ජගත් ගේ සතියේ සටහන - 79
අගෝස්තු 6 වැනිදා යෞවන සමාජ 7000 ක සාමාජික සාමාජිකාවන් කොළඹට ගෙන්වා යෞවන සමාජ දේශපාලනීයකරණය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු යොදා ඇතැ යි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ හිටපු සභාපති රවීන්ද්‍ර ප්‍රදීප් කුලසිංහ මහතා පවසනවා.
වසර 11 ක් තිස්සේ කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් භාගයේ දී පැවැත්වෙනු ඇති බවට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වීමත් සමඟ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් ම එයට මුහුණ දීම සඳහා සූදානම් බව පෙනෙන්නට තිබෙනවා.
ආණ්ඩුවට තිබු ජන ප්‍රසාදය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බැවින් මෙය විපක්ෂයට නැඟී සිටීමට යෝග්‍ය අවස්ථාවක් බව යි බොහෝ පක්ෂ කල්පනා කරන්නේ. එහෙත් තනි පක්ෂ ලෙස ලෙස ඉදිරිපත් වී පළාත් සභා මැතිවරණ ජය ගැනීම අපහසු බැවින් සන්ධානගත වී තරග කිරීම සඳහා පක්ෂ ගණනාවක් අතර මේ දිනවල නිල නොවන සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වෙනවා.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දෙමළ හා මුස්ලිම් පක්ෂ සමඟ සන්ධාන ගතවීම සඳහා එම පක්ෂවල දෙවැනි පෙළ නායකයින් පිරිසක් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් හමුවීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග පවසනවා.
රාවුෆ් හකීම් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බද්උද්දීන් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය ද සමගි ජන සන්ධානය සමඟ එක්ව දකුණේ තරග කිරීමටත්, උතුරු හා නැගෙනහිර වෙන වෙන ම තරග කිරීමටත් ඉඩතිබෙන බව මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
වමේ සන්ධානයක්
මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු වමේ පක්ෂ කිහිපයක් වමේ සන්ධානයක් ගොඩනැඟීම ගැන කටයුතු කරගෙන යන බවත් වාර්තා වෙනවා.
ගිහිපු 35 ක් ආපහු එනව ලු
පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් ගේ ආණ්ඩුවට එක්වී මැති ඇමති තනතුරු ලබාගෙන සිටි හිටපු මැති ඇමතිවරුන් පිරිසක් යළිත් පොදුජන පෙරමුණට එකතුවීම සඳහා සූදානම් බවත් නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම පිරිසට 35 දෙනකු පමණ සිටින බවත් ළඟදීම ඔවුන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුවීමට කටයුතු කරගෙන යන බවත් එම ආරංචි මාර්ග තව දුරටත් ප්‍රකාශ කළා.
එසේ වුවද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මේ අවස්ථාවේ ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැති බවයි. ඉන්දියාවේ අවශ්‍යතාවය මත පළාත් සභා මැතිවරණ පවත්වන බව ආණ්ඩුව පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණා.
පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් ප්‍රථමයෙන් පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට සිදුවෙනවා. දැනට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන පනත් සංශෝධන අනුව පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු වන්නේ කොට්ඨාස ක්‍රමයටයි. එසේ කරනවා නම් ඡන්ද කොට්ඨාස සීමා නීර්ණය කළ යුතුව තිබෙනවා. මීට පෙර පැවති ආණ්ඩුව විසින් සීමා නීර්ණය සඳහා හිටපු මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කොට තිබූ නමුත් එහි නිර්දේශවලට හා ඡන්ද කොට්ඨාස බෙදීමේ දී යම් යම් ජනතාවට අසාධාරණ සිදුවී ඇතැ යි විරෝධතා එල්ලවීම නිසා එය ක්‍රියාත්මක කළ නොහැකි වුණා.
එසේ නම් කළ යුතුව තිබෙන්නේ 2010 පැවති ඡන්ද ක්‍රමය අනුව දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්වීම යි. එසේ කිරීමට නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කළ යුතුව තිබෙනවා.
එමෙත් එම පනත සංශෝධනය කොට පළාත් සභා මැතිවරණ කලින් පැවති ක්‍රමයට පැවැත්වීම සඳහා ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව යි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
ගම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීම දැන් දේශපාලන බල අරගලයක් බවට පත්වී ඇතැ යි විපක්ෂය චෝදනා කරනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ මෙතෙක් කල් යෞවන සමාජ පිහිටුවීම දේශපාලන බේදයෙන් තොරව සිදු කෙරුණු නමුත් මේ ආණ්ඩුව ගම්වල යෞවන සමාජවලට ඔවුන්ගේ පාක්ෂිකයින් රිංගවා ඔවුන් ඒවායේ නිලතල වලට පත් කිරීමට කටයුතු කරගෙන යන බව යි.
එහෙත් ආණ්ඩුවේ මැති ඇමතිවරු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, මහින්ද ජයසිංහ ඇමතිවරු යෞවන සමාජවල අතීතයේ සිට ම දේශපාලනය තිබුණු බව පවසනවා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පැවති කාලයේ යොවුන්පුර කඳවුරු පැවැත්වූයේ එම පක්ෂයේ තරුණ තරුණියන්ගෙන් බව ද ඔවුන් පෙන්වා දෙනවා.
යෞවන සමාජ 7000 ක සාමාජික සාමාජිකාවන් විරෝධය පාන්න 6 වැනි දා කොළඹට

මේ අතර යොවුන් සමාජ මහා සම්මේලනයක් අගෝස්තු 12 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව හා යෞවන සමාජ සම්මේලනය කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා.
ඊට පෙර අගෝස්තු 6 වැනිදා යෞවන සමාජ 7000 ක සාමාජික සාමාජිකාවන් කොළඹට ගෙන්වා යෞවන සමාජ දේශපාලනීයකරණය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු යොදා ඇතැ යි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ හිටපු සභාපති රවීන්ද්‍ර ප්‍රදීප් කුලසිංහ මහතා පවසනවා.
යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයක් පසුගිය සතියේ හම්බන්තොට දී පැවැත්වූ අවස්ථාවේ යෞවන සමාජ දේශපාලනීයකරණය කිරීමට විරෝධය පාමින් යෞවන සමාජ තරුණ තරුණියන් පිරිසක් විරෝධතාවයක් ද පවත්වනු ලැබුවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු පැවසුවේ එම විරෝධයට එක්ව සිටියේ පොදුජන පෙරමුණේ පිරිසක් බවයි.
හරිනිගෙ ප්‍රතිසංස්කරණවලට විරෝධ මතුවෙලා 
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් පසුගිය ජූලි 11 වැනිදා ප්‍රකාශයට පත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වලට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, ගුරු වෘත්තීය සමිති, භික්ෂූන් වහන්සේලා හා සිවිල් සංවිධානවලින් විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.
ලබන වසර මුල සිට රජයේ පාසල්වල 1 ශ්‍රේණීයේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්තිවල විශේෂ නිර්දේශ වෙනස් කෙරන අතර 2029 දී මුළු අධ්‍යාපන ක්‍රමය ම වෙනස් කරන බව මෙම ප්‍රතිසංස්කරණ යෝජන ඉදිරිපත් කරමින් හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළා.
මෙම යෝජනා අනුව පාසල්වල 9 වන ශ්‍රේණියේ සිට ඉහළ පන්තිති වලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයයන් අනිවාර්ය කෙරෙන්නේ නැහැ. සිසුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් උසස් පෙළට යන විට බොහෝ සිසුන් ඉතිහාසය සෞන්දර්ය විෂයයන් අත්හරිනු ඇති බවයි මෙයට විරුද්ධ වන පිරිස් පවසන්නේ.
අධ්‍යාපන ඇමතිනිය ජනාධිපතිවරයාගේ බලතල අතට අරන්?
මේ අතර මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා නීති විරෝධි බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ජාතික අධ්‍යාපන ආයතනයට හෝ එවැනි යෝජනාවලියක් සම්පාදනය කිරීමට බලතල නොමැති බවත්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසනවා.
රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බලය තිබෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට යි. එම කොමිෂන් සභාව පවතින්නේ ජනාධිපතිවරයා යටතේ යි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලයක් නැහැ.
මෙම ප්‍රතිසංස්කරණ යෝජනා වලින් අධ්‍යාපන ඇමතිනිය ජනාධිපතිවරයාගේ බලතල අතට ගෙන ජාතික අධ්‍යාපන කොම්ෂන් සභාවේ බලතල උදුරා ගෙන තිබෙනවා" යැයි ද විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසනවා.
මේ අතර අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරය මෙනෙවිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් යනවා.
'පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන්' එකක් විතරයි ලු - සරසවි ඇදුරෝ කියති
ඊයේ (2) යාපනයේ සංචාරයක යෙදුණු හරිනි අමරසූරිය මෙනෙවිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ මේ රටේ සෑම දරුවකුට ම සමාන අධ්‍යාපනයක් ලබාදීම බව ප්‍රකාශ කළා.
එහෙත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ලියවිල්ලක් නොමැති අතර තිබෙන්නේ 'පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන්' එකක් බවයි.
කෙසේ වුව ද මහ නාහිමිවරුන් අධ්‍යාපන වේදීන් ඇතුළු බොහෝ දෙනා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනතාව අතර සංවාදයට ලක්කොට ඔවුන් ගේ අදහස් ලබාගෙන සංශෝධනය කළ යුතු අතර එය එතෙක් ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වී මාස 5කට අධික කාලයක් ගෙවී ඇතත් එයට සභාපතිවරයකු පත් නොකිරීම නිසා එහි කටයුතු අඩාල වී ඇතැ යි සංවිධාන ගණනාවක් පවසනවා.
මෙම කොමිෂන් සභාවට නව සභාපතිවරයකු පත්කොට කොමිෂන් සභාව සක්‍රීය කරන්නේ දැ යි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ ලිපියක් යවමින් ඉල්ලා සිටියා.
මේ අතර තරුණ ජනමාධ්‍යා වේදීන්ගේ සංවිධානය ද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට සභාපතිවරයකු පත් කොට එය සක්‍රීය නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කොට තිබෙනවා.
- ජගත් -