උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසතියේ සටහන

රටපුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන්න සජිත් ජනපතිට යෝජනා කරයි

ජගත්‌ ගේ සතියේ සටහන - 96

දින කිහිපයක සිට පවතින වැසි, තද සුළං හා නායයෑම්, ගස් කඩා වැටීම් හා ජලගැලීම් හේතුවෙන් මෑත ඉතිහාසයේ හටගෙන ඇති දරුණු ම ආපදා තත්වයට, මුහුණ දී ජනතාවත්, දේපළත් මුදා ගැනීම සඳහා රජය ත්‍රවිධ හමුදාව සහ පොලිසිය යොදාගෙන දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂවල සියලු නායකයින්කැඳවා ඉල්ලා සිටියේ මේ ආපදා අවස්ථාවේ සියලු භේද ඉවතලා එක්සත්ව කටයුතු කරමින් රජයට සහාය දෙන ලෙසයි.

විපක්ෂයෙන් එයට ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයක්. මේ අවස්ථාවේ ආපදාවෙන් විපතට පත් අයට අවශ්‍ය පහසුකම් සැපයීමට තම පක්ෂය ද සූදානම් බවත් මේ කටයුතුවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමට විපක්ෂය සහාය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසුවා.

අනතුරුව ජනාධිපතිවරයා සිකුරාදා රාත්‍රියේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ දී, ආරක්ෂක හමුදා ප්‍රධානීන්, අදාළ අමාත්‍යාංශවල ඇමතිවරුන් හා ලේකම්වරුන් කැඳවා උද්ගතව ඇති තත්වය ගැන කළ සාකච්ඡාව ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කැඳවා තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ උද්ගතව ඇති තත්වය හමුවේ හදිසි නීතිය පනවා රටපුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන ලෙස යි. ශ්‍රී ලංකාවට මේ තත්වයට මුහුණ දීම සඳහා ආධාර ලබාගැනීම පිණිස ජාත්‍යන්තර අධාර සමුළුවක් කැඳවන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තත්වයට මුහුණ දීම සඳහා රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන ලෙස රජයට යෝජනා කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එවැනිම යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ හදිසි නීතිය පැනවීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝජනාවක් විපක්ෂයෙන් ඉදිරිපත් කරන ලෙසයි.

හරිනි සියලුම  විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් කැඳවයි

මේ අතර අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය, සිකුරාදා ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් කැඳවා පවතින ආපදා තත්වය විස්තර කොට ඒ සඳහා ආධාර ඉල්ලා සිටියා. තම රටවල් පූර්ණ සහාය මේ සඳහා ලබාදෙන බවට ඔවුන් ප්‍රතිඥා දී තිබෙනවා.

ඉන්දියාවෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් එවයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් 175000 ක් පිරිනමයි

මේ වන විටත් ආණ්ඩුවෙන් විපතට පත් අයට සහන සඳහා සනීපාරක්ෂක උපකරණ සහ අනෙකුත් ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාව විසින් ඊයේ (29) එවා තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධාන ද ඇමරිකානු ඩොලර් 175000 ක මුදලක් ආධාර ලෙස ලබා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා තම ප්‍රදේශවල ගංවතුරෙන් හා නායයෑම්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැ යි එම පක්ෂයේ ආසන සංවිධායකයින්ගෙන් ඉල්ලා ඇති බව ද වාර්ත‌ා වෙනවා.

සර්වජන බලය පක්ෂය ද සිකුරාදා පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් කොළඹට කැඳවා විපතට පත් ජනතාවට සහායදීම සඳහා 'සෙනෙහස' නමින් සහනාධාර වැඩපිළිවෙළක් ආරම්භ කළේ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ගේ ප්‍රධානත්වයෙන්.

මේ හැර 'දෙරණ', 'හිරු', ජාතික රූපවාහිනිය ආදී ප්‍රධාන රූපවාහිනී නාලිකා විසින් ද ආපදාවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීම සඳහා ආධාර ලබාදීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඔවුන් එකතු කළ වියළි ආහාර, පානීය ජලබෝතල් ඇතුළු ආධාර බෙදාදීම මේ වන විටත් ආරම්භ කොට තිබෙනවා.

පවතින් ගංවතුර තත්වය හේතුවෙන් 'සති අග අරුණ' හා 'ඉරිදා මව්බිම' පුවත්පත් ඊයේ වෙළඳ පොළට නිකුත් කොට තිබුණේ නැහැ. එම පුවත්පත් මුද්‍රණය කරන ජාඇළ ඒකල පිහිටි මව්බිම මුද්‍රණාලය සහ සති අග අරුණ මුද්‍රණය කරන මල්වානේ පිහිටි ඔවුන් ගේ මුද්‍රණාලය ජලයෙන් යටවීම එයට හේතුව බවයි දැනගන්නට තිබෙන්නේ.

එහෙත් සති අග අරුණ පුවත්පත ඉරිදා (30) වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැ යි එහි කතුවරයෙක් අප සමඟ ප්‍රකාශ කළා.

ගංවතුර සහ ජලගැලීම් නිසා කොටු වී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් මේ වන විට ආරම්භ කොට තිබෙනවා. 

මෙසේ කලාවැව පාලම අසල හිරවී තිබූ බසයක සිටි මගීන් 67 කු බේරා ගැනීමට බලවත් ප්‍රශ්නයක්ව තිබුණේ එම ස්ථානයට හෙළිකොප්ටර් ගෙනයෑමට නොහැකිවීම හේතුවෙන්. එම මඟීන් බසයෙන් බැස අසල පිහිටි ගොඩනැගිල්ල

 

ක වහලය මතට වී සිටියා. එය ටකරන් තහඩු සෙවිලි කළ වහලක්. මේ තත්වය යටතේ ඒ අසලට හෙළිකොප්ටරය පහත් කළ විට සුළඟට වහල ගැලවීයාමේ අවදානමක් පැවති බැවින් හෙළිකොප්ටරය ආපසු  හැරී ගියා.

ඉන්පසු ත්‍රීකුණාමලයේ පිහිටි ගුවන් හමුදා කඳවුරේ විශේෂ කණ්ඩායමක් බෝට්ටු රැගෙන පැමිණ සැඩ ජල පහරට මුහුණ දෙමින් ඉතා අසීරුවෙන් ඒ මගීන් අද (29) උදෑසන බේරාගෙන තිබුණා.

මේ පිරිස බේරා ගැනීමේ අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස ඇමතිවරුන් සමඟ නායක හමුදාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් ද අද උදේ ආරක්ෂක හමුදා මූලස්ථානයේ පිහිටි විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට සජීවී ව නරඹනු ලැබුවා.

මෙය දුටු බොහෝ දෙනාට සිහිපත් වුණේ පකිස්ථානයේ සැඟව සිටි තලේබාන් නායක ඔසමා බිල් ලාඩන් ඇමරිකානු විශේෂ භට කණ්ඩායමක් විසින් ඝාතනය කළ අවස්ථාව ඇමරිකාවේ සිට ජනාධිපති බරක් ඔබාමා සජීවී ව නැරඹූ අන්දමයි.

කැලණි ගඟේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යෑම හා අධික වර්ෂාව නිසා කොළොන්නාව, වැල්ලම්පිටිය, සේදවත්ත, කැලණිය, බියගම, වත්තල ආදී ප්‍රදේශ රැසක් අද (29) රාත්‍රිය වන විට ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ප්‍රකාශ වීමත් සමඟ එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනයාට නිවෙස්වලින් ඉවත්ව වෙනත් ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා.

මේ නිසා එම ප්‍රදේශවල ජලයෙන් යටවෙන නිවාසවල සිටින සමහර පුද්ගලයින් කොළඹ තට්ටු නිවාස වලින් නිවෙස් කුලියට ගෙන ඒවායේ පදිංචියට ගොස් ඇති බවත් වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතිනවා. අද උදේ වන විට දියවන්නා ඔයේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් තිබූ අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ජලයෙන් යටවීමට තිබුණේ අඩියක් පමණ.

මේ නිසා හමුදාව වැලි කොට්ට යොදා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ජලය ඒම වැළැක්වීමට පියවර ගෙන තිබූ අතර එහි සේවකයින් විසින් එම ගොඩනැගිල්ලේ පහල මාලයේ තිබූ ලියකියවිලි හා ගෘහභාණ්ඩ ඉහළ මහල්වලට ගෙන යෑමට පියවර ගෙන තිබුණා.

යම් හෙයිකින් පාර්ලිමේන්තුව ජලයෙන් යටවුණොත් මේ දිනවල පැවැත්වෙන අයවැය තුන්වන වර කියැවීමේ විවාදය සඳුදා සිට පැවැත්වීමට නොහැකි වේවි.

කාලගුණේ අධ්‍යක්ෂ කළ අනතුරු ඇඟවීම ගණන් නොගත් පාලකයින්

මේ අතර සමහරුන් පවසන්නේ මේ ගංවතුර තර්ජනය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කලින් අනතුරු අඟවා තිබු නමුත් ආණ්ඩුව ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූ බව යි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පසුගිය නොවැම්බර් 12 වැනිදා මේ මාසය අවසානයේ කාලගුණයේ විශාල වෙනසක් හටගෙන අනතුරුදායක තත්වයක් ඇතිවන බව ප්‍රකාශ කළා. ඔහු අදාළ ආයතනවලට මේ බව දන්වා ඇති අතර රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වෙමින් ද මෙම අනතුරැ හැඟවීම කළා. එය ගණන් ගෙන ඒ අනුව පියවර ගත්තා නම් මෙම ආපදා තත්වය අවම කරගත හැකිව තිබූ බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. 

ශ්‍රී ලංකාවේ ආපදා තත්වය උග්‍ර කිරීමට හේතු වූ 'දිට්වා' සුළි කුණාටුව 30 වැනිදා දිවයිනෙන් පිටවී යාමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව සඳුදා වන විට කාලගුණය සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බව යි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහෙත් මෙම අවදානම් තත්වය නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මරණ 123 ක් වාර්තා වෙන අතර තවත් 130 ක් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) උදේ ප්‍රකාශ කළා.

කෙසේ වුවද ආපදා තත්වය අවසන් වූවත් විපතට පත්වූ අයට සහන හා වන්දි ලබා දී විනාශ වූ පාරවල්, පාලම් යළි ඉදිකොට රට යථාතත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. 

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද විශේෂ වීඩීයෝ පණිවිඩයක් නිකුත් කරමින් ''හදිසි ආපදා තත්වය' නිල වශයෙන් ප්‍රකාශ කරන ලෙසත් මෙම ව්‍යසනය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය අගය කරන බවත් පවසනවා.

එසේම පවතින තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජය ජාත්‍යන්තර ආයතනවල සහාය ඉල්ලා සිටිය යුතු බව ද හිටපු ජනාධිපතිනිය සිය පණිවිඩයෙන් කියා සිටිනවා.

විපක්ෂ නායක සජිත් කළ යෝජනාව ශක්තිමත් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ද හදිසි අවස්ථාවක් නිල වශයෙන් ප්‍රකාශ කරන්නැ යි කරන ලද ප්‍රකාශයට එකඟත්වයක් දැක්වීම නිසා දෝ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නට ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.

පසුගිය නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් විසින් නුගේගොඩ දී පැවැත්වූ ආණ්ඩු විරෝධි රැළියෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ යළි එක්විය යුතු බවට සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරුන් අතර පැවති අදහස තවත් තීව්‍ර වී තිබෙනවා.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයින් පත් කිරීම සහ දැනට සිටින සංවිධායකයින් ගේ කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ ලිපි බාරදීම සඳහා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේ පැවති රැස්වීමේ දී සංවිධායකයින්ට අදහස් දැක්වීමට ද අවස්ථාව ලැබුණා.

එහිදී බොහෝ සංවිධායකයින් ඉල්ලා තිබුණේ සමගි ජන බලවේගය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවිය යුතු බවයි.  පක්ෂ දෙක එකතු වන්නේ නැතිනම් අපට දිනන්න බැහැ යි හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද මෙහිදී ප්‍රකාශ කළා.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂ දෙක එකතු කිරීමේ වගකීම අපි නායකතුමාට භාර දෙමු යි ඉල්ලා සිටියා

අවසානයේ දී සංවිධායකයින් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ දෙක එකතු කිරීමේ වගකීම තමා බාර ගන්නා බව පැවසූ විට සියලු දෙනා ම එය අනුමත කළා.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ''මම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානම්" යැයි ප්‍රකාශයක් ද නිකුත් කළා.

මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය දක්වමින් එජප - සජබ එකතු කිරීමට සජිත් පෞද්ගලිකව ඉදිරිපත්වීම ගැන කෘතඥ වන බව පවසමින් නිවේදනයක් නිකුත් කොට තිබුණා.

ඉන්පසු එක්සත් ජාතික පක්ෂය ද , එජප - සජබ එකතු කිරීමේ ඉදිරි කටයුතු සඳහා පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හා ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබෙනවා. පක්ෂ දෙක එක්කිරීමේ සියලු සාකච්ඡා මෙම කමිටුව විසින් මෙහෙයවනු ඇතැ යි ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වුණා.

 - ජගත් -