උණුසුම් පුවත්දේශපාලන

මහින්ද ගෙ මද්දු පුතා ඇප මත මුදා හරී

අධිකරණයට සෑහීමකට පත්වෙන තරම් කරුණු නැහැ - මහෙස්ත්‍රාත් කියයි

මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර හුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (27) උදේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඇප මත මුදාහරින්නට නියෝග කළේ ය. රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යි. ඊට අමතරව යෝෂිත රාජපක්ෂ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ සෑම මසක ම අවසන් ඉරිදා දින පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

 මුදල් විසුද්ධිකරණ පනත යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙවැනි පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සෙනසුරාදා (25) අත්අඩංගුවට ගන්නා ලද්දේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී ය. ඔහු එදින ම අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණි.   

අද ඔහු යළි උසාවිය හමුවට ඉදිරිපත් කරන ලදුව හේ ඇප මත මුදාහරින්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කරන ලද්දේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට තරම් කාරණා අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ  පැමිණිල්ල අසමත් වී ඇති බැවින් යැයි ප්‍රකාශ කරන ලදි. සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.  සැකකරු මුදා හැරීමට නියම කල අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලදී.