චූලෝදර - මහෝදර යුද බිය තුරන් කර සාමයේත් සමගියෙත් අගය වදාරා යුද බිය තුරන් කරන්නට නාගදීපයට වැඩියේ අද වන් පෝදාක ය.
බක් මහ යනු අප හැම හිතේ සතුටක්, ප්‍රීතියක් උපදවා ගෙන ගත කරන කාල වකවානුවකි. කෘෂිකර්මය පදනම් කර ගත් ජන සමාජයක් සේ අස්වනු නෙලා ගෙට ගෙන හිත් සංතොසින් ලාංකේය ජනයා හුස්මක් කටක් ගන්නට ඉඩ හසර පාදා ගන්නේ අසිරිමත් බක් මහේ දී ය. හැම තුරු ලතාවක් ම නේකාකාර විසිතුරු මලින් සැරහී ඇති අයුරු නෙතට රසඳුනක් ම ය. ගහ කොළ පල බර ය.
හෙට දවස හෙළයන් ගේ අසිරිමත් සංස්කෘතික මහ මඟුලට ජනී ජනයා සියලු අමාරුකම් දරාගනිමින් ඊට සූදානම් වෙද්දී අද දවසේ බක්මහේ පුර පසළොස්වක පෝය උදාවීම ඔවුනට මහත් වූ සන්තුෂ්ටියට හේතු කාරණාවක් ම ය.
ලක්වැසියනට අමා දම් සිසිලස තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ගේ අසීමිත මහා ගුණකඳ හිත් හතන්වලට තව තවත් කාවද්දන අසිරිමත් මාසය බක් මහයි.
මෙසිරිලක් දෙරණ දෙවන වරටත් බුදුන් වහන්සේගේ ශ්‍රීපාදයෙන් පිවිතුරු වූයේ ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ සවණක් ගන රැස් දහරින් සිව් හෙළය ම ආලෝකමත් වූයේත් බක් මහේ අදවන් දවසක යි.
සිද්ධාර්ථ කුමාරයාණන් ගිහිගෙන් නික්ම ගොස් සම්මා සම්බුද්ධත්වය ලබා පස්වැනි හවුරුද්දේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සඳ චූලෝදර - මහෝදර නම් නා රජවරුන් දෙදෙනා අතර සටනක් ඇතිවන වගත් ඒ සටනට හේතුව මිණි පළඟක් බවත් උන්වහන්සේ දුටහ.
නාගයන් කෙරෙහි මහා කරුණාවෙන් ඔවුනට සැනසුම ලබා දෙනු වස් බක් මහේ අවපසළොස්වක් පෝදා අලුයම් කාලයෙහි ඍදියෙන් නාගදීපයට වැඩ වදාළහ.
මහෝදර නාරජ තෙමේ මහ මුහුදේ යොදුන් පන්සියයක් හි නාග භවනෙහි අධිපතියා විය. ඔහුගේ සොවුරිය කන්වඩමන් නම් පර්වතෙහි නාරජ හට කරකාර බැන්දුවා ය. චූලෝදර යනු ඔවුන් දෙදෙනාගේ පුතණුවන් ය.
මුහුදේ වසනා නාගයෝ ද ගොඩබිම් හි වසනා නාගයෝ ද බෝ බලසම්පන්න වූවෝ ය. චූලෝදරගේ මුත්තනුවන් මියයෑමට පෙර ඔහු සතුව පැවති ඉතා අගනා වටිනා මැණික් පුටුව සිය පුතණුවන්ට නොදී දියණියනට හෙවත් චූලෝදරගේ මවට ප්රදානය කරන ලද්දේ ය. මාමයි බෑණයි අතර යුද්ධයට මුල් වූයේ මේ මිණි පළඟ යි.
ජේතවනාරාමෙ දොරටුව අසල කිරිපලු රුක් හි අධිගෘහිත දේවතාවූයේ පෙර බවෙහි නාගදීප වාසී මනුෂ්‍යයෙක්ව හුන්නේ ය. ඒ කිරිපල් රුක් හි දේවතාව නමින් සමිද්ධි සුමන නමැති දිවරාජයාණන් ය. ඔහු කිරිපල් රුක උදුරා බුදුන් වහන්සේට කජයක් හෙවත් චත්‍රයක් සේ ඔසවා ගෙන තමන් පෙර බවයෙහි දිවි ගෙවූ නාගදීපයට ආවෝ ය. ඔහු දිව්‍යරාජයකු වීමට වාසනා මහිමය ලද්දේ කිරිපල් රුක් මූලයෙහි වැඩ හිඳ දන් වළඳන ලද පසේ බුදුවරයාණන් වහන්සේලාට පාත්‍ර පිරිසිදු කරගන්නට කොළ කඩා දීමේ පුණ්යකර්මයෙන් බව කියැවේ.
බුදුන් වහන්සේ නාගදීපයට වැඩ අහසේ පලක් බැඳ සිටිය දී යුද්ධයට ඔට්ටුවන මාමාගේ හා බෑනාගේ සේනා බළ ඇණි බිය ගැන්වීමට ගන අඳුරක් මැවූ හ. ඒ නාගයන් බිය ගැන්වීම උදෙසා යි. නාගයින් බියෙන් බියට පත්ව සිටිය දී බුදුරජාණන් වහන්සේ අඳුර දුරු කරමින් ආලෝකයක් මවා පා පස මිතුරු මාමා හා බෑනාටත් ඒ දෙන්නා ගේ හමුද දෙකොට්ඨාසයටත් තමන් වහන්සේ දැක ගැනීමට ඉඩ හසර පාදා දුන්හ.
සතුරු දෙපාර්ශ්වය ම එයින් මහත් සේ විශ්මයට පත් වූහ.බුදුන් වහන්සේ ගේ දර්ශනයෙන් බිය යටපත් වී සතුටු සොම්නස් බවක් සැනසීමක් උපදැ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රීපා වන්දනා කළහ. අනතුරුව තථාගතයාණන් වහන්සේ චූලෝදර - මහෝදර නාරජුන් හා ඔවුන් ගේ පිරිවර හමුදාවන්ට සුදුසු පරිද්දෙන් දම් දෙසුමක් පැවැත්වූහ. ඒ දම් දෙසුමට ජාතක කතා පහක් අඩංගු බව ඉතිහාසයෙහි දැක්වේ. ඒ සියල්ලෙන් ම සසරෙහි ඇති ආදිනව ඔවුන්ගේ හිත් හතන්වලට කළ බලපෑම මත සමගියේ මහිමය ගැනත් උන්වහන්සේ ඔවුනට වදාළ හ.
බුද්ධ දේශනයෙන් මහත් සේ සොම්නස් වූ නාරජ දෙපොළ ඔවුන් යුද වැදීමට පසුබිම් වූ මිණි පළඟ බුදුන් වහන්සේට පූජා කළහ.
අවසන බුදුන් වහන්සේ අහසින් පොළොවට වැඩ වදාරා දෙපාර්ශවය ම සමගි කරවා නාගයන් විසින් පිළියල කරන ලද දිව්‍ය ආහාර පාන වළඳා අසූ කෝටියක් වූ නාගයන් පන්සිල් හි පිහිටුවා පාරිබෝගික චෛත්‍යයක් සේ වන්දනාමාන කිරීමට කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට ම දී දෙව්රම් වෙහෙරට යළි වැඩම කළ සේක.
මෙවන් ශාසනික ඉතිහාසයකට හිමිකම් ඇති ලාංකේය බොදුනුවන් ට අද දවස මෙසේ සිහිපත් කිරීම ඔස්සේ බොදු දනන් හට ක්‍රෝධය වෛරය වෙනුවට මෛත්‍රියත් දායවත් මුල් කෙට ගන්නා වූ සිතිවිලි සමුදායකින් නිබඳවම හිත් හතන් හි වඩා ගන්නට උපකාර වනු ඇතැ යි අපි විශ්වාස කරන්නෙමු.
හෙළයන් ගේ සොළොස් මහා පූජණීය ස්ථානයන් ගෙන් එක් පූජණීය සිද්ධස්ථානයකි. වංශ කතාවන් හි සඳහන් වන්නේ පුරාණ හෙළයේ නාගදීපය යනුවෙන් ව්‍යවහාර කර ඇත්තේ සමස්ත යාපනය අර්ධද්වීලයට ම යන්න යි.
දෙවැනි සියවසෙහි යාපනයේ භාෂාව සිංහල වූ වගක් සඳහන් ය. අනුරාධපුර රජුගේ ඇමතිවරයකු යාපනය පාලනය කළ බවත් මගේ මතකය නිවැරදි නම් කයිට්ස් හි කෝවිලක අනුරාධපුර රජුනට අයබදු ගෙවීමට නියම කරමින් ශිලා ලිපියක කාරණා සඳහන් ව ඇත.
එහෙත් මගේ මතකය යටපත් කරමින් මා හා දෙසතියක කාලයක් යුද්දෙන් පස්සේ උතුරුකරේ ගවේෂණයක යෙදීමට හවුල් වූ නසීර් අහමඩ් මහතා සඳහන් කළේ ඒ ආනයන අපනයන බදු අයකිරීම කියනා සෙල් ලිපිය ඇත්තේ නාගදීපයේ නාග භූෂණී කෝවිලේ බව යි.
බක් මහේ වඅදගත් කම කියා පානා තවත් සිද්ධියකි සිද්ධාර්ථ කුමරුවාණන් සතර පෙර නිමිති දැක ගිහිගෙන් නික්ම යෑම කියා පාන්නා වූ ජරා හෙවත් මහළු රුවක් නෙත ගැටුණේ අදවන් දොහක බව ශාසසන ඉතිහාසයෙහි දැක්වේ.
බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් පුරවරයට වැඩම වීම අරඹන ලද්දේ මැදින් පෝ දිනක ය. දිනකට ගමන් කළේ එක් යොදුනකි. ඒ අනුව අද වගේ දවසකට යොදුන් තිහක ගමන අවසන් කරන ලද්දේ ද බක් මහේ පෝ දිනක ය. ඒ ගමන හමාර කරන ලද්දේ යොදුන් හැටක දුර පාගමනින් වඩමවා වෙසක් පෝදා ලෙස වංශ කතාවන් හි දැක්වේ.
- සුගතපාල මැන්දිස් -