චම්මිගේ හිතිවිල්ල
"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු......!"
අපි හිතෙනවා අපිට අපේ ජීවිතේ හුඟාක් දේවල් හම්බ වෙලා නෑ කියලා. ඒත් ඒ මොහොතේ අපිට අමතකයි අපිට ලැබිච්ච දේවල්.
මට මතක් වෙනව විජය කුමාරණතුංගව. ඔහුගේත් මගේත් මිතුදම බොහෝ පැරණියි.
එය ඇති කළේ තිස්ස. තිස්ස ෆොන්සේකා.
දවසක් අපි කළ දිගු සාකච්ඡාවකදී මං ඔහුට කීවා මිනිසුන්ගෙන් පරිස්සම් උනොත් හොඳයි නේද හිත හොඳ මෝඩයෙක් කියල අහගන්නේ නැතුව කියල. ඔහු මං දිහා බලන් හිටිය. අපි දෙන්න ඒ වෙලේ ඇවිදිමින් හිටියේ. ඉන්පස්සේ මං ළඟට ආවා. ඇවිත් කියපු දේ ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න අමාරු දෙයක්. ඒත් ඒ ඔහු.
" ඔයා කියන දේ මං දන්නව.ඒත් අතාරින්න ගියොත් මට අරියාදු කරපු පොලු තියපු අය හුඟයි. ඒත් මං කරන්නේ එයාලගේ මොනව හරි හොඳක් ගැන හිතල මං ඒව අමතක කරනව."
ඔහු එදා මට කියා දුන්නු පාඩම. හරි වටිනව අදත් මට.
එහෙම හිතුවම පසුතැවිල්ලක් නෑ නේද අපිට.
මොකද ඒ තැවීමෙන් විනාශ කර ගන්නේ සාධාරණව උපයා ගත් ධනයෙන් ශරීරයේ පැවත්මට ඇඟට එක්කාසු කර ගත්තු 'කැලරි' නේද?
ඇයි අපි පාඩු දෙකක් කරගන්නේ.
ඒ නිසා ආ දුර නොවේ බැලිය යුත්තේ යා යුතු දුරයි. සිතිය යුත්තේ නැති දේ නොවෙයි ලැබූ දේ රැක වඩා ගැනීමයි.
අපි මේ චින්තනයට ආගන්තුක වෙනතාත් අපි
අලුත් දෙයක් ගැන නොහිතා නැති දේට කේවල් කරනවා. මහජනයාගේ බදු මුදලින් උගත් අපි විභාග පාස් කරල ලබපු දැනුමෙන් රටට පවුලට යමක් නොදී රජයේම රස්සාවක් බලයේ ඉන්නා ආණ්ඩුවලින් ඉල්ලනවා. ඒක ලැබෙනතුරු සටන් කරනවා. කොයිතරම් කාලයක් ශ්‍රමයක් ධනයක් අපි අපතේ යවනවද?
ඒවම ප්‍රාග්ධනය හැටියට අරන් ව්‍යාපෘතියක පුංව්යට හරි යෙදෙව්වා නම් සමහරවිට තමන් වගේ තවත් කීප දෙනෙකුට ජීවිත නිර්මාණය කරලා.
මේ තත්ත්වය අපේ ජාතික අනන්‍යතාවක් ද කියල වෙලාවකට හිතෙන්නේ.
අමාරුවෙන් ගෙයක් හදන්න යන කෙනෙක් හොඳයි කියන බාස් කෙනෙක් අල්ලගන්නේත් අමාරුවෙන්.ඒ මිනිසා වැඩේ දාල ගියොත් හරි නැවතුණොත් වෙන කෙනෙක් ගෙනාවම එයා කියන්නෙම පරණ බාස්ගේ වැරදිමයි. ඒකට ගතවෙන කාලය ගැන ඔහුට වගක් නෑ.
බෙහෙත් අරන් හොඳ නොවුණම වෙන දොස්තර කෙනෙක් ළඟට යන්න. එයත් එහෙමයි. ඒක එන්නේ ජාති ජානවලින් ද නැත්නම් අපේ සංස්කෘතියෙන්ද මංදා.
මොකද බලයට පත්වෙන ආණ්ඩු බලය ගන්නකම් ඉන්න අයගේ වැරදිමයි කියන්නේ. නාකමයි දකින්නේ. කොහොම හරි එයාල බලේට ආවයින් පස්සේ එයාල ආයෙත් කරන්නේ හිටපු අයට බනින එකයි. එතකොට එයාලට තමන් ආවේ මොකටද කියල මතක නෑ.
අපේ ලක්ෂමන් විජේසේකර වරෙක ගැයුවා වගේ
" ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මීනිස්සු
ලද දේ සිත සතුටින් විඳින මිනිස්සු....."
ඇත්තටම ඔවුන් වඳවෙලා ම ගිහින්ද?
ඒ නිසා අපි අපිවත් එය තේරුම් ගමු.
එහෙම නොවුණොත් මේ යන හැටියට අපිටම අපිවත් නැතිවෙලා යන්න පුළුවන්.! මන්ද ඔබ ඇති දේ ඇති සැටියෙන් දකින මිනිහෙක්.
