ජගත් ගේ සතියේ සටහන - 75
පසුගිය මැයි 06 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 178 න් මේ වන විට ආයතන 166 ක සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත්කර ගෙන තියෙනවා. එයින් ආයතන 75 ක බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයට 91 ක බලය අත්පත් කර ගන්නට හැකි වුණා. මෙම පළාත් පාලන ආයතන 91 න් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් බලය පිහිටුවා ඇත්තේ ආයතන 35 ක පමණයි.
බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති හෝ නගරාධිපති, උප නගරාධිපති වරුන් පත්කර ගෙන තිබෙන්නේ විවෘත ඡන්දයෙන් හා රහස් ඡන්දයෙන්.
නෝර්වුඩ් හි ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා ම පක්ෂයෙන් ඉවත් වෙලා
මෙම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීඹ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්ව ජනබලය, ලංකා කම්කරු කොන්ග්රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, එක්සත් ජාතික පක්ෂය, සමස්ත ලංකා මහජන කොන්ග්රසය ඇතුළු විපක්ෂයේ පක්ෂ රාශියක් පොදු එකඟතාවයකට පැමිණ තිබුණා. ඒ අනුව සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධූරය සමගි ජන බලවේගයටත්, උප සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ වෙනත් පක්ෂයකටත් ලබා දීමට එම පක්ෂ එකඟවී තිබූ අතර සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධූරය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ පොදුජන පෙරමුණට හෝ හිමිවුණා.
ප්‍රියන්ත සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම්
එහෙත් ගාල්ල මහ නගර සභාව, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදී පළාත් පාලන ආයතන කිහිපයක මෙම එකඟතාවය ක්‍රියාත්මක වුණේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයකු ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දය දීම නිසා ගාල්ල මහ නගර සභාවේ බලය හිමිවුණේ ජාතික ජන බලවේගයට යි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලංකා කම්කරු කොන්ග්‍රසයට ලබා දීමට ජාතික ජන බලවේගය එකඟ වී තිබු නමුත් ජාතික ජන බලවේගයේ ජොහාන් ෆ්‍රැන්සිස් ඇලන් නම් සභිකයා ස්වාධීන සභිකයන්ගේ සහාය ලබාගෙන සභාපති ධූරයට පත්වුණා. මේ නිසා ජොහාන් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී බලපෑම් ද සිදු කොට තිබෙනවා. එයට විරෝධය පාමින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා ම එම පක්ෂයෙන් ඉවත් වී සභාවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළා.
මේ අයුරින් ම ගාල්ල මහ නගර සභාවේ උප නගරාධිපති ධූරයට පත්වූ ප්‍රියන්ත සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
මෙලෙස ම සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීමේ දී සර්වජන බල පක්ෂයේ සභිකයා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය දි තිබෙනවා. ඒ හේතුවෙන් සර්ව ජන බල පක්ෂය විසින් ඔහුගේ ද පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව වාර්තා වෙනවා.
මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තේරී පත්වූ සභිකයින්ට අමතරව ඒ ඒ පලාත් පාලන ආයතනවලට අතිරේක ලැයිස්තුවෙන් පත්කළ යුතු සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසමට යැවිය යුතුව තිබෙනවා. එහෙත් ජුනි මාසය අවසන් වන තුරුත් 166 දෙනකුගේ නම් කොමිසම වෙත එවා නැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගය සියලුම සභිකයින්ගේ නම් එවා ඇති නමුත් දේශපාලන පක්ෂ රාශියක් තවමත් නම් එවා නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඔහු පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 3 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 40 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 31 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 7 ක්, කුරුණෑගලින් 9 ක්, පුත්තලමින් 1 ක්, අනුරාධපුරයෙන් 27 ක්, බදුල්ලෙන් 15 ක්, මොනරාගලින් 27 ක් හා කෑගල්ගෙලන් 16 ක් ලෙස පලාත් පාලන ආයතනවලට සභිකයින් නම් කළ යුතු ව ඇති බව යි.
දේශපාලන පක්ෂ ආරංචි මාර්ග අනුව මෙම පත්කළ මන්ත්‍රීවරුන් තේරීමේ දී පක්ෂ තුළ අර්බුද හටගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ දී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා සිටියදී අඩු ඡන්ද ලබාගත් අයගේ නම් සභිකයින් ලෙස පත්කිරීම හේතුවෙන් සමගි ජන බලවේගය තුළ අර්බුද රැසක් හටගෙන ඇති බවත්, දැනගන්නට තිබෙනවා.
පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති, නගරාධිපති, උප නගරාධිපති පත්කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත, නිකුත් කොට තිබුණා. පළාත් පාලන කොමසාරිස්වරුන් බොහොමයක් මෙම මාර්ගෝපදේශ අනුව යෙමින් තමන්ට අයත් පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වූවා.
එහෙත් කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය කොළඹ මහ නගර සභාවට නගරාධිපති තෝරා ගැනීම රහස් ඡන්දයෙන් සිදු කළා. එහිදී සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක රීෂා සරූක් පරදවා ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි ඡන්ද 7 කින් ජයගනු ලැබුවා.
පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල දැක්වුණේ නගරාධිපති තේරීම රහස් ඡන්දයකින් කරන්නේ නම් රහස් ඡන්දයක් අවශ්‍ය ද යන්න පිළිබඳව කලින් ඡන්ද විමසීමක් කළ යුතු බව යි.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමේ දී සමගි ජ න බලවේගය ඇතුළු විපක්ෂය විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් අවශ්‍ය බව පැවසුවා. මේ පිළිබඳව නාගරික මන්ත්‍රීන් අතර විනාඩි 40 ක පමණ වාද විවාද පැවති අතර අන්තිමේ විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් නගරාධිපති තේරීම රහස් ඡන්දයෙන් සිදු කරන ලෙස යෝජන කළා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් එය ස්තිර කළා. සභාවෙන් විරෝධයක් ඇති නොවූ නිසා කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත් වූවා.
පළාත් පාලන කොමසාරිස්ලට ඇති බලයට අභියෝග බෑ

එහෙත් සමගි ජන බලවේගය පවසන්නේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ජාතික ජන බලවේගයට පක්ෂව කටයුතු කළ බවයි.
මේ පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තිස්ස අත්තනායක, අජිත් පී පෙර්රා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හා නීතිඥයින් කිහිප දෙනකු ද ගෙන්වා සාකච්ඡා කොට තිබුණා. කොමසාරිස්වරියට විරුද්ධව අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට එහිදී තීරණය වී තිබෙනවා.
කොමසාරිස්වරිය පවසන්නේ තමා කටයුතු කළේ පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව බවයි. විපක්ෂය ඇය පළාත් පාලන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොතකා කටයුතු කළ බවට චෝදනා කරනවා.
එහෙත් නීතිවේදීන් පවසන්නේ පළාත් පාලන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නීතියක් නොව උපදෙස් මාලාවක් පමණක් බවයි. එනිසා සාරාංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කොට ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුකූලව බැවින් ඇයට වරදක් පැවරිස නොහැකි බව ද නීතිවේදීන් පවසනවා.
මේ පිළිබඳව මහනුවර පැවති දිස්ත්‍රික් වැඩමුළුවක දී මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති, නගරාධිපති, උප නගරාධිපති තනතුරුවලට පත් කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්ට තිබෙන බවයි.
''පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති පත්කිරීමේ බලය තිබෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන්ට යි. පනතේ හැටියට කොමසාරිස්වරුන්ට තිබෙන එම බලයට අභියෝග කිරීමට හැකියාවක් කිසිවකුටත් නැහැ. තම අභිමතය අනුව කටයුතු කිරීමට කොමසාරිස්ට තිබෙන බලයට නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නැති බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබුණා.
අතුරළියේ රතන හිමියන්ට විරුද්ධවත් පරීක්ෂණ 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරළියේ රතන හිමියන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇති බවක් වාර්තා වෙනවා.
උන්වහන්සේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපේ ජන බලයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙනුයි පාර්ලිමේන්තුවට පත්වුණේ.
මැතිවරණයෙන් පසු අපේ ජන බල පක්ෂයේ ලේකම් වෙදිනිගම විමලතිස්ස හිමියන් බලහත්කාරයෙන් පැහැර ගෙනගොස් උන්වහන්සේගෙන් හිස් කඩදාසි කිහිපයකට අත්සන් කරවා ගැනීමේ සිද්ධියක් පිළිබඳව විමලතිස්ස හිමියන් කර තිබූ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය සිදු කරන බවයි දැනගන්නට තිබෙන්නේ.
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්වනු ඇති බවට එකල ප්‍රචාරයක් ද පැවති නමුත් අන්තිමේ දී මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ අතුරැලියේ රතන හිමියන්.
වේදිනිගම විමලතිස්ස හිමියන් ගේ පැමිණිල්ල අවුරුදු පහක පමණ කාලයක් යටගොස් තිබු අතර දැන් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි ආරම්භ කොට ඇති බවයි පැවසෙන්නේ.
මේ පරීක්ෂණ වලින් පසු අතුරැලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට යන බවට ද රාවයක් පවතිනවා.
පත්කළ මන්ත්‍රී සුජීව ගැන සජබෙ කතා බහක්
මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ සුජීව සේනසිංහ මහතා මාස ගණනාවක සිට එම පක්ෂයේ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි වී නැති අතර පාර්ලිමේන්තු රැස්වීම්වලට ද සහභාගි වී නැති බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. බොහෝ දෙනා පවසා ඇත්තේ විපක්ෂයට මේ කාලයේ විශාල කාර්යභාරයක් කිරීමට තිබියදී සුජීව සේනසිංහ මහතා කිසිදු කටයුත්තකට සහභාගි නොවීම බලවත් ප්‍රශ්නයක් බවයි. ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කොට ඒ වෙනුවට දක්ෂ අයකු පත්කළ යුතු බව ද පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ගැන ද මෙහිදී සාකච්ඡා වූ බවත් වාර්තා වෙනවා.
මේ අතර සුජීව සේනසිංහ මහතාට අයත් V – 8 වර්ගයේ මොටර් රථයක් ව්‍යාජ අංක යොදා ලියාපදිංචි කර ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ද පවතිනවා.
ඒ නඩුව සඳහා සුජීව සේනසිංහ මහතා පසුගිය නඩුවාර 6 ක දී ම උසාවියට පැමිණ නැති බැවින් ඔහු මෙම නඩුවේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව රජයේ නීතිඥවරයා මහේස්ත්‍රාත් උසාවියට පවසා තිබුණා.
මහේස්ත්‍රාත්වරිය සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට දැනුම් දී ඇත්තේ ජූලි 16 වැනිදා ඔහු උසාවියට ඉදිරිපත් කරන ලෙසයි.
බැඳුම්කරේ පරීක්ෂණ යළි ඇරඹ්! - ශානි යළි වැඩට බහී
මේ අතර පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සිදුවූ මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් පසුගිය සතියේ පත්කෙරුණු අතර ඔහුගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ සිදුකරනබවයි ආරංචි මාර්ග පවසන්නේ.
බැඳුම්කර වංචාව යටගැහීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගමකින් මුදල් ලබාගත් පාර්ලිමේන්තුවේ හිටපු දැනට සිටින මන්ත්‍රීවරුන් 10 කු ගැන ද මෙම පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදීමට නිකුත් කළ චෙක්පත් ගණනාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව ද දැනගන්නට තිබෙනවා.
මෙයින් එක් මන්ත්‍රීවරයකු බැඳුම්කර වංචාවක් සිදුවී නැති බවට ඒ දිනවල පොතක් ද ලියා පළ කර තිබුණා.
දැනට පරීක්ෂණ පැවැත්වෙන මන්ත්‍රීවරුන් අතර කොළඹ දිස්ත්රකිකයේ මන්ත්‍රීවරයකු ද සිටින බවත් දැන ගන්නට තිබෙනවා.