උණුසුම් පුවත්කාලීනදේශපාලන

බෙදුම්වාදින් කෝප ගැන්වූ ඉටු නොකළ ඉල්ලීම් හයක් එළියට!!?

මහින්දට ලන්ඩනයේ දී එල්ල වුණු කොටි විරෝධයත් එක්ක.  ඒ අය හිටියේ කෝපයෙන් වියරු වැටිලා. සටන් පාඨ වලින් ඉල්ලා හිටියේ මහින්දට මරණය. ඒත් ටිල්වින්ට??

ජනතා විමුක්ති පෙර‍මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එංගලන්තයේ දී කොටි සංවිධානයේ විරෝධයකට මුහුණ දෙනවා අපි දැක්කා.  ඔවුන් කොටි කොඩි අරගෙන පැමිණියත් කිසිම ඉල්ලීමක් හෝ සටන් පාඨයක් ඉදිරිපත් කරමින් විරෝධය පළ කරනවා අපි දැක්කේ නෑ.  ඒ වගේම ටිල්වින් මහතා වාහනයෙන් බැහැලා උත්සව භූමියට යන එක වළක්වන්න කිසිම උත්සාහයක් ගත්තේත් නෑ.  මේක අපි සංසන්දනය කරන්න ඕනි 2012 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලන්ඩනයේ දී එල්ල වුණු කොටි විරෝධයත් එක්ක.  ඒ අය හිටියේ කෝපයෙන් වියරු වැටිලා. සටන් පාඨ වලින් ඉල්ලා හිටියේ මහින්ද මැතිතුමාට මරණය. තව විනාඩි දහයක් එම ස්ථානයේ රැඳී සිටියා නම් මහින්ද මැතිතුමාගේ ජීවිතය පවා අවදානමකට ලක්වීමට තිබුණු බවට ආරක්ෂක විශේෂඥයින් පසුව සඳහන් කළා.

අපි ටිල්වින් මහතාට එරෙහිව දැක්කේ නාමික විරෝධයක්.  සුහද විරෝධයක්.  කරන්නන් වාලේ කරන විරෝධයක්. කොහොමත් උතුරේ ත්‍රස්තවාදින් සහ දකුණේ ත්‍රස්තවාදින් අතර තිබෙන්නේ සහෝදරාත්මක බැඳීමක්.  ඒ වගේම අපට කර ගන්න බැරි වුණු දේ මේ අය කලානේ කියලා උතුරේ ත්‍රස්තවාදින්ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා.

පසුගිය කාලයේ බෙදුම්වාදින් පිනවන්න ගිහින් මාලිමා ආණ්ඩුව තමන්ගේ දකුණේ ඡන්ද පදනම කුඩු පට්ටම් කරගෙන ඉන්නේ.  රණවිරුවන්ට සෙබළු කිව්වා.  කොටින් සටන් කලේ සාමය උදෙසා කිව්වා.  උතුරේ හමුදා කඳවුරු ඉවත් කලා.  උතුරේ සිංහලයින්ට හිරිහැර කරන්න තමන්ගේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙහෙයවූවා.  උතුරේ පන්සල් ඉවත් කර ගන්නැයි පැවැත්වුණු උද්ඝෝෂණ වලට තමන්ගේ සාමාජිකයින්ට සහභාගි වෙන්න දුන්නා.  නැගෙනහිර පන්සල් ඩෝසර් කරන්න හැදුවා.  නැගෙනහිර පන්සල්වල බුදු පිලිම පොලිසිය දාලා පැහැර ගත්තා.  මේවා නිසා ආණ්ඩුව පිළිබඳ බහුතර ජනතාවගේ විශ්වාසය බිඳලා තිබෙන්නේ.  බෙදුම්වාදින්ට පොරොන්දු වුණු පෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන්න නම් අනිවාර්රයෙන්ම මේ විශ්වාසය නැවත ඇති කර ගන්න ඕනි.  ඒ නිසා ලන්ඩන් කොටි උද්ඝෝෂණය දකුණේ ත්‍රස්තවාදින්ට යළි මහජන විශ්වාසය ඇති කර ගන්න උතුරේ ත්‍රස්තවාදින්ගෙන් ලැබුණු සහයෝගයක්ය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

 මේක නාටකයක් නොවී ඇත්තක් කියලා මොහොතකට හිතමු.  තත්වය වඩාත් භයානකයි.  අනුර දිසානායක මැතිතුමා ජනාධිපති තනතුරට පත් වුණාට පස්සේ කැනේඩියානු දෙමළ කොංග්‍රසය සුබ පැතුමක් එව්වා.  ඒකේ කිව්වේ අපි අපේ යුතුකම ඉටු කලා.  ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න කියලා.  මම මාධ්‍ය හමුවක් පවත්වලා ඇහුව්වා.  අපි අපේ යුතුකම ඉටු කලා කියන එක පැහැදිලියි.  උතුරු සහ නැගෙනහිර දෙමළ ප්‍රදේශ වලින් අනුර ජනාධිපතිතුමාට දැවැන්ත ඡන්ද කුට්ටියක් ලැබුණා.  ඒ වගේම කැනඩාවේ ගිය වෙලාවේ ලොකු මුදල් කුට්ටියකුත් දෙන්න ඇති.  පැහැදිලි නැති කොටස තමයි ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න කියන කොටස.  කොටි හිතවාදින්ගේ සහය ගන්න ඔබතුමා ඔවුන්ට දුන් පොරොන්දු මොනවා ද කියලා මම මාධ්‍ය හමුවක් පවත්වලා ප්‍රශ්න කළා.

මම මතු කළ ප්‍රශ්නයට ජනාධිපතිතුමා පිලිතුරු දුන්නේ නෑ.  මා ගැන අනුකම්පා කරලා වෙන්නැති කැනේඩියානු දෙමළ කොංග්‍රසය පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයට එවූ සුබ පැතුමේ කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සභාපති කුමාර් රත්නම් අත්සන් කරලා දුන් පොරොන්දු ලැයිස්තුවත් ඉදිරිපත් කරලා තිබුණා.  මොනවාද ඒ පොරොන්දු.

  1. i) සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න (සිර ගත කර ඇත්තේ ත්‍රස්තවාදින් මිස දේශපාලන සිරකරුවන් නොවේ කියන එක අපි අවධාරණයෙන් සිහිපත් කරනවා)
  2. ii) ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න.
iii) හමුදා කඳවුරු පිහිටුවීමට ලබා ගත් පෞද්ගලික ඉඩම් සියල්ලම මුල් අයිතිකරුවන්ට භාර දී හමුදා කඳවුරු ඉවත් කර ගන්න.
  1. iv) උතුරේ පන්සල් ඉදි කිරීම නවත්වන්න.
  2. v) නව ව්‍යවස්ථාව සම්මත කරන තුරු පොලිස් බලතල ඇතුළු 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන්න.
  3. vi) හමුදාව ආපන ශාලා පවත්වා ගෙන යෑම වැනි වාණිජ ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන් ඉවත් වී උතුරු සහ නැගෙනහිර පලාත් හී හමුදා ස්ථාන ගත කිරීම අනෙකුත් පලාත් වලට සමපාත කරන්න.

මේවා තමයි මාලිමා ආණ්ඩුව කොටි හිතවාදින්ට ලබා දුන් පොරොන්දු.  පොලිස් බලතල ඇතුළු 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න එකඟ වෙලා.  උතුරු සහ නැගෙනහිර පලාත් වලට ස්වයංපාලනය ලබා දෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන්න එකඟ වෙලා.  ඒවා ඉටු නොකිරීමේ ආවේගය තමයි ලන්ඩන් නුවරින් එළියට ආවේ.

දකුණට බොරු පොරොන්දු දීලා රැවැට්ටුවා වගේ ලෙහෙසි නෑ. කොටි හිතවාදින්ට බොරු පොරොන්දු දෙන එක.  කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියන්නේ නිකමට නොවේනෙ.  කුම්බලාවෝ මාළු කෑවා නම් විඳවාපන් බලලෝ කියලා තමයි අපට කියන්න තිබෙන්නේ.

නුගේගොඩ රැස්වීමේ හොරු හිටියා ද?

නුගේගොඩ රැස්වීමේ පළමු පේලියේ වාඩි වී සිටි සෑම අයෙකුටම අල්ලස් කොමිසමේ ලිපි ගොනු හතරක් පහක්වත් තිබෙනවා කියලා නලින් හේවගේ, දේවානන්ද සුරවීර, සුන්දරලිංගම් ප්‍රදීප්, සුනිල් රත්නසිරි යන මැති ඇමතිවරු කිව්වා.  මමත් වාඩි වෙලා හිටියේ පළමු පේලියේ තමා.  මට විරුද්ධව අල්ලස් කොමිසමේ තිබෙන ලිපි ගොනු හතරක් පහක් නොවේ, එකම එක ලිපි ගොනුවක් ගැන පුළුවන් නම් කියන්න කියලා. මම මාලිමා මැති ඇමතිවරුන්ට අභියෝග කරනවා. අද මේ මොහොතේ නෙමෙයි 1994 අල්ලස් කොමිසම පිහිටපු දවසේ සිට කිසිම දිනක අපිට එරෙහිව අල්ලස් කොමිසමේ ලිපි ගොනුවක් විවෘත වෙලා නැති බව අපි ඉතාම අවධාරණයෙන්  මාලාමා ඇමතිවරුන්ට සිහිපත් කරනවා.  අපි හොරකම්, මැරකම් සල්ලාලකම් කරලා නැති නිසා තමයි අනුර දිසානායක ජනාධිපතිතුමා අන්ත දූෂිතයෙක් කියලා බය නැතිව කියන්නේ.  මාලිමා ආණ්ඩුව දූෂිතයි කියලා බය නැතිව කියන්නේ.

අනුර ජනාධිපතිතුමා ලංකා ඉතිහාසයේ බිහි වුණු දූෂිතම ජනපති කියා මම නුගේගොඩ රැස්වීමේ ප්‍රකාශ කලාම මාලිමාවට ගොඩක් රිදිලා.  ඩෝබි බලකාය දාලා අපට මඩ ගහනවා.  ඩෝබි බලකාය කෙතරම් කලබල වුණත් ඩෝබි බලකායේ තිබෙන වීරප්පන් කඩා පැනීමේ ඒකකය කෙතරම් වියරු වැටුණත් මේක තමයි තිත්ත ඇත්ත. අපි සහස්දනවි වංචාව, ඩීසල් මාෆියාවට යට වීම, බහාලුම් 323 වංචාව, කැබ් රථ 1,775 ටෙන්ඩර් වංචාව, සහල් ටෙන්ඩර් වංචාව, ලුණු ආනයන වංචාව වගේ ප්‍රධාන වංචා පැත්තකින් තියමුකෝ.  ආණ්ඩුවේ හොරු අල්ලන විගණකාධිපති ධූරයට සුදුස්සා පැත්තකින් තියලා ජීවිතයට රජයේ විගණනයක් කරලා නැති කැළණි සගයෙක් දා ගන්න හදපු පළමු ජනපති අනුර කුමරු නොවේ ද?  ආණ්ඩුවේ දූෂණ හොයන දූෂණ විමර්ශන කොමිසමේ ලොකු පුටුවට වැඩි ලකුණු ගත්ත මාධව තෙන්නකෝන් මහතාව කපලා දූෂිත කුමන්ත්‍රණයකින් තමන්ගේ එකෙක් දා ගත්තේ අනුර කුමරු නොවේද?  බහාලුම් 323 වංචනිකව වරායෙන් පිටමං කිරිම සම්බන්ධයෙන් ජනපති යටතේම තිබෙන මුදල් අමාත්‍යාංශයේ කමිටුවකින් වැරදිකරු කරපු සීවලී අරුක්ගොඩ මහතාට දඬුවම් කරනවා වෙනුවට ජේෂ්ඨයන් නොසලකා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට උසස්වීමක් ලබා දීලා සම්ප්‍රදාය නොසලකා සේවා දිගුවකුත් ලබා දුන්නේ අනුර කුමරු නොවේ ද?  ඔබටත් වඩා දූෂිත ජනපතිවරයෙකු සිටියා නම් ඔහුව නම් කරන ලෙස මම ඔබතුමාට අභියෝග කරනවා

සමහරු කිව්වේ නුගේගොඩ රැස්වීම හොරුන්ගේ රැස්වීමක් කියලා.  අපි අතර චෝදනා තිබුන පමණින් ඒ අය හොරුයි කියලා අපිට කියන්න බෑ. මොකද මාලිමාවේ නායකයේ කට ඇරියෝත් කියන්නේ පට්ටපල් බොරු මේවන විට උගන්ඩාවේ සල්ලි, චිචීගේ රෝකට් එක, චිචීගේ පවුම් 90 රත්තරන් මාලේ, රත්තරන් අශ්වයෝ, නාමල් රාජපක්ෂගේ ලැම්බෝ ගිනි 19 වැනි චෝදනා ගණනාවක් පට්ටපල් බොරුය කියලා ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා කාට එරෙහිව තියෙන චෝදනා ඇත්තද? කාට එරෙහිව තියෙන චෝදනා බොරුද? කියන්න අපි දන්නේ නෑ.  ඒ නිසා අපිට දේශපාලනය කරන හැමෝම එක්ක කටයුතු කරන්න අපිට සිද්දවෙනවා. හැබැයි අපි අතර කවුරු හරි හොරු ඉන්නවා නම් කියවා කියවා ඉන්නේ නැතිව ඒ අයව අල්ලන්න. මොකද ඒ අය ලග අර ලිපි ගොනු 422 පිරවපු කැබ් එක තියෙන්නේ. අපි ගාව එවැනි තොරතුරක් නෑ. එහෙනම් ඒ අයට දඩුවම් කරන්න.   අපි ඒකට කිසිම විරෝධයක් පල කරන්නේ නෑ.  ජන වරම ගත්තේම හොරු අල්ලන්න පොරොන්දු වෙලානෙ.  හැබැයි අපිව බය කරලා නතර කරන්න බැරි නිසා හිරේ දාලා නතර කරන්න බොරු නඩු පටලවන්න හැදුවොත් ඒක ආණ්ඩුවට පරාවලල්ලක් වේවි කියලා දැන්මම අනතුරු ඇඟවීම කරනවා.