින් එය ලබාගත් ආකාරය ඔප්පු කරන තෙක් එම දේපොළ නීතිවිරෝධී ක්‍රියාවලින් උපයාගත් දේපොළ බවට පූර්ව නිගමනයක සිට අවශ්‍ය පියවරගත හැකි බව එම පනත් කෙටුම්පතේ 34 වැනි වගන්තියේ දක්වා තිබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුදනිල් වටගල මහතා පවසනවා.

මහජන දේපොළ සොරකම් කළ සමහරුන් ඒවා වෙනත් අයගේ නම් වලින් තබාගෙන ඉන්නවා. එසේ අනුන්ගේ දේපොළ තබාගෙන සිටින අය ද එය ලබාගත් ආකාරය ඔප්පු කළ යුතුයි. එසේ නොහැකි වුණොත් ඔවුන්ට ද නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවන බව ද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියා.

මේ අතර පසුගිය ආණ්ඩුව කාලයේ ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට කියමින් රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන ඇති හිටපු මැති ඇමතිවරුන් 22 කු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දිනවල විමර්ශණය කරගෙන යන බව ද වාර්තා වෙනවා.

෴෴෴෴෴෴෴෴෴෴෴෴

තුන්දින නිල සංචාරයක් සඳහා පෙරේදා (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාමත් ගෞරවාදරයෙන් පිළිගනු ලැබුවා.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ (05) උදේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඉදිකළ විශේෂ පීඨිකාවක දී සිදුකළ අතර මෝදි මහතා වෙනුවෙන් හමුදා උත්තමාචාර පෙළපාලියක් හා උත්තමාචාර වෙඩි මුර 19 ක් ද පැවැත්වුණා.

මීට පෙර රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිළිගැනීමේ උත්සව පැවැත්වුවේ ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අබියස දී වූවත් ආණ්ඩුව මොදි අගමැතිවරයා මහ ඉහළින් ම පිළිගැනීම සඳහා නිදහස් චතුරශ්‍රය යොදා ගෙන තිබුණා.

 නවරත්න මැණික් ඔබ්බන ලද 'මිත්‍ර විභූෂණ' පදක්කම

අනතුරුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සිංහල භාෂාවෙන් ද, මෝදි මහතා හින්දි භාෂාවෙන් ද කතා කළා. මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට රාජ්‍ය නායකයකුට ලබා දෙන ඉහළ ම සම්මානය වන 'මිත්‍ර විභූෂණ' පලඳවනු ලැබුවා.

වී කරළ, හිරු හා සඳු ලාංඡන කැටයම් කොට නවරත්න මැණික් ඔබ්බ රිදියෙන් තනා තිබු සම්මානය සෙන්ටි මීටර් 6. 5 ක විෂ්කම්භයෙන් යුතු එකක්. ඉන්දීය අගමැති මෝදි මහතා එය මහත් සේ අගය කරනු දක්නට ලැබුණා.

යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවට පැමිණ සටන් වලදී මියගිය ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළුන් සිහිකිරීම සඳහා බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේ ඉදිකොට ඇති යුද ස්මාරකය වෙත ඊයේ සවස ගිය ඉන්දීය අගමැතිවරයා මල් වඩමක් තබා එයට ගෞරව දැක්වූවා.

ඉන්දීය අගමැතිවරයා අද (06) අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට නියමිත යි.

ඉන්දීය අගමැතිවරයා සමඟ විදේශ ඇමති සුබ්‍රමනියම් ජෙයශංකර්, විදේශීය ලේකම් වික්‍රම් මිස්රි හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහත්වරුන් ඇතුළු 60 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ සිටියා. නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස සිය තෙදින සංචාරය නිම කරමින් අද (06) සවස දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් බලා පිටත්වී යැමට නියමිත බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

 පෙරට්ටන් ගේ මෝදි විරෝධය

මේ අතර ඉන්දීය අගමැතිවරයා‌ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් කොළඹට පැමිණීමට උත්සාහ කර තිබූ අතර පොලිසිය විසින් ජනාධිපති කාර්යාලය, ගාලුමුවදොර, කොටුව දුම්රිය පොළ ආදී ස්ථානවලට ඔවුන් පැමිණීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණා.

දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 කු විසින් කතානායකවරයා වෙත බාරදී ඇති යෝජනාව අප්‍රේල් 08 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ මත පළ කරනවා. රවි කරුණානායක මන්ත්‍රීවරයා පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවතින බැවින් මේ අවස්ථාවේ ඔහු නෙරපා හැරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම ස්ථාවර නියෝගය උල්ලංඝණය කිරීමක් බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට පෙර කතානායකවරයා විසින් ඒ පිළිබඳව කමිටුවක් පත්  කළ යුතුව ඇති බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අගවිනිසුරු විසින් පත්කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු, පොලිස් කොමිසමේ සභාපතිවරයා, සහ අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් පත් කරන රජයේ නිලධාරියකු එම කමිටුවට ඇතුළත් විය යුතු බවත් එම කමිටුවේ නිර්දේශ ලැබුණු පසු යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගතහැකි බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එසේ නොමැතිව යෝජනාව කෙළින් ම සම්මත කරගෙන පොලිස්පති නෙරපා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බව ද විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

 පොලිස්පති දේශබන්දු පැන්නීම

මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ගැන ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන බවයි. එම නඩුවේ තීන්දුව මැයි මාසයේ දී ලැබීමට නියමිත බවත් එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කොට තිබුණොත් ඉබේම ඔමුගේ පොලිස්පති ධූරය අහෝසි වෙන බැවින් මේ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් නොකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා නිර්දෝෂ බව තීරණය කොට තිබුණොත් එවිට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කොට ඔහු ඉවත් කළ හැකි බව ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.

ආණ්ඩුවේ අරමුණ වී තිබෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම බවත් මෙම යෝජනාවට විපක්ෂය ද සහයෝගය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු කියා සිටියා.

පාර්ලිමේන්තුවේ දී යෝජනාව සම්මත වී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නිල වශයෙන් ඉවත් කිරීමෙන් පසු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම තනතුරේ ස්ථාවර කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙන බව ද දැනගන්නට තිබෙනවා.

  - ජගත් -