උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

මාලිනී ඈඳාගම මැතිනිය දිවි සැරිය නිමා කරයි

ඇගේ ආචාර්ය උපාධියට ලියන ලද නිබන්ධය ගම්සභා ක්‍රමයේ ඉතිහාසය නම් මාහැඟි පර්යේෂණ කෘතිය යි

එතුමිය ගැන රට දන්නේ මාලිනී ඈඳාගම යන නමිනි. ඒ ඇගේ සැමියා වූ හෙළයේ ඉතා අගනා මානව විද්‍යාඥයකු, ඉතිහාසඥයකු සේ කීර්තිමත් නමක් හිමිකර ගත්, මීට සිවි වසරකට පෙර දැයෙන් සමුගත්  මහාචාර්ය පණ්ඩුල ඈඳාගම මැතිතුමාණන් ගේ ආදරණීය බිරිය වූ හෙයිනි.

 ඈඳාගම මැතිනිය 1940 සැප්තැම්බර් මස 05 වැනිදා ජන්ම දායාදය ලද්දේ  කෑගල්ලේ ගලපිටමඩ නාරංගස්තැන්න නම් ගම්පියසෙහිදී ය. ඒ කුරුනේරිස් කරුණානායක හා වහරක සුමනාවතී නම් මාපිය යුවලට දාව යි. ඈ නමින් මාලනී කරුණානායක වූවා ය. නාරංගස්තැන්න මිශ්‍ර පාසලෙන් සහ රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. ඇය 1973 දී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ධූරය ලද ඇය ට එම සරසවියෙන් සම්මානිත මහාචාර්ය තනතුර  පිරිනමන ලද්දේ ඇගෙන් හෙළ දෙසට හෙළ බසට හෙළ රැසට කරනා ලද අනූපමේය සේවාව වෙනුවෙනි.

මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම්වරිය සේ ක්‍රියාකළ මාලිනී ඈඳාගම මැතිනිය බෞද්ධ කොමිෂන් සභාවේ ද සාමාජිකාවක් වූවා ය. ඕ තොමෝ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශිකාවක් සේ ද ක්‍රියා කළා ය.

දියණියන් සිව් දෙනකුගේ මාව් තුමිය වූ ඈඳාගම මැතිනිය ගේ අවසන් කටයුතු පසුව දැනුව දෙනු ලැබේ.  

  මාලිනී ඇඳාගම මැතිනියගේ වියෝව කෙරෙහි හෙළදිව සාතිශය සංවේගය!