ජීවිත කාලයට ම එක්වරක් පමණක් පිරිනැමෙන 'සාහිත්‍ය රත්න' රාජ්‍ය සම්මානයෙන් පසුගිය දා පිදුම් ලද ප්‍රවීණ සාහිත්‍යධරයකු වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය සමග ටිරාන් කුමාර බංගගමආරච්චි සිදුකළ සංවාදය
මහාචාර්යතුමා අපි කුලියාපිටිය මතකයත් එක්කම කතාව කරගෙන යමුද?
කුලියාපිටියට ආසන්නව තිබුණා ‘එළතලව’ කියලා ගමක්. ගමෙන් භාගයක්ම තිබුණේ කුඹුරු. හොඳ සාරෙට ගොවිතැන කරපු ගමක්. වැඩි දෙනකුගේ ජීවනෝපාය ගොවිතැන. ඒ වගේම අපේ ගමේ විශාල ගව සම්පතක් තිබුණා. පුංචි කාලය ගෙවුණේ වැව්, කුඹුරු, කැලෑ එක්ක තමයි. පහේ පන්තියෙන් පස්සේ ටවුමේ පාසලට යනකම් ගමේ මතක, ගමේ පරිසරය, සතා සිවුපාවා, පලතුරු, පිරිසුදු ජලය මේවයේ මුහු වෙමින් තමයි කාලය ගෙවුණේ. පුංචිම සංදිය හින්දා ඒ මතක රැඳුණේ සිත්තමක් විදිහට.
ඔබතුමාගේ මවුපියෝ ගොවියොද?
කුඹුරට බැහැලා, කුඹුරු කෙටුව අය නෙමෙයි. කුඹුරු වටේ ගිහින් කුඹුරු බලලා සවස ගෙදර එන එක තමයි තාත්තා කළේ. අපිට කුඹුරු තිබුණා. වෙන අය දාලා වැඩ ගත්තේ.
පහේ පන්තියෙන් පස්සේ නගරයට එනවා කිව්වා නේද?
ඔව්. පහේ පන්තියට වෙනකම් ගමේ ඉස්කෝලෙට ගියා. ඊට පස්සේ පහෙන් පස්සේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ගියා. ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා තමයි ඉගෙන ගත්තෙ. ඒ නේවාසික අත්දැකීම තුළ පුංචි කාලයේ ඉඳලම වැඩක් පිළිවෙළට කරන්න වගේම විනයකට අනුව ජීවිතය හැඩගස්සා ගන්නත් උදවු වුණා. ගමේ ඉස්කෝලෙදි අධ්‍යාපනයටම වෙන්වුණ මම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ආවට පස්සේ බාහිර ක්‍රියාකාරකම්වලට වැඩිපුර නැඹුරු වුණා. ගෙවල්වල වෙනියනේ බලාපොරොත්තු වෙන්නේ. වෙනියා ටිකක් පස්සටම ගියා.
හැබැයි ඒ වුණාට කියවීම පැත්ත විශාල වශයෙන් වගේ දියුණු වුණා. අපේ පාසලේ පුස්තකාලයට අලුත් පොත්, සඟරා නිතර ලැබුණා. මගේ කියවීමේ පිපාසාව තමයි මාව ගොඩක් දුර අරගෙන ගියේ. තනිව හිතන පරාසය පුළුල් කළේ. ඒ කියවීම තමයි.
මගේ පාසල තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. පාසලේ හිටියා විජේසිංහ කියලා සර් කෙනෙක්. මගේ කියවීමට අලුත් දේ සොයා යෑමට සෑහෙන උපකාරයක් වුණා. අපිව ගොඩක් පොත පතට නැඹුරු කළේ ඒ ගුරුතුමා තමයි.
හොස්ටල් ජීවිතය කියන්නේ ඒකාකාරී, ඕනවටත් වඩා නීතිරීති ඇතුළේ හැදෙන ජීවිතයක් නේද?
නෑ. අපි ඒක කැඩුවා. රස්තියාදුකාර ජීවිතයක් අපිට තිබුණා. ඩඩ්ලිගේ කාලේ බස් පාස් එකක් දෙනවා. අපි හොස්ටල් නිසා අපිට පාස් එක ලැබෙන්නේ නැහැ. ඒත් අපි කොහොම හරි ඒක ලබා ගත්තා. ඒ අරගෙන බස්වල අපි ඔහේ යනවා. පස්සේ බයිසිකල් අරගෙන යනවා. කඳු නැග්ගා. පුංචි කාලේ පරිසරය එක්ක තිබුණු බැඳියාව ඊට වඩා අවබෝධයෙන් ගත්තා. කුතුහලයක් එක්ක දේවල් හොයා යන රස්තියාදුවක් තිබුණේ. ඒක ජීවිතයට ලොකු පාඩමක් වුණා.
අධ්‍යාපනය පැත්තෙන් පසුබෑමක් වුණා. එස්.එස්.සී. විභාගය සමත් වුණේ යාන්තමින් වගේ එච්.එස්.සී. කරන මට්ටමට. පුස්තකාල පරිශීලනය හොඳටම කළා. ඉංග්‍රීසි – සිංහල දෙකෙන්ම කියෙව්වා.
එතකොට විශ්වවිද්‍යාල ගමන ගැන කියමු
විශ්වවිද්‍යාලයට යන්න තරම් දැනුමක් ලැබුණේ පොත්, සඟරා කියවපු හින්දා. පුස්තකාලයෙන් තමයි ඒ දැනුම ආවේ. විද්‍යාලංකාර යන්න තමයි මුලින් කැමැත්ත තිබුණේ. ඒත් සමත් වුණේ පේරාදෙණියට යන්න. ඒ යන්නත් අතිරේක විභාගයකටත් ලියන්න ඕන. මමයි තව මිතුරන් කිහිප දෙනකුයි එකතු වෙලා කලින්ම ඒ විභාගය ලියන්න හිතුවා. මම සඟරා අරගෙන විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන මමම විභාග ප්‍රශ්න පත්‍රයක් හදනවා. මමම කාලය වෙන් කරගෙන විභාගයට ලියනවා. ඒ ලියලා පැත්තකින් තියලා එකින් එක අරගෙන මමම බලලා ලකුණු දෙනවා.
ඒ ක්‍රමය හරි ගියා. මම අනුමාන කරපු විදිහේ ප්‍රශ්න ආවා. මම පාස් වුණා. ඒ විදිහට තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ. මමම හොයා ගත්ත ස්වයං අධ්‍යාපනයක ප්‍රතිඵලයක් විදිහට තමයි විශ්වවිද්‍යාලයට ගියේ. කොටින්ම ඒ ගමන ෂෝට්කට් එකක් වගේ.
ඔබ විද්‍යාලංකාර යන්න විශේෂ කැමැත්තක් දැක්වූයේ ඇයි?
ඔය කාලේ තමයි විද්‍යොදය – විද්‍යාලංකාර ආරම්භ වුණේ. මම අර මුලිනුත් කිව්වනෙ, හරියට සඟරා පොත්පත් කියෙව්වා කියලා. අපේ පුස්තකාලයට අලුත් සඟරා ගෙනාවා කිව්වනේ. ඔය විශ්වවිද්‍යාලවල කරන සඟරා සේරම අපේ පාසලට ගේනවා. ඒ පුස්තකාල භාරව හිටපු කෙනාගේ දැක්ම. ඉතින් මම ඒ සඟරා කියවනවා. ඒ සඟරා කියවනකොට මට තේරුණා විද්‍යාලංකාරයේ තමයි හොඳම රිසර්ච් තියෙන්නේ කියලා. ඒකෙ ලෙක්චර්ස්ලා, ප්රොපෙසර්ස්ලා තමයි වැඩකාරයෝ කියලා මට හිතුණා. මම අර පාස්වුණ එකෙන් පේරාදෙණිය විතරයි, මේවට යන්න බෑ. ඉතින් ඒකට ගියා. මේ එක එක අයගේ ලිපි කොච්චර කියෙව්වද කියනවා නම් මේ මහාචාර්යතුමා දාන්නේ මේ වගේ ප්‍රශ්න කියලා මට අනුමාන කරන්න පුළුවන් වුණා. මමම ප්‍රශ්න පත්‍රය හැදුවා කිව්වේ ඒකයි.
ඔබ පේරාදෙණියට යන කාලේ එහෙත් දැවැන්ත චරිත හිටියා. ඒ අය ඇසුරු කළාද?
පාසලේ ඉද්දිත් මම පොඩි සඟරා කළා. ඒ ආභාසය නිසාම පේරාදෙණියේදී මට හිතුණා සඟරාවක් කරන්න. මම විමංශා කියලා සඟරාවක් පටන් ගත්තා. මම එදිරිවීර සරත්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ආරිය රාජකරුණා. කේ.එන්.ඕ. ධර්මදාස, ප්‍රොපෙසර් හෙට්ටිආරච්චි ඔය වගේ අය හම්බ වෙන්න යනවා. ඒ ගිහිල්ලා ඒ අයව හම්බවෙලා සඟරාවට ලිපි ඉල්ලනවා. හැබැයි ඒ ලිපි මේ මේ විදිහට වෙන්න ඕන කියන ආකෘතිය මම කියනවා. ඒක සඟරාවනේ. මට ඕන විදිහට කළේ. (හිනා) අයාලේ යන්න දුන්නේ නෑ. ඒ අතර මාර්ටින් වික්‍රමසිංහ පිටින් එකතු කර ගත්තා. එතුමා ලොකු සහායක් දුන්නා. ලිපි දුන්නෙ නැති දවස්වලට මේ මේ විදහට කරමු කියලා කතා කරනවා. උපදෙස් දෙනවා. මම එතුමා හම්බ වෙන්න නාවල ගෙදරට යනවා.
පේරාදෙණියට ගියාට අර රස්තියාදුව හොඳට තිබිලා තියෙනවා නේද?
අපෝ ඔව්! මම පේරාදෙණියේ අය විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයෙන් පිට උගත්, බුද්ධිමත් අයත් ඇසුරු කළා. මාර්ටින් වික්‍රමසිංහ වගේම සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ වගේ අය ළඟින්ම ආශ්‍රය කළා. ධම්මගේ ශිල්ප චාරිකාවේ මම ලෙක්චර්ස් කෙනෙක් විදිහටත් හිටියා. අපි හොඳට කන බොන මිතුරෝ. ඒ කාලේ අපි කලා සංවිධානය කියලා එකක් හදලා තිබුණා. ඒකට ලොකු හයියක් තිබුණා. ආණ්ඩුවට බලපෑම් සහගත මට්ටමට තිබුණා. ඔය ආරියවංශ රණවීරව ලේකම්කමට දැම්මෙත් ඒකෙන්.
ඔබට ‘සෝබෝන්‘ යන්න ලැබුණේ කොහොමද?
ඒ කාලේ හැමෝම යන්න උත්සාහ කරන්නෙ එංගලන්තයට. මට එංගලන්තය සම්බන්ධයෙන් තද විරෝධයක් තිබුණා. යටත් විජිතයක් වීමත් හේතුවක් වෙන්න ඇති. මොකද්දෝ ලොකු විරෝධයක් මට තිබුණා. හැබැයි ප්‍රංශය කියන්නේ ලෝකයේ සංස්කෘතික නගරය. යනවා නම් යන්න ඕන ප්‍රංශයට කියලා. මේ නිකම් ඇති වෙච්ච හීන. මොකද ලෝකයේ හිටපු උගත්තු, කලාකාරයෝ, සංගීතකාරයෝ වෙසෙන නගරය – රට එහේ තමයි කියලා හිතුවා.
අපිට ඒ කාලේ විදෙස් විශ්වවිද්‍යාවලට ඉල්ලන්න පුළුවන්. මම ‘සෝබෝන්‘ විශ්වවිද්‍යාලයේ ප්රෝෆෙසර්ට ලිව්වා. මම කැමැතියි ඔබ සමඟ රිසර්ච් කරන්න කියලා. ඒ ලියලා මාසයකින් විතර අර ප්රාපෙසර්ම ලියලා එවලා තිබුණා මාව එකතු කරගන්න කැමැතියි කියලා. සාමාන්‍යයෙන් ‘සෝබෝන්වල බී.ඒ. කාරයකුට පී.එච්.ඩී. එකක් කරන්න දෙන්නෙ නැහැ. ඉතාම දුර්ලභ අවස්ථාවක්. බී.ඒ. කෙනකුට එම්.ඒ. එකක් නෙමෙයි බී.ඒ. එකක්මයි කරන්න දෙන්නෙ. මට පී.එච්.ඩී. එකම කරන්න ලැබුණා.
වල්පොළ රාහුල හාමුදුරුවන්ව වඩා කිට්ටුවෙන් ඇසුරු කරන්නෙ ප්‍රංශයේදී නේද?
ඔව්.! මෙහේ දැනගෙන හිටියට එහේදි තමයි කිටේටුවෙන්ම ඇසුරු කළේ. උන්වහන්සේ ප්‍රධාන බෞද්ධ පොතක් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්න තමයි ගිහින් හිටියේ. එතකොට උන්වහන්සේ ප්‍රංශයේ පදිංචි වෙලා හිටියේ. ඉතින් අපි කැෆේ එකක මුණගැහිලා බොහෝ දේ කතා කරනවා. වෙනම දැක්මක්, ගමනක් තිබුණ හිමි නමක්. මගේ අදහස්වලටත් ගරු කළා.
චන්ද්‍රිකා බණ්ඩාරනායකත් මුණගැහෙන්න ‘සෝබෝන්‘ එකේදිද?
නෑ. ‘සෝබෝන්‘ තේරුණහම මම ඒ ගැන හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා චන්ද්‍රිකා ඒකේ ඉන්නවා කියලා. ඒ වගේම ඒ වෙනකොට ඇය මෙරටට ඇවිත්. මම කතා කරහම එයාව හම්බ වෙන්න එන්න කිව්වා. කොහොම හරි මුණ ගැහුණා. මාව ධෛර්යවත් කළා. ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ. උදවුවක් ඕන වුණොත් කරන්නම් කිව්වා. අපි ඊළඟට ‘සෝබෝන්‘වලදී මුණගැහුණා. අපි එක කට්ටියක් විදිහට එහේ හිටියා. අපි හොඳ මිතුරන් වුණා.
යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමිපාණන් එක්කත් කිට්ටු හිතවත්කමක් ඔබතුමාට තිබුණා නේද?
ඔව්! තිබුණා. මුලින්ම ‘විමංසා‘ සඟරාව කරන කොට යක්කඩුවෙ හාමුදුරුවන්ගේ ලිපි හරි වැදගත් වුණා. ඒ කාලේ රසවාදය ගැන මහා විශාල වාදයකුත් ගියා. ඒ ලිපි ‘විමංසා’ සඟරාවේ පළ වුණා. හැබැයි හාමුදුරුවෝ ලිපි ලියන්නෙ නැහැ. කියනවා. අපි රෙකෝඩ් කරගෙන ඇවිත් ලියනවා. මම තමයි ඉතින් ඒක කරන්නේ. ඒ නිසා හාමුදුරුවෝ එක්ක කිට්ටු බැඳීමක් ඇති වුණා. ඒ වුණාට ඒකට සෑහෙන කාලයක් ගියා. මොකද වචන දෙක තුනකට එහා කතා කරන්නේ නෑ කෙනෙක් එක්ක. ඔය අතර මම ලියපු පොත් එහෙම දුන්නා හොඳ නරක කියන්න. යක්කඩුවේ හාමුදුරුවෝ ආශ්‍රය කළේ කිහිපදෙනයි. උපකුලපති ආටිගල, ඩී.බී. ධනපාල ඒ අයට තමයි ඕන වෙලාවක හාමුදුරුවන්ව හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයට
ඒ ඉන්න විදිහටම ඉන්නත් නිදහස තිබුණා. ආටිගල දුම් පයිප්පේ උරනවා ධනපාල සුරුට්ටුවක් බොනවා. මේ හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉන්නකොට. මම පස්සේ කාලෙක මගේ ළඟම හිතවතෙක් වුණහම මම ඇහැව්වා හාමුරුවනේ ඔබ වහන්සේ ළඟට කෙනකුට කිට්ටු වෙන්නත් බෑ. කතා කරන්නත් ලේසි නැහැ. ඒ වුණාට අර දෙන්නා දුම් පයිප්පේ උරනවා, සුරුට්ටු උරනවා නේ කියලා.” ඒ අයගෙන් යමක් ගන්න නම් ඒ අයට ඕන නිදහස දෙන්න ඕන. එහෙම නිදහස භුක්ති විඳිනකොට තමයි දේවල් නිදහසේ කියන්නෙ. මගේ ළඟ එකත් පස්ව හිටියා නම් ඒ අය එන එකකුත් නැහැ. මම ඒ නිදහස දෙන හින්දා තමයි මාත් එක්ක ලොකු සංවාද කරලා යන්නෙ.“ කියලා හාමුදුරුවෝ කිව්වා.
තරුණ කාලේ දේශපාලන නැඹුරුවක් තිබුණේ නැද්ද?
අපෝ තිබුණා. මම විශ්වවිද්‍යාල ඇතුළේ පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ තමයි හිටියේ. පිලිප්ගේ මාක්ස්වාදී දැක්ම අපේ පොළොවට සමීපයි. ඇන්.ඇම්.ලා, කොල්වින්ලා තව ගොඩක් අය හිටියට අපේ රටට සමීප දේශීයත්වයට ගැළපුණු දේශපාලන දර්ශනය තිබුණේ පිලිප් ළඟ කියන එකයි මගේ විශ්වාසය. ඒකයි පිලිප්ගේ දේශපාලනය මම තෝර ගත්තේ. කජු වගාව කළා ලංකාව පුරාම. තුනී ලෑලි, සිමෙන්ති සංස්ථාව, කඩදායි, උක් වගේ අපේ දේවල්වලින් පෝෂණය වන්න ඕන කියන පොහොසත් දැක්මක් පිලිප්ට තිබුණා. ඒවා ඔහු කරපුවා. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා පිලිප්ගේ කතා අහනවා. අනෙක් අයගේ කතා ඇහැව්වත් පිලිප්ගේ කතා තමයි මට හිතට ඇල්ලුවේ. හැබැයි කියන්නට ඕන මම මතවාදීව තමයි ඔහුගේ දේශපාලනය තුළ රැඳුණේ. එහෙම නැතිව පක්ෂ දේශපාලනයක් මට නැහැ. ඒකට මම කැමැති නැහැ.
ඔබතුමා ‘ජින් පොල්සාත්රේ‘ මුණ ගැහෙනවා. ඒ සිද්ධිය මොකක්ද?
හැත්තෑ එකේ කැරැල්ල වෙලේ අපි ප්‍රංශයේ. අපිට ආරංචි වෙනවා මෙහේ තත්ත්වය. ප්‍රංශ වාර්තා කාරයෙක්ම මෙහේ ඉඳලා වාර්තා කරනවා. අපි ඒවා කියවලා හරි කම්පා වුණා. ඝාතනය වුණු පින්තූරත් පළ වෙනවා. අපි කිහිපදෙනෙක් ඒ වෙලාවේ රටේ වෙන දේ ගැන කම්පා වෙනවා. විවේචනය කරනවා. චන්ද්‍රිකා ඒ වෙලාවේ අම්මට විරුද්ධව හිටියේ. එතැන මූලිකත්වය ගත්තේ චන්ද්‍රිකා.
අපේ ස්ථාවරය වුණේ මරණ එක වැරැදියි. පුනරුත්ථාපනය කිරීමයි කළ යුත්තේ කියලයි. අපි ඒකට පදනමක් හදන්න එහෙ ප්‍රබල චරිත හමුවුණා. ‘සාත්‍රේ‘ හම්බ වෙන්න චන්ද්‍රිකායි මමයි ගියා. ඊට කලින් රෙස්ටෝරන්ට් එකේ දැක්කට කතා කරලා නෑ. එදා තමයි හමුවුණේ. එයා කිව්වා මේ ප්රශ්නය ගැන යමක් කියන්න එයාට අවබෝධය මදි තව ස්ටර්ඩි කරන්න ඕන. එහෙම හැදෑරීමක් නැතිව යමක් කියන්න බැහැ කියලා. ඒ තමයි ඔහු සමඟ හමුව. ඒ වගේ චරිතයක් මුණගැසීම, කතා කිරීම භාග්‍යයක්. ඔහු හරිම සැහැල්ලු, නිහඬ චරිතයක්.
ඔබ එතකොට සාන්දෘෂ්ටිවාදය ගැන දැනුවත්වද හිටියේ?
සාත්‍රේ හමුවෙනකොටත් මම සාන්දෘෂ්ටිකවාදය මාර්ටින් වික්‍රමසිංහගෙන් ඉගෙන ගෙන තිබුණේ.
ඇත්තටම ඔබගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණේ ප්‍රංශය හරහාද? ඒක සංස්කෘතික නගරයක්ද?
අපෝ ඔව්! මාව කණපිට ගැහැව්වා. මගේ ජීවිතයේ වෙනස ප්‍රංශය. ඒ නිදහස හරි පුදුමයි. විශ්වවිද්‍යාලයටත් ඕන කෙනකුට එන්න පුළුවන්. ඒක වෙනම තැනක්. ලෝකයේ සංස්කෘතික නගරය ඒක. මගේ ජීවිතේ වෙනස ‘සෝබෝන්‘ ප්‍රංශය තමයි.
එදා ‘සෝබෝන්‘ හරහා ඇති වන මිත්‍රකම හරහාද චන්ද්‍රිකා ආණ්ඩුවක තනතුරු ලැබුණේ?
ඔව්.! එකත් ප්‍රධාන හේතුවක් වුණා. මට යමක් කරන්න පුළුවන් කියන විශ්වාසයක් ඇයට තිබුණා.
ඔබ මෙරට කැමැති නවකතා කරු කවුද?
මාර්ටින් වික්‍රමසිංහ. වෙන නවකතා කාරයෙක් මට දැනිලා නෑ.
කුලියාපිටිය ඉඳලා ‘සෝබෝන්‘ විශ්වවිද්‍යාලය දක්වා ගිය ගමන ගැන අද හිතනකොට මොකද හිතෙන්නේ?
අදටත් ඒ ගැන කල්පනා කරනකොට විස්මයජනක වැඩක්. පුදුමයකුත් හිතෙනවා. අද වගේ නෙමෙයි ඒ කාලේ සීමිත වරප්‍රසාද තියෙන්නේ. ඒක පුදුමයක් හින්දම එක්කෙනෙක් මගේ කතාව ගැන නවකතාවකුත් ලිව්වා ඒ කාලේ. මට අදටත් ඒක හීනයක් වගේ.
- ටිරන් කුමාර බංගගමආරච්චි -
උපුටා ගැනීම - ඉරිදා මව්බිම පුවත්පතෙනි
