ආර්ථිකඋණුසුම් පුවත්විදෙස්

බ්‍රික්ස් අපට බෑ කියලා

හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇති වග ඇමති හේරත් කියයි.

බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඔහු ඒ් බව ප්‍රකාශ කර ඇත්තේ 'ලංකාදීප' පුවත්පතෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් බව එහි සඳහන් වේ. 

එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින්  ශ්‍රී ලංකා අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

කෙසේ නමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයිද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය කඩිනමින් අනුමැතිය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපළ  ආර්ථිකයන් සහිත රටවල්වලින් බ්‍රික්ස් සංවිධානය සෑදී තිබේ.

බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ.

ලබන වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය බ්‍රසීලය බාර ගැනීමට නියමිතය.

උපුටා ගැනීම - ලංකා සී නිවුස් වෙබ් අඩවියෙනි