උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංග

රොනීගෙ අයවැය රහස් එළියට ගියේ කොහොම ද?

දයා ලංකාපුර කරන අනාවරණයක්

මුදල් ඇමැති කියන්න කලින් අයවැය රහස් එළියට ගියේ කොහොමද?

අයවැය ගැන කියැවෙන විට සිහිපත් වන අනෙක් වදන රහස්ය. ඒ, මුදල් ඇමැතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනතුරු එය රහසක් ලෙස තබා ගන්නා නිසාය. මක්නිසාද යත් අයවැයෙන් කරන්නට යන දේ හෙළිවීම රජයට පාඩුවන නිසාය. එබැවින් එකල මුදල් ඇමැතිවරු අයවැය ගෙනාවේ බ්‍රීෆ් කේසයක දමාය. එය හැඳින්වූයේ අයවැය ‘රහස් පෙට්ටිය’ යනුවෙනි. මුදල් ඇමැතිවරයා කොච්චර රහස් රැක්කද ලංකා ඉතිහාසයේ ​දෙවතාවක් රහස් පෙට්ටියෙන් අයවැය යෝජනා එළියට පැන්නේය. ඒ පිළිබඳ හොඳටම දන්නා ජීවමාන සාක්ෂිය වන්නේ තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයා ලංකාපුරය. ඒ, අවසන් වරට අයවැය රහස හෙළි කළේ ඔහු නිසාය. මුදල් ඇමැති අනුර කුමාර දිසානායක ජනපතිවරයා සිය රජයේ දෙවැනි අයවැය හෙළි කළ මොහොතේ අපි දයා ලංකාපුර සොයා ගියේ මුදල් ඇමැතිගේ කනින් රිංගා අයවැය රහස් හෙළි කරගත් හැටි දැන ගන්නටය.

පොතේ හැටියට අයවැය රහස් හෙළි කිරීම ගස් යන වැඩකි. අයවැය රහස් වූ කලී රාජ්‍ය රහස් ආරක්ෂා කිරීම පනත යටතට වැටෙන්නකි. එය හැඳින්වෙන්නේ 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත යනුවෙනි. එක්දහස් නවසීයේ මුල් කාලයේදී එංගලන්තයේ සම්මත කරගෙන ඇති රාජ්‍ය රහස් පනතේ ආභාසය ඇතිව සකස් කර ඇති පනත අනුව රාජ්‍ය රහස් මොනවාද යන්න පැහැදිලි කර තිබෙන්නේය.

රාජ්‍ය රහස් අනාවරණය කිරීම තහනම් වුවත් සැඟවී ඇති තොරතුරු ජනතාවට දීමට කැපවී කටයුතු කරන පිරිසක් සිටිති. ඒ මාධ්‍යවේදීන්ය. ඇතැම්විට නීතියේ ඇති සිදුරුවලින් රිංගා යමින් පවා රාජ්‍ය රහස් අනාවරණය කරන්නට මාධ්‍යවේදීහු සූක්ෂමය. මේ රාජ්‍ය රහස් අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වන රහස් පෙට්ටිය වන්නේ අයවැය ලේඛනයයි.

අද කාලයේදී අයවැය ගැන රට්ටුන්ගේ ලොකු උනන්දුවක් නොමැති නමුත් මීට දශක හතරකට පහකට පෙර අයවැය කාගේත් අවධානය දිනාගත්තක් විය. ඒ, බඩු මිල ඉහළ දැමීම, පහළ දැමීම, බදු වැඩි කිරීම, අඩු කිරීම ගැන සියලුම තීන්දු ප්‍රකාශයට පත්වූයේ අය වැය ලේඛනය මගින් නිසාය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ සිට අසූවැනි අයවැය ඉදිරිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක දක්වාම අයවැය රහස්, රහසක් කොටම තබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන්නේ ඒ නිසාය.

ඉතිහාසයේ සිටි බොහෝ මුදල් ඇමැතිවරු අයවැය සකස් කළේ තමන්ගේ නිවසේ සිටය. ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමැතිවරයා ලෙස අයවැය සකස් කළේ වෝඩ් පෙදෙසේ පිහිටි තමන්ගේ නිවසේ සිටය.

එන්.එම්. පෙරේරා අයවැය සකස් කළේ බොරැල්ලේ කොටා පාරේ පිහිටි තමන්ගේ නිවසේදීය. එන්.එම්. සිටි නිවස අද එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය බවට පත්ව තිබේ. රොනී ද මැල් බුලත්සිංහල ගී කියන කන්දේ පිහිටි තමන්ගේ නිවසේදී අයවැය සකස් කළේය. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස අයවැය සකස් කිරීමට තෝරා ගත්තේ බොල්ගොඩ වැව අයිනේ පිහිටි සිය නිවසයි.

මුදල් ඇමැතිවරු අයවැය සකස් කරන ඡායාරූප පුවත්පත්වල මුල් පිටුවේ පළවන ඡායාරූපය. රොනීද මැල් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ආවරණය කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන දයා ලංකාපුරය. රොනීත්, දයා ලංකාපුරගේ හිතවතකි. ගීකියන කන්දේ රොනීගේ පුද්ගලික නිවසේ අයවැය සකස් කරමින් සිටින දිනවල දයා ලංකාපුර දිවයිනේ වාහනයකින් බුලත්සිංහලට ගොස් අයවැය සකස් කරන රොනීගේ ඡායාරූප ගන්නා අතර ඒවාට දිවයිනේ මුල් පිටුවේ තැනක් වෙන් වන්නේය. එක් අවස්ථාවකදී නිවසේ අයවැය සකස් කරන ඡායාරූපය වෙනුවට වෙනත් ඡායාරූපයක් ගැනීමට දිවයිනේ ඡායාරූප ශිල්පී චන්ද්‍රා විරවර්ධනට අවශ්‍ය විය. ඔවුන් රොනීට යෝජනා කර තිබුණේ වෙනස් විදියේ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නිසා පොළට ගොස් ඡායාරූපයක් ගැනීමටය. රොනීත් එක පයින්ම එයට කැමැති වූවේය. අයවැයට පෙර පොළේ ගොස් බඩු මිල විමසන මුදල් ඇමැතිවරයාගේ ඡායාරූපය දිවයිනේ මුල් පිටුවටම පැමිණියේය.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත යුතු වන්නේය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මගින් හෝ අයවැය රහස් පිටවීම වළක්වා ගැනීමට අයවැය සම්මත කරගැනීමේ කැබිනට් රැස්වීම පවත්වන්නේ අයවැය ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙරදීය. කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම අයවැය කතාවට මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

අද මෙන් රූපවාහිනියත්, සමාජ මාධ්‍යත් නොතිබූ ඒ කාලයේ අයවැය ගැන ජනතාවට දැනගැනීමට හැකිවුණේ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය මගින්ය. නැතිනම් පසුදා පුවත්පත්වල පළවන අයවැය ප්‍රවෘත්ති මගිනි. මුල් කාලයේදී ගුවන්විදුලිය තිබුණත් ගුවන්විදුලියෙන් සජීවීව අයවැය කතාව විකාශය කළේ නැත. පසුව ගුවන්විදුලියෙන් අයවැය කතාව විකාශය කෙරිණි. රූපවාහිනිය ලංකාවට පැමිණීමෙන් පසුව රූපවාහිනියෙන් අයවැය සජීවීව විකාශය කළේය. රූපවාහිනියේ දීර්ඝ කාලයක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ෂර්ලි අනිල් ද සිල්වාගේ මතකයේ හැටියට මුලින්ම සජීවීව ඉදිරිපත් කළේ රොනී ද මැල් ඉදිරිපත් කළ අයවැයක්ය. ඒ එක්දහස් නමසිය අසූ හතරේදීය.

ඒ කාලයේදී අද මෙන් අයවැය එක්වර ඉදිරිපත් කර අවසන් කළේ නැත. අයවැය කොටස් දෙකකින් යුතුව ඉදිරිපත් කරන්නේය. පළමු කොටසෙන් ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථිකය පිළිබඳ වන ආර්ථික විද්‍යාත්මක විග්‍රහයකි. ඇතැම් කාලවලදී උදෑසන අයවැය ඉදිරිපත් කළත් බොහෝ අවස්ථාවලදී අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නේ සවස දෙකට පමණය.

“හවස දෙකට විතර අයවැය ඉදිරිපත් කිරීම පටන් අරගෙන හතර විතර වෙනකම් රටේ ආර්ථිකය ගැන විග්‍රහය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙනවා. මේකට ආරාධිතයෝ හැමෝම සහභාගී වෙනවා. විවිධ රටවල තානාපතිවරු එහෙම මේකට එනවා. තේ පැන් සංග්‍රහය ඉවර වෙලා හතරයි තිහට විතර අයිමත් අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. දෙවැනි කොටසේ තමයි යෝජනා ඇතුළත් වෙන්නේ” එකල අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳ එසේ කීවේ දශක හයක පත්තර දිවියෙන් නොකඩවා තිස්වසරකට වැඩි කලක් පාර්ලිමේන්තු වාර්තාකරණය ගැන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයා ලංකාපුරය.

අයවැය යෝජනා සෑම විටම ඉදිරිපත් වන්නේ බැංකු කටයුතු අවසන් වූ පසුවය. නැතිනම් කොටස් වෙළෙඳපොළේ කටයුතු අවසන්වූ පසුවය. ඒ, අයවැය යෝජනා මගින් බැංකු මගින් වන මූල්‍යමය කටයුතුවලටත්, කොටස් වෙළෙඳපොළේ කොටස් මිලටත් බලපෑමක් ඇති නොවන ලෙසටය.

මෙසේ ඉදිරිපත් කරන අයවැය රහස් එළියට ආ අවස්ථා දෙකක් දයා ලංකාපුරගේ සිහියට නැගෙන්නේය. එක් අවස්ථාවකදී අයවැය රහස් එළියට දැම්මේ ඔහු විසින්මය. තවත් අවස්ථාවකදී එකල ලංකාදීපයේ වාර්තාකරු ගිල්බට් ඩයස් අයවැය රහස් එළියට දැම්මේය.

එකල අද මෙන් මාධ්‍ය ආයතන බොහෝමයක් තිබුණේ නැත. ගුවන්විදුලියත් පුවත්පත් කිහිපයක් පමණකුත් පැවැති ඒ කාලයේදීත් අනෙකාට පෙර තොරතුරු එළියට දැමීමේ තරගයක් පැවතුණේය. ඒ නිසා කෙසේ හෝ තොරතුරු ගෙන ඒවා තමන්ගේ පුවත්පතින් එළියට දැමීමට මාධ්‍යවේදීහු නොයක් උපක්‍රම අනුගමනය කළහ. හැත්තෑව දශකයේදී ලංකාදීපයේ වාර්තාකරු ගිල්බට් ඩයස් ටයි එකක් පලඳන මාධ්‍යවේදියෙක්ය. ලංකාදීපය කියන්නේ දැන් තිබෙන ලංකාදීප පත්තරේ නොවේ. මේ ලංකාදීපය අච්චු ගැසුවේ ටයිම්ස් කොම්පැනිය ය. එකල මාධ්‍යවේදීන් ටයි පටියක් පැලඳ රාජකාරී කිරීම අරුමයක් වී තිබුණේ නැත. ගිල්බට් ප්‍රවෘත්ති සොයාගෙන අමාත්‍යාංශ, කාර්යාලවලට යන්නේ කාර්යාල බෑගයද සහිතවය. ඔහු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළට සිටින නිලධාරීන්ගේ මේසය අසල ඇති පුටුවේ වාඩිවන්නේ කාර්යාල බෑගය මේසය මත ඇති ලිපිගොනු ගොඩක් මත තබමින්ය. ඔහු කතාබහ අවසන් කර යන්නේ නිලධාරියාටත් නොදැනෙන ලෙස උඩම ඇති ලිපි ගොනුවත් රැගෙනය. ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති දෙයක් තිබුණොත් එයිනුත් පුවතක් ලියන ඔහු දින කිහිපයකින් නැවත ලිපිගොනුව අදාළ නිලධාරියාටම ගෙනවිත් දෙන්නේ අත් වැරදීමකින් එය රැගෙන ගොස් තිබූ බව කියමිනි.

“ඩයස් එනවා. ෆයිල් හංගා ගන්න” යැයි ඔහු කාර්යාලයකට එන විට රාජ්‍ය නිලධාරීන් කියන තත්ත්වයකට එය පත්ව තිබුණේය.

සමගි පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය ඉදිරිපත් කළේ මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරාය. එන්.එම්. ගේ අයවැයේ මුල් කොටස, එනම් ආර්ථිකය ගැන සඳහන් කොටස ලේකම්වරයෙක්ගේ මේසයේ උඩම ලිපිගොනුව ලෙස තිබුණේය. එය ගිල්බට් ඩයස්ගේ ග්‍රහණයට ලක්ව තිබුණේය. ‘මෙන්න එන්.එම්. ගේ අලුත්ම පොත’ යනුවෙන් ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය වී තිබුණේ එසේ උස්සාගෙන ආ ලිපිගොනුවේ තිබුණු   කතාවය.

අයවැය ඉදිරිපත් කිරීමට ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තුවට එන්.එම්. ආවේ යක්ෂාරූඪයෙනි. ඒ අයවැය කතාවේ කොටසක් පත්තරයේ පළවීම නිසාය. ඔහු පාර්ලිමේන්තුවට ආ සැණින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. එවකට කථානායකවරයා වූයේ ස්ටැන්ලි තිලකරත්නය. ඒ වන විට අයවැය වාර්තා කිරීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටි ලංකාදීපයේ වාර්තාකරුවන් දෙදෙනා වූ රත්නපාල විතානත්, එස්.ඒ. සමරවික්‍රමත් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එළියට රැගෙන යන ලෙසට කථානායක නියෝග කළේ එන්.එම්. ගේ වරප්‍රසාද ප්‍රශ්නය සැලකිල්ලට ගෙනය. ඒ අනුව අයවැය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන් දෙදෙනාට අයවැය වාර්තා කිරීමේ අවස්ථාව ඇහිරී ගියේය.

ඒ අවස්ථාවේදී පිහිටට සිටියේ එවකට ලංකාදීපය අයත්ව තිබූ ටයිම්ස් ආයතනයට අයත් සහෝදර පුවත්පත වූ ඩේලි මිරර් පුවත්පතයි. පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා පුවත්පතකට මාධ්‍ය අවසරපත්‍ර දෙකක් හිමිවන්නේය. ඩේලි මිරර් පුවත්පතට ලැබී තිබූ අවසර පත්‍ර දෙකෙන් එක් අවසර පත්‍රයකින් ලංකාදීපයේ වෙනත් වාර්තාකරුවෙක් පාර්ලිමේන්තු ප්‍රවෘත්ති ගැලරියට යැව්වේ ඩේලි මිරර් වාර්තාකරුවෙක් ලෙස පෙනී සිටිමින්ය.

ඉන් පසුව අයවැය රහසක් එළියට එන්නේ එයින් දශකයට පමණ පසුවය. ඒ වන විට දයා ලංකාපුර සේවය කරමින් සිටියේ දිවයින පුවත්පතේය. ඔහු සමග කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමකාලීන මිතුරන් බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයේ ඉහළ පුටුවලට පැමිණ සිටියහ. ඒ අතුරින් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක්ද විය. ඒ වන විට මුදල් ඇමැතිවරයා වූයේ රොනී ද මැල්ය.

අයවැය රහස් කිහිපයක් දයා ලංකාපුරගේ කන වැකුණේ තමන්ගේ විශ්වවිද්‍යාල මිතුරාගෙන්ය. එක් තොරතුරක් වූයේ අයවැයෙන් රාජ්‍ය සේවය වැටුප් වැඩි නොකරන බවය. වී බුසලක් සඳහා දෙන රුපියල් දෙකයි පනහක මිල රුපියල් පහක් දක්වා ඉහළ දැමීම රොනීගේ අනෙක් අයවැය යෝජනාව විය. බදු සංශෝධන සම්බ්න්ධයෙන් තවත් අයවැය යෝජනාවක්ද දයා ලංකාපුරගේ කනට වැටුණේය. අයවැය ඉදිරිපත් කරන දිනයේ පළවන පුවත්පතට ඔහු මෙම පුවත ලියා එවකට දිවයින ප්‍රවෘත්ති කර්තෘවරයා වූ දයාරත්න රණසිංහගේ අතට පත් කළේය. දිවයිනට සම්පාදනය කළ ප්‍රවෘත්තියේ අයවැය යෝජනා යන්න සඳහන් නොකිරීමට දයා ලංකාපුර වග බලාගෙන තිබුණේය. ඒ පමණක් නොව තමන්ගේ නම සඳහන් නොකිරීමටද ඔහු වග බලාගත්තේ අයවැය රහස් රාජ්‍ය රහස් පනත යටතට වැටෙන නිසා බව ඔහු දන්නා නිසාය.

දිවයිනේ සහෝදර පුවත්පත වන ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ එරික් දේවනාරායන දිවයින කර්තෘ මණ්ඩලය පැත්තේ කරක්ගසා දිවයිනේ හොඳ පුවත් අයිලන්ඩ් පුවත්පතට රැගෙන යන සිරිතක් තිබුණේය. ඒ අනුව දිවයිනේ ප්‍රවෘත්තිය ඔහු අයිලන්ඩ් පුවත්පතට රැගෙන ගියේය. එපමණක් නොව අයවැයෙන් වැටුප් වැඩි නොවන බවට ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස වාර්තා කළේය.

අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණි රොනී කිසිවක් නොවූ ආකාරයට අයවැය කතාව ආරම්භ කළේය. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී ඔහු ඉදිරිපත් කළේ දයා ලංකාපුරගේ කන් රත්වන ආකාරයේ යෝජනාවකි.

“අද දිවයින පත්තරේත් අයිලන්ඩ් පත්තරේත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ නෑ කියලා තියෙනවා. මම රාජ්‍ය සේවකයන්ට රුපියල් සීයකින් වැටුප් වැඩි කරනවා” රොනී කීවේ දිවයිනේත් අයිලන්ඩ් පුවත්පතේත් ප්‍රවෘත්තිය බොරු කරමිනි. ඒ වන විට පුවත්පත් වාර්තාකරුවන්ගේ ගැලරියේ සිටි දයා ලංකාපුර පුදුමයට පත්වූයේ තමන්ට ප්‍රවෘත්තිය දුන් මූලාශ්‍රය බොරු ප්‍රවෘත්ති නොදෙන බව හොඳින්ම දන්නා නිසාය.

තමන්ට ලැබුණ ප්‍රවෘත්තියත්, රොනී ඉදිරිපත් කළ අයවැය යෝජනාත් අතර ඇති පරස්පරය ඔහුට ලිහා ගත හැකිවූයේ අයවැය යෝජනා ඇතුළත් පොත ඔහුගේ අතට ලැබීමත් සමගය.

“අයවැය යෝජනා ඉදිරිපත් කරන්න පටන්ගත්තට පස්සේ ඒ යෝජනා ඇතුළත් පොත මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාධ්‍ය ලෙස කටයුතු කරපු ප්‍රභාත් මානවසිංහත්, ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිසුත් ඇවිල්ලා බෙදුවා. ප්‍රභාත් කියන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පුතෙකි. එදා අද වගේ නෙමෙයි, ටයිප් කරලා, රෝනියෝ කරලා තමයි බෙදන්නේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාව තියෙන පිටුව අනෙක් පිටුවලට වඩා වෙනස්. අනෙක් පිටුවල පේළි අතර තියෙන පරතරයට වඩා වෙනස් පරතරයක් තමයි මේකේ තියෙන්නේ. බලාගෙන යනකොට පත්තරේ ප්‍රවෘත්තිය ගියාට පස්සේ අලුතින් පිටුවක් එකතු කරලා. ඒ විතරක් නෙමෙයි අයවැය යෝජනාවලට මුදල් සොයා ගන්නා හැටි අයවැයේ අන්තිමට සාරාංශයක් විදියට ඉදිරිපත් කරනවා. ඔය කියන වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාවට වැයවෙන මුදල සොයා ගන්න හැටි අයවැය ලේඛනයේ තිබුණේ නෑ. පස්සේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා තමයි ඒකට අවශ්‍ය මුදල් සොයා ගත්තේ” දයා ලංකාපුර අයවැය රහස් වැසීමට රොනී ගත් උත්සාහය සිහිපත් කළේය.

අයවැය රහස් හෙළි කිරීමත් සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය. මුදල් අමාත්‍යාංශයේ අයවැය දෙපාර්තමේන්තුවේ හතළිස් දෙනකුගෙන් පමණ ප්‍රශ්න කළේය. අයිලන්ඩ් කර්තෘ විජිත යාපාගෙන් පැය හතරක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි. අයවැයෙන් වැටුප් වැඩි නොවන බව උපකල්පනය කර ප්‍රවෘත්තියක් සම්පාදනය කළ බව ඔහු කියා තිබුණේ රාජ්‍ය රහස් පනතින් ගැලවී යාමටය.

මේ සමගින් දයා ලංකාපුරගේ මිතුරා ඔහුට කතා කර කියා තිබුණේ මුදල් අමාත්‍යාංශය පැත්ත පළාතේවත් නොඑන ලෙසය. දයා ලංකාපුරට ප්‍රවෘත්තිය දුන්නේ කවුරුන්දැයි අනාවරණය වීම වළක්වා ගැනීමටය. අද වන තෙක් එම ප්‍රවෘත්තිය දුන් පුද්ගලයා අනාවරණය වී නැත්තේ මාධ්‍ය ආචාර ධර්ම අනුව තමන්ගේ ප්‍රවෘත්ති මූලාශ්‍රය ආරක්ෂා කිරීමට දයා ලංකාපුර කටයුතු කර ඇති නිසාය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අයවැය ඉදිරිපත් කර ඇති මුදල් ඇමැතිවරු දෙදෙනකි. ඒ රොනී ද මැල් සහ මහින්ද රාජපක්ෂය. ඔවුන් දෙදෙනාම අවස්ථා එකොළහකදී පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේය.

වැඩිම වේලාවක් ගෙන අයවැයක් ඉදිරිපත් කිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේද රොනී ද මැල්ය. අඩුම වේලාවකදී අයවැයක් ඉදිරිපත් කිරීමේ වාර්තාව ලියවී ඇත්තේ ඩී.බී. විජේතුංග ඉදිරියේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මුදල් ඇමැති වූයේ ඩී.බී. විජේතුංගය. ඔහු පැයකටත් අඩු කාලයකදී අයවැය ඉදිරිපත් කළේය.

චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසන් අයවැය ඉදිරිපත් කළේ ආචාර්ය සරත් අමුණුගමය. 2005 මහින්ද රාජපක්ෂ බලයට පත්වූ වහාම සරත් අමුණුගමගේ අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කළේය. එකම වසර වෙනුවෙන් අයවැය යෝජනා දෙකක් ඉදිරිපත් කළ වසර ලෙස 2005 වසර ඉතිහාසයට එක්වන්නේය.

අයුතු ලාභ ගන්නා මුදලාලිලාට කනේ පහරක් එල්ල කළ මුදල් ඇමැතිවරයා වූයේ එන්.එම්. පෙරේරාය. එකල සෑම අයවැයකින්ම සිගරැට් මිල වැඩි කරන නිසා අයවැයට පෙර සිගරැට් අලෙවි නියෝජිතයන් සිගරැට් තොග රැස්කරන්නේ අයවැයෙන් පසුව වැඩි ලාභ ගැනීමටය. ඔවුන්ට පාඩමක් ඉගැන්වූ එන්.එම්. අයවැයෙන් සිගරැට් එකක මිල සතයකින් අඩු කළේය. ව්‍යාපාරිකයන්ට ලාභ වෙනුවට අලාභ ළඟාකර ගැනීමට සිදුවිය. එහෙත් අයවැය ඉදිරිපත් කර සතියකින් පසුව ගැසට් නිවේදනයක් මගින් සිගරැට් මිල ඉහළ දැමුවේය.

දයා ලංකාපුරගේ මාධ්‍ය අත්දැකීම් අනුව අසාර්ථකම අයවැය ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාය.

“බැසිල් කිසිම සූදානමක් නැතිව ඇවිත් අයවැය ඉදිරිපත් කරන්නේ. ටික වේලාවක් අයවැය ඉදිරිපත් කරනවා, ඊට පස්සේ වාඩි වෙනවා. නැතිනම් විනාඩි පහක් සභාව කල් තියනවා. එහෙම තමයි බැසිල් අයවැය ඉදිරිපත් කළේ” දයා ලංකාපුර අයවැය ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමැතිවරයා ගැන සිහිපත් කළේය.

 උපුටා ගැනීම - සති අග අරුණ  පුවත්පතෙනි

ලියුවේ -  සංජය නල්ලපෙරුම