උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

මියන්මාරයට සහ තායිලන්තයට බොදු සහෝදරත්වය පෙන්වමු.

ආණ්ඩුව කළත් නැතත් මේ රාජ්‍යයන්ට උදව් කරන්න මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පෙරට එන්නැයි ගෞරවයෙන් ආරාධනා කරනවා

මියන්මාරය සහ තායිලන්තය කියන්නේ වසර දහස් ගණනක් පුරා ලංකාව සමග ආගමික, සංස්කෘතිමය සහ වෙලඳ සබඳතා පවත්වන රටවල්.  ඉංග්‍රීසි යුගයේ දී මේ රටේ තායි කුමාරයෙකු රජ කිරීමට පවා අපේ ප්‍රභූන් සැලසුම් කලා.  ඒ වගේම සිංහල භික්ෂු වංශයෙන් උපසම්පදාව අතුරුදහන් වුණාම නැවත අපට උපසම්පදාව ගෙනාවේ තායිලන්තයෙන් සහ මියන්මාරයෙන්.  අපට සියම් නිකාය උරුම වුණේ තායිලන්තයෙන්.  රාමඤ්ඤ සහ අමරපුර නිකායන් උරුම වුණේ මියන්මාරයෙන්. "

ඒ විතරක් නොවේ.  ජාත්‍යන්තර අභියෝග වල දී මේ රටවල් හැමදාමත් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව සමග සිට ගත්තා.  මේ සියල්ලටම වඩා තායිලන්තය සහ මියන්මාරය කියන්නේ අපේ ආගමික සහෝදරයන්. බෞද්ධ රාජ්‍යයන් කියන දුර්ලභ සමූහයට අයිති වන රටවල් දෙකක්.

දැවැන්ත භූමිකම්පාවක් සහ පසුකම්පන ගණනාවක් හේතුවෙන් අද ඒ රටවල් දෙක ඉතිහාසයේ නොවූවිරූ දැවැන්ත ව්‍යසනයකට මුහුණ පා සිටිනවා. මෙවැනි ව්‍යසනයන් මීට පෙර පැවැති ආණ්ඩු යටතේ ඇෆ්ගනිස්ථානය පකිස්තානය නේපාලය මුහුණ දුන්නු අවස්ථාවල ශ්‍රී ලංකා ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ සහයට ඉදිරිපත් වුනා. අපි දන්නවා ආපදා කළමනාකරණයේ අත්දැකීම් තිබෙන හමුදාවක් ශ්‍රී ලංකාවට ඉන්නවා. ඒ වගේම ව්‍යසනයන් කළමණාකරණය පිළිබඳ අත්දැකීම් තිබෙන ලෝකයේ ඉහලම සෞඛ්‍ය සේවාවක් අපට තිබෙනවා. මේවගේ සහය මියන්මාරයට තායිලන්තයට ලබා නොදී ශ්‍රී ලංකා ආණ්ඩුව නිහඬව සිටින්නේ ඇයි ද කියන එක අපට ප්‍රශ්නයක්. නිරාගමික රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි වත්මන් ආණ්ඩුවට බෞද්ධ රාජ්‍යයන්ට උදව් කිරීමට ලැජ්ජාවක් ඇති වෙලා තිබෙනවද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමැතියි.

ආණ්ඩුව කළත් නැතත් මේ රාජ්‍යයන්ට උදව් කරන්න ජනතාවට නායකත්වය දෙන්න මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පෙරට එන්නැයි ගෞරවයෙන් ආරාධනා කරනවා.  අපේ බුදුදහම රැක දීලා අපේ ශාසනයට පණදීලා කළ සේවයට මේ රාජ්‍යයන්ට කළගුණ සලකන්න මීටත් වඩා කදිම අවස්ථාවක් නැවත උදා වෙන්නේ නෑ.  අපි මේ වසරේ පිංකම් සඳහා වෙන් කර තිබෙන මුදල් මියන්මාරයේ අවතැන් වුණු අයට ඖෂධ සහ ඇඳුම් යැවීමට කැප කරමු. ඒ වගේම අපි නව බුදු පිලිම දාගැබ් ඉදි කිරීම කෙටි කලකට නතර කරමු.  ලංකාවේ සෑම ප්‍රධාන පන්සලක්ම මියන්මාරයේ විනාශ වුණු පන්සලක් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාර ගමු.  සහකම්පනය සහ දානය වැනි බෞද්ධ ගුණාංග ලොවට පෙන්වීමට සමස්ථ ජාතියටම පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගමුයි කියා මම යෝජනා කරනවා.