උණුසුම් පුවත්

බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය අද ඇරඹුණු වගයි

අරලියගගහ මැඳුරේ සේවාවේ නිරත වූ බාලදක්ෂයිනට සේවා කාර්ඩ් පිරිනැමේ

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය ජුලි මස 1 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයින් මෙම කාලය තුළ බාල දක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරේ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“ තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය  ශත වර්ෂයකටත් වැඩි කළක් සිට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. පාසල් දරුවන් එයට එකතු වෙමින්, එය ඉදිරියට ගෙන යාමට සෑම වර්ෂයකම බාල දක්ෂ කඳවුර පවත්වනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් අත්දැකීම් සමුදායක් සිය ජීවිතයට එකතු කරගන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එයට කැපවී සිටින බාල දක්ෂවරුන් හා බාල දක්ෂිකාවන් සියලු දෙනාටත්, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යන කොමසාරිස්තුමන් ඇතුළු සියලු දෙනාටත් සුභ පතනවා”

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා

2024 සේවා හා සම්බන්ධතා මාසය ජුලි මස පළවෙනිදා ඇරඹෙනවා. බාලදක්ෂ දරුවන් ඔවුන්ගේ ශ්‍රමය භාවිතා කර ඔවුන්ගේ බාලදක්ෂ සමූහයටත්, දිස්ත්‍රික්කයටත් සංගමයටත් අවශ්‍ය කරන මුදල් වලින් කොටසක්  උපයන්නයි මේ ව්‍යාපෘතිය කරන්නේ.

නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජීව පීරිස් ප්‍රමුඛ බාල දක්ෂ කොමසාරිස්වරුන් හා බාල දක්ෂයින් පිරිසක් එක් විය.