උණුසුම් පුවත්කාලීනදේශපාලන

රටේ ඝාතන රැල්ල එන්න එන්න වැඩි වෙනවා

නතර කරන්න රජය ගන්න පියවර මොනවාද?  සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

වෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහි ප්‍රහාර වර්ධනය සහ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාරක්ෂිත වීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව පිළිබඳ ජනතා විශ්වාසය කම්පනයට ලක්ව ඇති බවත් එම පසුබිම තුළ ශක්තිමත් පොලිස් සේවයක අවශ්‍යතාවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ස්ථාවර නියෝග 27(2) යටතේ අපරාධ රැල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

ශ්‍රී ලංකා පොලිසියේ එක් එක් තනතුරු සඳහා ඇති පුරප්පාඩු සංඛ්‍යාවත් එම පුරප්පාඩු පවතින කාලයත් මේ පුරප්පාඩු පුරවන්න ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් පසුගිය දශකය තුළ සිදුවූ වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, සංවිධානාත්මක අපරාධ සිදුවීම් සංඛ්‍යාව වර්ෂ අනුව ඉදිරිපත් කරන ලෙසත් ඒ අතරින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් නඩු පැවරීම් හා මෙතෙක් විමර්ෂණ අවසන් නොවු සිදුවීම් සංඛ්‍යාව වෙන් වෙන්ම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ඉල්ලා සිටියේය.

මෙරට සිදුවන අපරාධ රැල්ල මර්දනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියට අනියුක්තව කටයුතු කරන නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් මෙරට ක්‍රියාත්මක දේශීය හා ජාත්‍යනතර අපරාධ ජාල මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් එක පුද්ගල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යන සංකල්පයක් එනම් පුද්ගලයන් 1000කට 2.2ක අනුපාතයක් තිබිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති බවත් එබැවින් මේ ප්‍රමිති ක්‍රියාත්මක කිරීම මෙන්ම ආරක්ෂක අංශවලට ප්‍රවේශ වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වූ දිගුකාලයක් විමර්ෂණ අවසන් නොවූ ප්‍රසිද්ද පුද්ගලයන් මාධ්‍යවේදීන් දේශපාලනඥයන් ආදීන් ඝාතනය කිරීමට අදාළ සිදුවීම් විශේෂ කමිටු හෝ ස්වාධින විමර්ෂණ කමිටු ආරම්භ කර ඇත්නම් ඒවාද ඉදිරිපත් කරන ලෙසත් එහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ ඝාතන රැල්ල නතර කිරීමට නව වැඩපිළිවෙළට ප්‍රවිශ්ඨ වන ලෙසයි.