ජගත් ගේ සතියේ සටහන - 36 - රනිල් සජිත් අනුර ජනපති පුටුවට තියුණු සටනක
ප්‍රචාර වේගවත් කෙරේ. ප්‍රචාරක වැඩට ඇත්තේ තව දවස් තුනයි
දිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණ ඡන්දයට තවත් ඇත්තේ දින පහක් පමණ ය. 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු සැප්තැම්බර් 18 වැනි දා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ නිසා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ හා සර්වජන බලයේ අපේක්ෂක දිලිත් ජයවීර යන මහත්වරුන් ඔවුන් ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබෙනවා.
මෙම අපේක්ෂකයින් අතරින් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා රනිල් වික්‍රමසිංහ යන තිදෙනා අතර තියුණු තරගයක් පවතින බව පෙනෙන්නේ යැ යි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.
ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ දී සිය මැතිවරණ ප්‍රකාශන වල ඇතුළත් පොරොන්දු හා ප්‍රතිපත්ති ගැන කතා කළ ප්‍රධාන අපේක්ෂකයින් දැන් වේදිකාවල දී එක එක්කෙනාට චෝදනා කරමින් පහර ගසා ගැනීමට ද පටන්ගෙන තිබෙනවා.
මේ අතර මාධ්‍ය උපමාණ උල්ලංඝණය කරමින් සමහර අපේක්ෂකයින්ට වැඩි වාසි ලැබෙන පරිදි මාධ්‍ය මෙහෙයැවීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් කැඳවා අවවාද කළ බව මැතිවරණ තොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා.
කලින් වතාවලට වඩා මෙවර ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති අකුරට ම ක්‍රියාත්මක කරමින් මැතිවරණ නීති කඩන අපේක්ෂකයින්ට විරුද්ධව කටයුතු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට ආඛ්ඩුව කටයුතු කරන බව පවසමින් එයට විරෝධය පෑම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉකුත් සතියේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත් වූ අතර මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැමිණ මැතිවරණ කාලයේ විරෝධතා පැවැත්වීම නීති විරෝධී බැවින් විසිරී යන සේ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් එම ඉල්ලීම නොතකා විරෝධතාව දිගට ම කරගෙන යෑමට සූදානම් වූ විට එම පිරිස විසුරුවා හරින ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරියා පොලිසියට දැනුම් දුන්නා . ඒ අවස්ථාවේ පොලිසිය ඔවුන් විසුරුවා හැරිය අතර අන්තරේ කැඳවුම්කරු ඇතුළු නමදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇතැම් අපේක්ෂකයින් ඔවුන් ගේ රැස්වීම්වලට පැමිණි ආධාරකරුවන්ට ලබාදීම සඳහා ගෙනැවිත් තිබූ ආහාර පාන ද මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථා ද පසුගිය දිනවල වාර්තා වුණා. පිල් මාරු - ට්‍රිපල් ජස් කීයක් වේ ද
මේ අතර තවත් දේශපාලන පිල් මාරු ගණනාවක් මේ සතියේ මුල් දින තුන ඇතුළත සිදුවීමට ඉඩ ඇතැ යි වාර්තා වෙනවා.
ජනාධිපතිවරණයේ දී වැඩි වාසි පෙනෙන පක්ෂයට මෙම පිල්මාරු සිදුවනු ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙමින් සිටි ජීවන් තොණ්ඩමන් ඇමතිවරයගේ ලංකා කම්කරු කොංග්‍රසය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට යන බවට පසුගිය සතියේ දේශපාලන අංශ අතර රාවයක් පැතිර තිබුණා.
තොණ්ඩමන්ට ඉන්දියාවෙන් බලපෑම්!? සජිත් , තොණ්ඩමන් ට කිය පු දේ
ජීවන් තොණ්ඩමන් මහතාට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් අනුව ලංකා කම්කරු කොංග්‍රසය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කොට ඇති නමුත් ඒ ගැන සාකච්ඡා කළ විට සජිත් ප්‍රේමදාස මහතා ඔහුට පවසා ඇත්තේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, හා රාධා ක්‍රිෂ්ණන් යනන අය සමඟ ඒ ගැන සාකච්ඡා කරන ලෙසයි.
කම්කරු කොංග්‍රසය සමඟ එක්වුණොත් එය වතුකරයේ තමන්ට තිබෙන බලයට තර්ජනයක් විය හැකි බැවින් දිගම්බරම් ඇතුළු පිරිස එයට කැමති වී නැහැ. මේ නිසා ජීවන් තොණ්ඩමන් ගේ සහාය ලබා නොගැනීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළ බව ද දැනගන්නට තිබනවා.
මේ අතර සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ජීවන් තොණ්ඩමන් මහතා පවසන්නේ තමා හා තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම කිසිසේත් ම වෙනස් නොකරන බවයි.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලැබූ පොදුජන නිදහස් පෙරමුණ නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිමල් ලංසා මහතා ගේ නව සංධානය සමඟ අලුත් සන්ධානයක් පිහිටුවා ගැනීමට මුලදී තීරණය කොට තිබූ නමුත් එය සාර්ථක වී නැහැ.
දැන් එම පක්ෂ ජනාධිපතිවරයාට සහාය දීම වෙන වෙන ම කරගෙන යන බවයි පෙනී යන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පසුගියදා 12 වන දා නාම යෝජනා බාර ගනු ලැබූ අවස්ථාවේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන එක්සත් පෙරමුණත් වෙන වන ම නාමයෝජනා භාර දී තිබුණා.
කොමියුනිස්ට් පක්ෂය ඇල්පිටියෙන් ප්‍රතික්ෂේප වෙලා
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජනසෙත පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ජාතික ජන බලවේගය, දෙවන පරපුර, හා ස්වාධීන කණ්ඩායමක් ඇතුළු පක්ෂ හා කණ්ඩායම් 9 ක් තරග වැද සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මෙම ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ඔක්තෝම්බර් 26 වැනි දා පැවැත්වීමට නියමිතයි.
≈≈≈≈≈⋆⋆⋆≈≈≈ ≈≈≈≈≈⋆⋆⋆≈≈≈
උණුසුම් ජනපති පොරයේ තීරණාත්මක සාධක ඇත්තේ - උතුර, නැගෙනහිර හා වතුකරයේ ?
ප්‍රධාන අපේක්ෂකයන් අතර කරට කර තරගයක් පවතින බැවින් උතුරු, නැගෙනහිර හා වතුකරයේ ඡන්ද තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.
මෙයින් නැගෙනහිර පළාතේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතා ට ලැබෙණු ඇතැ යි අනුමාන කළ හැකි නමුත් උතුරු පළාතේ තත්ත්වය එසේ අනුමාන කරන්න බැහැ.
ඒ උතුරු පළාතේ දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් පී. ආරියනේත්‍රම් මහතා ඉදිරිපත් වී ඇති නිසයි. ඔහුට ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජනතා සන්ධානයට යන පක්ෂවල සහාය ලැබෙනවා. උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය හා කිළිනොච්චිය යන බල ප්‍රදේශවල ඡන්ද 593187 ක් ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වවුනියාව, මන්නාරම හා මුලතිව් මැතිවරණ බල ප්‍රදේශවල ඡන්ද 306081 ක් ද තිබෙන අතර ඒවා කෙසේ බෙදී යනු අත්දැ යි පැහැදිලි නැහැ. ඒ උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහාය දෙන අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති නිසයි.
තම පක්ෂය සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියා.
එහෙත් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව එවැනි තීරණයක් ගත් බව තමා නොදන්නා බවයි. එමෙන් ම එස්. ශ්‍රීධරන්, චාල්ස් නිර්මලනාදන්, ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙම රැස්වීමට සහභාගිවී නැති බව ද ඔහු පවසා තිබුණා.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කොට තීරණය කිරීම ස දහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (15) නැවත රැස්වන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙරේදා ප්‍රකාශ කොට තිබුණා.
සජිත් ප්‍රේමදාස මහතා ගේ මැතිවරණ ප්‍රචාරක රැළි කිහිපයක් පසුගිය සතියේ මුලතිව්, යාපනය හා කිලිනොච්චි ප්‍රදේශවල පවත්වා තිබුණු නමුත් ඒවාට පැමිණ ඇත්තේ 150, 200 ක් වැනි සුළු පිරිසක් බවටයි වාර්තා වෙන්නේ. යාපනයේ දී ඔහුගේ තවත් රැස්වීමක් සංවිධානය කොට තිබූ නමුත් සෙනඟ නොමැතිවීම නිසා එය අවලංගු කළ බව ද යාපනයේ මාධ්‍ය වාර්තා කොට තිබුණා.
මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක එස්. ශ්‍රීධරන් මහතා, දෙමළ පොදු අපේක්ෂක පී. ආරියනේත්‍රම් ව තීරණය කොට ඇති නිසා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පල කිරීමට සුමන්දිරන් හා රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් ගන්නා උත්සාහය කෙතෙක් දුරට සාර්ථක වේ දැ යි කිවනොහැකි බව යි දේශපාලන විචාරකයින් පවසන්නේ.
කෙසේ වුව ද මෙවර ජනාධිපතිවරණයට මුල් වරට ඡන්ද පාවිච්චි කරන ලක්ෂ 11 ක් පමණ වන අලුත් ඡක්දදායකයින් ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බව පැහැදිලි යයැ ඔවුන් පවසනවා.
පසුගිය දා මහනුවර පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්ප්‍රේමදාස මහතා ගේ ප්‍රචාරක රැළියේ දී පොදුජන පෙරමුණේ සිට සමගි ජන බලවේගයට එක් වූ වසන්ත යාපා බණ්ඩාර මහතාට කතාවක් ලබා නොදීම සමපන්ධයෙන් බොහෝ දෙනා අතර කතා බහක් ඇති වී .ිබෙනවා.
මේ හැර සමගි ජක බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක හා එම්. එච්. හලීම් යන මහත්වරනුගේ නම් ද එහි කථික ලැයිස්තුවෙන් කැපී ගොස් තිබුණා.
පොදුජන පෙරමුණේ මහනුවර මන්ත්‍රීවරුන් 08 දෙනාගෙන් 07 දෙනකු ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී ඇති අතර සමගි ජන බලවේගයට එක්වූයේ වසන්ත බණ්ඩාර යාපා මහතා පමණ ය. ඔහු සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයේ පවත්වන ප්‍රචාරක රැළිවල ප්‍රධාන කථිකයෙක් ද වෙනවා.
වසන්ත බණ්ඩාර යාපා, මයන්ත දිසානායක, එම්. එච්. හලීම් මන්ත්‍රීවරුන්ට මහනුවර සජිත් ගේ රැළියේ කතා කිරීමට ඉඩ නොදීම ගැන චෝදනා එල්ල වී ඇත්තේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායකයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ට යි.
දුව උස්සන්න තුන් දෙනකු කපල ලු කිරිඇල්ල
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම දියණිය සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතළත් කොට මැතිවරණයට ඉදිරිපත් කිරීමටත් තමා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යෑමටත් කිරිඇල්ල මහතා බලාපොරොත්තු වන බැවින් මෙසේ දිස්ත්‍රික්කයේ සෙසු මන්ත්‍රීවරුන්ට කැපිලි දමන බවයි මහනුවර සජිත් පාක්ෂිකයින් පවසන්නේ.
සජිත් ගේ මහනුවර රැළියේ දී කිරිඇල්ල මහතා ගේ දියණියට වේදිකාවේ සජිත් ප්‍රේමදාස මහතා ළඟින් ම අසුනක් ලබා දී තිබූ නමුත් දිස්ත්‍රිකයේ ප්‍රබලයින් පසුපසට දමා තිබුණු බවට ද පාක්ෂිකයින් චෝදනා කරනවා.
අසාධාරණයට ලක් වූ මන්ත්‍රීවරුන් තිදෙනා මේ ගැන නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණය අවසන් වූ පසු තමා ඒ ගැන සොයා බලන බව ඔහු පවසා ඇති බව යි වාර්තා වන්නේ.


