බොන්න වුතර නෑ. – ගංගාවෝ මහ මුහුදට ගලා බසිති….
අනුර හොරේෂස් ඕස්‌ට්‍රේලියාවේ සිට ලියයි
ගංගා වල ජලය පහලට ගලා බසින හැටි බලන්න. හරිම ලස්සනයි නේ… ඒ මහා ජල කඳන් කොහාට ද දෙයියනේ ගලාගෙන යන්නේ. මහ මුහුදට… මහ මුහුදට… දෑන් පොඩ්ඩක් හිතන්න. මේ ලිපිය කියවන ඔබගේ වයස මං දන්නේ නැහැ. නමුත් මගේ වයස හවුරුදු හැට හතක්. මේ හවුරුදු හැට හතේ ම අපේ ගංඟාවල වතුර මහ මුහුදට ගලා ගෙන ගියා. දවසේ හැම තත්පරයක ම. නොනැවතී ගලා ගෙන ගියා. ගලාගෙන යනවා. මගේ වයස හැට හතක් නම් ඊට ඉස්සර හිටපු මේ රටේ මිනිස්සු දකින්න ඇති දිවා රෑ දෙකේ මහ ජල කඳන් මහ මුහුදට ගලා ගෙන ගිය හැටි.
රටේ සම්පත් ඇයි එහෙම ගලා ගෙන යන්නේ. ගොාඩාක් රටවල මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. ඒත් අපේ රටේ ගංගාවල වතුර කිසිම ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා ගෙන යනවා. එදා මෙදා තුර වගකිවයුතු කවුරුන්වත් ඒ ගැන හිතල බලන්නෙ නෑ. බලන්න මොන තරම් ජාතික අපරාධයක් ද කියලා.
හොඳයි අපි මෙහෙම හිතමු. ඒ ගලා ගෙන යන වතුරෙන් අපේ රටේ මිනිසුන්ට හරිහමන් ප්‍රයෝජනයක් වෙනව ද? නැහැ නේ. මහා ගංගාවල වතුර හවුරුදු සිය ගණනක් දාස් ගණනක් තිස්සේ නිකරුණේ මහ මුහුදට ගලා ගෙන යන එක නවත්තලා බොන්න වතුර ටික නැති අයට දෙනවා නම් ඒක කොච්චර වටිනවා ද? ජග මීටර හයිකරලා මිනිස්සුන්ගේ තුටුටු දෙකට විදින්නේ ඇයිදැයි කියන්න මට නම් වැටහීමක් නෑ. රටේ බොන්න වතුර නැත්නම් ජල පාලනයක් හදලා මීටර හයි කළාට වරදක් නෑ. කිසියම් පාලනයක් ඇති කරන්න. ඒත් හත්මුතු පරම්පරාවල් ගණනාවක් තිස්සේ මහ මුහුදට ගලා ගෙන යන මහා ගංගාවල ජල කඳ ආපහු රට ඇතුළට හැරෙව්වා නම් මොන තරම් සම්පතක් ද ඒක . ඒත් මේ ටික තේරෙන කිසිවෙක් රටේ හිටිය බවක් හෝ ඉන්න බවක් අදටත් පෙනෙන්නෙ නැහැ. රටේ ගොවිතැනට වතුර ටික නැහැ. සමහර පළාත්වල නා ගන්නවත් වතුර ටික නැහැ. නියං කාලෙට වැව් හිඳිල යනවා. වනාන්තරවල ඉන්න සතුන්ට බොන්න වතුර නැහැ. උන් ඔක්කොම වතුර හොයා ගෙන ගම් වදිනවා. වන අලි ගම්වල හේන්, කුඹුරු විනාශ කරනවා. මිනිස්සුන් පාගල මරනවා. ගහල මරනවා.
ඒ විතරක් නෙවෙයි නේ. වගා කරන ගොවීන් වගාවට වතුර ටිකක් ඉල්ලන කොට ඒවා භාර නිලධාරීන් ගොවීන්ගේ ඇඟට කඩා පනිනවා. වතුර දෙන්නෙ සලාක ක්‍රමයට කියලා කියනවා මටත් ඇහිලා තියෙනවා. ඉතින් මොකක් ද ගොවීන් කරන්නෙ? වගාව අතහැර දමනවා. ඊට පස්සෙ මොකක් ද වෙන්නෙ? රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. මිනිස්සු මහ පාරට බහිනවා. “අපට කන්න නැතෝ… කන්න දීපියෝ… නැත්තං තොපිට ඡන්දෙ දෙන්නේ නැතෝ… ” වගේ දේවල් කියල කෑ ගහනවා.
වගකිවයුතු උදවිය එදා ඉඳන් කළේ පිටරටවලින් හාල් ඇටේ ඉඳල ඔක්කෝම අඩුම කුඩුම ආනයනය කිරීම යි. ඒවා මිලත් වැඩියි. රසකාරක පිරිලා. ඊට එහා විෂබීජ. ඒවා කාපු දවසෙ ඉඳලා මිනිසුන්ට විශේෂයෙන් දරුවන්ට අපමණ ලෙඩ රෝග. දැන් රටේ ලෙඩ රෝග පැතිරෙනවා. ගොවීන් වගා කරන්නේ නෑ. දෙමාපියන් ඇතුළු රටේ කුදු මහත් ජනතාව ආණ්ඩුවලට දොස් කියනවා. “ඡන්දෙ ඉල්ලගෙන ආවොත් ගහන්නේ ඉලපතෙන්….” වගේ තර්ජන එල්ල කරනවා. වැඩේ එැනින් නවතින්නෙ නැහැ නේ. අමතක වුණා කියන්න. රටේ සංවර්ධනයට කටුව ගහලා පිටරටවලින් හාල් ඇටේ ඉඳලා ආනයනය කරන කොට කොහොම ද ලොක්කන්ගෙ එකවුන්ට්ස්වලට වැටෙන සල්ලි කන්ද? කොමිස් ගහන්න නම් රටේ සංවර්ධනය නවත්තන්න අවශ්‍යයි. ඒකට මූලික පදනම වැටෙන්නේ ජල හිඟයෙන්. දැන් ආයෙත් කතාවට බහිමු.
ඔන්න ආණ්ඩුවේ ඉස්පිරිතාල පිරිලා. මොකක්ද හේතුව. නන්නාඳුනන ලෙඩ රෝග. කොහොමද ඒවා රටේ පැතිරෙන්නේ. පැතිරුණේ. දොස්තර මහත්වරුන් රූපවාහිනී සාකච්ඡාවලට කැඳවනවා. ඒ උදවියගෙන් ප්‍රශ්න අහනවා. එතැන දෙවර්ගයක් ඉන්නවා. එක ගොල්ලක් මොකක් හරි ආණ්ඩුවකට පක්ෂයි. අනෙක් පැත්ත විරුද්ධයි. පක්ෂ උදවිය කියන්නේ ”විරුද්ධ පැත්ත එදා කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මේ… ” කියලා. විරුද්ධ පක්ෂය කියන්නේ “මේකට වහාම කොමිසමක් දාලා හොරු අල්ලන්න ඕනැ ” කියලා. විරුද්ධ පැත්තෙ කෑ ගැහිල්ල නවත්තන්නත් ක්‍රමයක් ඕනෑනේ. ඉතින් මොකක් හරි කොමිටියක් දානවා. දැන් මේ කොමිටියෙ ඉන්නෙ කවුද? දෙපැත්තේ කට්ටිය. ඉතින් ඒ උදවිය හයියෙන් කෑගහනවා. දෙපැත්තට වතුර බෝතල් වීසි කරකරනවා. සමහරු කෝට්… සරොම් උස්සගෙනත් කෑ ගහනවා. තවත් අය උස්සගෙන හිටපු බෝඩ් ගිනි තියනවා. ජෝගි හමාරයි. හැබැයි දෙපැත්තෙ ම කට්ටිය හැන්දෑවට සෙට් වෙනවා. අඩියක් පුඩියක් ගහනවා. හෙට දෙන්න ඕනැ ගේම ගැනත් කතා කරනවා. මීඩියා එකට දෙන ‘පොර ටෝක්’ ගැන සැලසුම් හදනවා. ජනතාව අන්දන්න ඕනැ විදිහ එතැන කතාව විශේෂ ම මාතෘකාව. ඒ එදා… අද? සෙල්ෆි ගහනවා. ලයිව් යනවා. මිරිස් කුඩු ගහනවා. ඇට කූට්ටං මිරිකනවා. සෙංකෝලෙ උස්සනවා. ඒ විතරක් නෙවෙයි…. උඩ බැල්කැනියෙ ඉස්කෝලෙ ළමයි බලාගෙන ඉඳිද්දි අමු ම අමු තිත්ත කුණුහරුපෙන් බැණ ගන්නවා. මළ ජෝගියයි. එදා වගේ ම නේ අදත්. මේ ඔක්කෝම රූපවාහිනී නාලිකාවලින් හා පුවත්පත්වලික් ජනතාවට බෙදා හරිනවා. මම කතා කළේ උදාහරණයක් හොඳේ.
ලංකාවේ ඉස්පිරිතාලවල ඉතා හොඳ දොස්තර මහත්වරුන් සේවය කරනවා. රටේ මිනිස්සුන්ගේ අප්‍රමාණ ආදරයක්, ගෞරවයක් ඒ උත්තමයන් වෙනුවෙන් හිමි වෙනවා. ඒත් මම අහන්නේ මොකක් ද මේ රටට වෙලා තියෙන්නේ?
ඉතින් රටේ ම මිනිස්සු කුලප්පු වෙනවා. මහ පාරක යන්න බැහැ. මිනිස්සු මහ පාරට බැහැලා. දකුණේ කට්ට්ය බෝට්ටු උස්සගෙන ඇවිත් මහ පාරෙ මැද්දෙ තියලා. එතැනින් එහාට යන කොට වී ගෝනි මහ පාර මැද්දෙ හළලා. රන්වන් පාට වී ඇට මහ පාරේ අව්වට දිලිසෙනවා. දෙබරවැව පැත්තට යන කොට මිනිස්සු ගැහැනු දිය පොදක් හොයා ගෙන දරුවනුත් එක්ක ගාටනවා. මොකද ‘දෙබරවැවේ ජලය හැමදාමත් නැහැ. මම ඒක දන්නවා. මමත් ගෑටුවා. නාන්න දිය පොදක් හොයා ගෙන.
ඒවා ඔක්කොම පැත්තකින් තියමුකෝ. මිදි වවලා ලෝකෙට ම දීපු උතුරු නැගෙනහිර මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ? අනේ උන් විඳින දුක…. මම යාපනය ඇතුළු උතුරු නැගෙනහිර හැම පලාතක ම ඇවිද්දා. උන් විඳින දුක දැක්කහම පපුව පිච්චෙනවා. ඇයි ඒ? බොන්න වතුර නැහැ. ඒ ඇවිදින කාලේ ඒ ජනයාට විතරක් නෙවෙයි මටත් බොන්න වතුර නැහැ. ඒත් අපේ තිබුණා කිසියම් සිවිල් බලයක් අනුව ඒ කාලේ යුද හමුදාව හා පොලිසිය අපට අඩුපාඩුවක් වෙන්න ඉඩක් දුන්නේ නෑ. ඒත් මගේ දෑහැට කඳුළු නැඟුණා. සිවිල් බලයක් තිබුණු අපට වතුර ලැබෙන කොට අඳින්න හරිහමන් වස්ත්‍රයක්වත් නැති ඒ මිනිස්සුන්ට වතුර කඳුළක් වත් නෑ. වයසක අම්මලා, දුරුවෝ කළගෙඩි ඔළු උඩ තියාගෙන අව්වේ පිච්චෙමින් කිලෝමීටර් ගණන් දුර වතුර හොයාගෙන ඇවිද යන හැටි මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා. ඒ මීට හවුරුදු තිහකට විතර කලින්. ඉතින් අද ඒටක් වෙනසක් දකින්න පුළුවන් ද? බැහැ නේ. තවමත් ඒ මිනිස්සු, ගැහැනු හා දරුවන් ඇළුමිනියම් කළගෙඩි ඔළු උඩ තියාගෙන ගිනිගහන අව්වේ පිච්චි පිච්චී වතුර හොයාගෙන කිලෝ මීටර ගණන් ඇවිදිනවා. උතුර, දකුණ, කැගෙනහිර කාටවත් අවශ්‍ය වෙලාවට වතුර ටික නැහැ. බොන්න නැහැ. නා ගන්න වතුර නෑ. වගාවට වතුර නැහැ. හැබැයි මෙහෙම කවියක් නම් තියෙනවා.
මහවැලි, කැලණි, කළු වලවේ යන ගංගා
සමනල කඳු මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා අතරෙන් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා”
රෙද්ද තමයි.
හරි… මෙහෙම හිතමු… මහා ගංගාවල් තියෙනවා නම් ඇයි අපේ රටේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකේ නැත්තේ? වගාවට වතුර නැත්තේ?? මහා ගංගා හතරක ජලකඳන් මහ මුහුදට යන්න නොදී මිනිස්සුන්ට ඒවා බෙදා හරින්නේ නැත්තේ ඇයි? ඒකට වැඩ පිළිවෙලක් හදා ගන්න බැරි වුණේ ඇයි??? හවුරුදු 76 ක් තිස්සේ ගංගාවක් හරවා ගන්න බැරි අයට ද රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ? ඇයි එහෙම ඡන්දෙ දුන්නේ?? මොනවා බලාපොරොත්තුවෙන් ද?? අහිංසක බලාපොරොත්තුවලින් සූදු කෙළින්න දුන්නේ ඇයි?
මං නං දන්නෙ නෑ මේවාට ඔබ දෙන පිළිතුරු මොනව ද කියලා. හැබැයි මට පිළිතුරු තියෙනවා. කරන විදිහ මෙහෙමයි.
මම ඉන්නේ ඕස්‌ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය ආසන්නයේ. බ්‍රිස්බෙන් ගංගාව ගලාගෙන යන්නේ නගරය මැද්දෙන්. ගංගාවේ එහා පැත්තේ හා මෙහා පැත්තේ ඉන්න මිනිස්සු කිසිම කරදරයකින් තොරව දිනපතා ම මේ ගංගාව ‘යටින්’ තමන්ගේ වාහනවලින් යනවා. ගංගාව ‘යටින්’ කිව්වහම පුදුමයි නේ… ඔව්… මම හැමදාම ඒ දැවැන්ත ගංගාය යටින් යනවා. කොහොමද ඒ වගේ දෙයක් වුණේ. අපට ඒ වගේ මහ දේවල් කරන්න අවශ්‍ය නෑ. මුහුදට ගලා ගෙන යන එක ගංගාවක වතුර ටික හරව ගන්න තිබුණොත් මොන තරම් සම්පතක් ද ඒක.
ඇයි අපේ රටේ ලොක්කන්ට බැරි අඩුම තරමේ පී. වී. සී. නල ටිකක් හරි එලන්න. ඔය ඉන්නවා නේ ආර්පිකෝ…. දම්රෝ… වැනි දේශීය නිශ්පාදකයෝ. ඒ නිශ්පාදකායතනවල පාලනාධිකාරීන් කිසිම වෙලාවක මඟ හරින්නෙ නෑ මේ වගේ වැඩක් කිව්වොත්… උපරිම සහාය දෙදෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තරයටත් කතා කරන්න පුළුවනි. ලෝකයේ ජල ප්‍රශ්නය විසඳන්න සල්ලි තියෙන රටවල් ඕනෑ උදව්වක් කරනවා. ඒ මොකා නැතත් දම්රෝ හා ආර්පිකෝ මුළු රටට ම ජල නල එලාවි. මොකද ඒ උදවිය දන්නවා ජනතාව දියුණු වුණොත් ඒ අයත් දියුණු වෙන බව. ජනතාවගේ අත මිට සරු වෙනවා කියන්නේ තමන්ගේ ව්‍යාපාරවලටත් ඒ දියුණුව බලපාන බව ඒ උදවිය දන්නවා. රට ඇතුළේ තියෙන මහා ගංගාවල මහා ජල කඳන් මහ මුහුදට මේ විදියට ගලා ගෙන යන හැටි තව හවුරුදු කීයක් අපි බලාගෙන ඉන්න ද? මේක හරිම විහිළුවක්. … ජාතික අපරාධයක්.
බ්‍රිස්බෙන් ගංගාව යටින් උමං මාර්ගය සෑදූ ආකාරය වීඩීයෝ තියෙනවා. කරුණාකර ඔබ හොයා බලන්න .