උණුසුම් පුවත්දේශපාලන

මම ශ්‍රී ලාංකිකයෙක් කියන හැඟීම තිබෙන රටක් ගොඩනඟනවා – අනුර කියයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024

ලංකාවේ ප්‍රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැර නව පාලනයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා. මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවීම දක්වා ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා. මහා මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්‍ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම අප තුන්දෙනාට පැවරී තිබෙනවා. නොවැම්බර් 14වැනි දිනට පසුව පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් අතුරින් විසිපස්දෙනකුට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ. අමාත්‍ය ධුරවලට ගැළපෙන නියෝජ්‍ය අමාත්‍ය ධුර තිබෙනවා. එතැන් සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින්, මේ ගමන යනවා. පැවැති පාර්ලිමේන්තුව සෑම ජනතාවකගේම විරෝධයට, පිළිකුලට භාජනයවී තිබුණා. කොවිඩ් වසංගතයේ දී, ජල ගැල්මකදී වාගේ ස්වාභාවික විපත්වලදී පවා ඒ විරෝධය ජනතාවගෙන් එල්ල වූනා. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි, මිරිස් කුඩු අරගෙන ආවා. සමහරු පොත්වලින් පවා ගහගත්තු හැටි අපි දැක්කා. අපේ රටේ සත්තු වත්ත ජනතාවට තහනම් කළේ නැහැ. නමුත්, පාර්ලිමේන්තුව තහනම් කළා. ඒ පාර්ලිමේන්තුව ජනතාවට උචිත පාර්ලිමේන්තුවක් නොවන බව එයින් ප්‍රකාශවී තිබුණා. ඒ පාර්ලිමේන්තුව සුද්ද කර අලුත් කිරීමට පෙළගැසෙන අතරේ හිටපු හැටදෙදෙනකුම ස්වේච්ඡාවෙන්ම ඉවත් වී ගිහින් තිබෙනවා. මාලිමාවේ අවංක, අදූෂිත වාගේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හොඳම දායකත්වයක් ලබාදෙන්න.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විශාල ශක්තියක් ලබා දී තිබෙනවා. 2019 ජනාධිපතිවරණයේ දී මාලිමාවට තිබුණේ, 5,000කට අඩු ඡන්ද ප්‍රමාණයක්. මේ ජනාධිපතිවරණයේදී 50,000කටත් වැඩියි. එහෙම නම්, මහ මැතිවරණයේදී මොනවා වෙයිද? අනෙකුත් පක්‍ෂ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න කොටම පරාජය පිළිගෙන ඉවරයි. අපේ රටේ තිබෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ජය ගන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර දීර්ඝ කාලයක් සැකය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය පතුරුවා තිබුණා. යුද්ධය අවසන් කිරීමෙන් පසුව 2015 සිට නැවත එම සැකය සහ අවිශ්වාසය වර්ධනය කරමින්, ජනතාව බෙදීමට පටන් ගත්තා. ඒ තුළ දෙමළ ජනතාව දෙමළ පක්‍ෂවලටත්, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්‍ෂවලටත් තල්ලු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ පක්‍ෂවල කරට අත දාගෙන ආණ්ඩු බලය තහවුරු කර ගැනීමේ දේශපාලනයක් ඔවුන් ගෙන ගියා. ත්‍රිකුණාමලය නගරය සහ දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වන තත්වය වෙනුවට ජනතාව බෙදලා ගැටුම් ඇති කරමින්, ඔවුන්ගේ පාලනය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමඟියේ පක්‍ෂය තමයි, ජාතික ජන බලවේගය. පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව අප ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයට පිවිසෙන්නේ අප ජයග්‍රහණය කර තිබෙන පසුබිමක සියලුම ජනතාව සමගියේ එක කුඩයක් යටතට ඇවිත්, සෙවණ ලබා ගැනීමටයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව විශ්වාස කරන, සියලුම ජනතාවගේ ආශීර්වාදය තිබෙන ආණ්ඩුව පිහිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.

අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා - ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, නීතිඥ අරුන් හේමචන්ද්‍රන් මහතා

මෙම භූමියේ අද පවත්වන්නේ සාමාන්‍ය රැස්වීමක් නොවෙයි. ඉතාම වැදගත් ඓතිහාසික රුලියක්. ජනාධිපති, අගමැති වාගේම ඇමැතිවරු පොරොන්දු දේශපාලනය සහිතව යම් පන්තියකට සේවය කිරීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර පොදු ජනතාවගේ දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබෙනවා. මගේ යහළුවෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන කීවේ, “ජනාධිපති සහෝදරයා අපේ අල්ලපු ගෙදර කෙනෙක් වගෙයිකියලා. මේ කතාව තුළ ගැඹුරු දේශපාලන පණිවුඩයක් තිබෙනවා. අපේ ජීවිත කාලය තුළ එවැනි ජනාධිපති සහෝදරයෙක් පත්කර ගැනීම මූලික වශයෙන් සිදුකර එහි ඊළඟ ජයග්‍රහණය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අත්පත් කර ගැනීමට ජනතාව පෙළගැසී සිටිනවා. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්උදෙසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් සූදානම් බව මේ මොහොතේදී අප සියලු දෙනා සපථ කර සිටිනවා. ජාතික සමඟිය ගොඩනඟමින්, ජනතාවට නිවැරැදි මඟ පෙන්වා දෙන්න ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් නිර්මාණයවී තිබෙනවා. මෙම රැස්වීමෙන්ම ඉතිහාසයේ ජයග්‍රාහී ගමනක් යා හැකි බවට තහවුරු වී තිබෙනවා. අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා. ඒ ගමන යන්න අපත් සමඟ එක් වන ලෙස හැම දෙනාටම ආරාධනා කරමු. ඒ වෙනුවෙන් සාකච්ඡාවක් අපි දිගටම ගෙන යමු. මජර දේශපාලනය පරාජය කිරීමට සැප්තැම්බර් 21 වැනිදා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් වඩාත් ශක්තිමත් කරමු.

ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම මට තිබෙනවා ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි මහතා

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පත්කර ගත්තේ උතුමාණන්, ශ්‍රීමතාණන්, අතිගරු වැනි වචනවලින් ආමන්ත්‍රණ කරන ජනාධිපති කෙනෙක් නොවෙයි, ජනාධිපති සහෝදරයෙක්. අපේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් රට පාලනය කරනවා. ඒ වාගේම අද ඉන්නේ ජනාධිපති සහෝදරයෙක් පමණක් නොවෙයි, අගමැති සහෝදරියක්. ඒ වාගේම තුන්දෙනෙක් මූලික වී රට පාලනය කරන ආණ්ඩුවක්. මෙයට පෙර සිටි මැති, ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය අප දැක්කා. මේ රට බංකොළොත් තත්වයට පත් කළේ ඔවුන්. නමුත්, මෙවර මහා මැතිවරණයෙන් උගත්, බුද්ධිමත්, අදූෂිත පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට පත් කර යවනවා. වඩා යහපත් පාලනයක් සඳහා වඩා යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවා පොදු ජනතාවගේ අරමුණු ඉටු කර ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට ඉතිහාසය වෙනස් කළ හැකි ප්‍රබල පාර්ලිමේන්තුවක් පත්කර දිය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව යම් අවබෝධයක සිටිනවා.

ගෙවී ගිය අවුරුදු හැත්තෑහයක කාලය තුළ පැවැති සියලු ආණ්ඩු යටතේ මම ජීවත්වී තිබෙනවා. මේ තත්වයට රට පත් කිරීම දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මාගේ ජීවිතයෙන්ම අත්දැක තිබෙනවා. ඒ සියලු තත්වයන් වෙනස් කර ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාලනයක් පිහිටුවන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. වඩා යහපත් ජීවිතයක් අපටත්, අපේ දරු මුණුබුරන්ලාටත් ලබා දීම වෙනුවෙන් රට ගොඩනැඟීමේ මූලික පියවර ගෙවූ කෙටි කාලය තුළ දී ඔප්පු කර තිබෙනවා. රටේ තිබෙන නීතිය පාලකයාටත්, ජනතාවටත් එක සේ ක්‍රියාත්මක කෙරෙනවා. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපැදී, ගෞරවනීය ජීවිතයක් ගත කර ජීවිතය අවසන් කිරීම සඳහා කළ යුතු මූලික කටයුතු වෙනුවෙන් මහා මැතිවරණයේ දී අදාළ ජයග්‍රහණයන් ලබා දෙන්න තව තවත් පෙළගැසෙනා ලෙස ඉල්ලා සිටිනවා.