ජගත් ගේ සතියේ සටහන - 91

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය බදාදා ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පවත්වමින් සිටිය දී පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කිරීමත් සමඟ ඉකුත් සතියේ දේශපාලන ක්ෂේත්රය උණුසුම් වුණා.
මෙම ඝාතනය ගැන මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැහැ. මේ ඝාතනය පාතාල ප්‍රබලයකු වන දැනට බන්ධනාගාර ගතව සිටින මිදිගම රුවන් නමැත්තාගේ මෙහෙයවීම යටතේ සිදුවූ වක් බවට පොලිසිය සැක කරනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් මිදිගම කොට්ඨාසයට තරග කොට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත් වූ ලසන්ත වික්‍රමසේකර මහතා ගේ ඝාතනය පිළිබඳව ආණ්ඩුව වගකිව යුතු බව යි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මෙම ඝාතනයත් සමඟ පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම ද උණුසුම් වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් වික්‍රමසේකර මහතාට ආරක්ෂාව නොසැපයීම ගැන ආණ්ඩුවට චෝදනා කළා.
ඝාතනය වූ ලසන්ත වික්‍රමසේකර මහතා තමාට මරණ තර්ජන ඇති බැවින් පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැ යි සති කිහිපයකට පෙර පොලිස්පතිවරයා ගෙන් ලිපියක් මඟින් ඉල්ලා තිබූ බව සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කරමින් පැවසුවා.
මේ සම්බන්ධයෙන් 22 දා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල මහතා මෙම ඝාතනය අපරාධකරුවන් අතර ඇති වී තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කළා.
''වැලිගම සභාපතිවරයා මහජන නියෝජිතයෙක් වුණත් පාතාල අපරාධකරුවෙක්. මොහුට විරුද්ධව නඩු 06 ක් තිබෙනවා. මාතර මහාධිකරණයේ 02 ක්, කුරුණෑගල මහාධිකරණයේ 02 ක් හා ගාල්ල මහාධිකරනයේ එක් නඩුවක් ද තිබෙනවා. මොහු තවත් නඩුවකට වැරදිකරු වී අත්හිටවූ සිර දඬුවම් මතයි ඉන්නේ. පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ මොහු ලියාපදිංචි (IRC) අපරාධකරුවෙක්. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත්තු බව ද මොහුට නඩුවක් තිබෙනවා. ලියාපදිංචි අපරාධකරුවකුට පොලිස් ආරක්ෂාව දෙන්නෙ කොහොම දැ යි ආනන්ද විජේපාල මහතා විපක්ෂයෙන් ප්‍රශ්න කළා.
වැලිගම සභාපතිවරයාගේ ඝාතනය ගැන පොලිස් කණ්ඩායම් ගණනාවක් පරීක්ෂණ පවත්වන බවත් තව දින දෙක තුනකින් ඝාතකයින් අල්ලා ගත හැකිවනු ඇති බව ද ඇමතිවරයා පැවසුවා.
ඝාතනය වූ ලසන්තට පළාත් පාලන නාමයෝජනා දීම ගැන සජබ පිරිසක් නොසන්සුන් 
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයෙන් පසු සමගි ජන බලවේගය තුළ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. පක්ෂයේ ප්‍රබලයින් ද පළාත් පාලන සාමාජිකයින් නඩු ගණනාවක් තිබෙන, සිර දඩුවම් ලබා සිටිඅයකුට පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන්නේ ඇයි දැ යි ප්‍රශ්න කරනවා.
සමගි ජන බලවේගය හොරුන් හා අපරාධකාරයින් පක්ෂයට බඳවා ගැනීම ප්‍රසිද්ධියේ ම ප්රත්ක්ෂේප කොට තිබිය දී ලසන්ත වික්‍රමසේකරට නාමයෝජනා දී ඔහු ජයගත් පසු ප්‍රාදේශීය සභාවේ සභාපති පදවිය ද ලබාදීම ඔවුන්ගේ විමතියට හේතු වී ඇති බවයි සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ.
මේ සතියේ සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බව ද දැනගන්නට තිබෙනවා.
ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර මහතා ගේ අවසන් කටයුතු ඉරිදා (26) මිදිගම දී සිදුකිරීමට නියමිත අතර එම අවමඟුලට සහභාගි වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැ යි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ජගත් විතාන මහතාටත් මරණ තර්ජන!
මේ අතර කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන මහතාට ද මරණීය තර්ජන එල්ල වී ඇතැ යි පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දි අනාවරණය වුණා.
ජගත් විතාන මහතා මරා දමන බවට තර්ජනය කොට ඇතැ යි සිද්ධියක් වාර්තා වී ඇති බැවින් ඒ ගැන පියවර ගන්නැ යි පොලිස්පතිනීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනියට දන්වා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිනිය මේ බව දැක්වෙන ලිපිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු පහළ නිලධාරීන්ට දන්වා ඇති නමුත් පොලිසිය ඒ බව ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනුම් දී නැහැ.
ඒ අතර මන්ත්‍රීවරයාගේ නිවසට ත්‍රීරෝද රියකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් කිහිප දෙනකු මන්ත්‍රීවරයාගේ ගමන් බිමන් ගැන නිවසේ සේවිකාවකගෙන් විමසා තිබෙනවා. ඇය පසුව ඒ ගැන මන්ත්‍රීවරයාට දැනුම් දුන් පසු CCTV කැමරා පරීක්ෂා කිරීමේ දී පැමිණි පුද්ගලයින් හා ත්‍රීරෝද රිය ද දැකගත හැකිවෙලා. මන්ත්‍රීවරයා මේ ගැන පොලිසියට දැනුම් දුන් විට පොලිසි නිලධාරියකු පවසා ඇත්තේ ඒ පැමිණියේ තමන් ඇතුළු පොලිස් පිරිසක් බවයි. ඒ කුමටදැ යි ඇසූ විට ඔහු පවසා ඇත්තේ පොලිස්පතිවරයාගේ දැනුම්දීමක් මත ඔහුගේ නිවසට ගොස් විමසා බැලූ කතාවකි. ඒ බව තහවුරු කිරීම සඳහා එම පොලිස් නිලධාරියා පොලිස්පතිගේ ලිපිය මන්ත්‍රීවරයාට වට්ස්අප් මඟින් එවා තිබෙනවා. එම ලිපිය ංගත් විතාන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ ගැන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා එම මරණ තර්ජනය ගැන පොලිසිය ජගත් විතාන මන්ත්‍රීවරයා දැනුම්වත් නොකිරීම ගැන චෝදනා කරනවා.
මන්ත්‍රීවරයාට මේ ගැන කලින් දැනුම් දී තිබුණේ නම් ඔහුට සිය ආරක්ෂාව ගැන වැඩි අවධානය යොමු කළ තිබූ බවයි අජිත්. පී. පෙරේරා මහතා පවසන්නේ.
පොලිසියේ මේ ක්‍රියා කලාපය බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
'රටම එකට'
රට පුරා මහත් වසංගතයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා සියලුම ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් නොවැම්බර් මාසයේ මුලදී ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.
මේ නිමිත්තෙන් විෂ මත්දුව්‍ය පරදන 'රටම එකට' සමාරම්භය ඔක්තෝම්බර් 30 වැනිදා පෙරවරු 10. 00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසනවා.
මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන් ම අතුගා දැමීමේ මෙම මෙහෙයුමට ත්‍රවිධ හමුදා, පොලිසිය, ඔත්තු සේවා ඇතුළු සියලු අංශ යොදා ගැනීමට ද සැලසුම් කොට තිබෙනවා.
එමෙන් ම පළමු වතාවට නාවුක හමුදාව සහ ගුවන් හමුදාව ද යොදවා මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීමට පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී තීරණය වූ බවත් වාර්තා වෙනවා.
මේ හැර රට ඇතුළේ සිදු කෙරෙන මත්කුඩු ජාවාරම් වැළැක්වීම සඳහා යුද හමුදාව ගම් මට්ටමින් ස්ථාපිත කිරීමටත්, ගම්වල ප්‍රජා කමිටු පිහිටුවා ඒවා මඟින් මත්ද්‍රව්‍ය පිළිබඳ ඔත්තු ලබාගැනීමටත් මෙම වැඩ පිළිවෙළ යටතේ සැලසුම් කොට තිබෙනවා.
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගන්නා දරුණු පාතාල අපරාධකරුවන් හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිනිස් වාසයකින් තොර මුහුදේ දූපතක රඳවාලීම පිළිබඳව ද ආණ්ඩුවේ ප්‍රධානීන් සාකච්ඡා කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට ආරාධනාවක් ද කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙයට ප්‍රතිචාර දක්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්ධනය කිරීම සඳහා ගෙන යන ඕනෑම වැඩ පිළිවෙළකට තම පක්ෂය කොන්දේසි විරහිතව සහාය දෙන බව කියා සිටියා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
විජේදාසට ගෙවිය යුතු වන්දි මුදල කෝටි 130 ක් වෙලා.
හිටපු ඇමතිවරයකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට අපහාසයක් කිරම සම්බන්ධයෙන් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක් හවුස් ආයතනය විසින් අධිකරණ තීන්දුවක් අනුව ගෙවීමට නියම වූ රුපියල් කෝටි 50 ක වන්දි මුදල මේ වන විට රුපියල් කෝටි 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විජේදාස රාජපක්ෂ මහතාට වන්දි වශයෙන් රුපියල් කෝටි 50 ක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය ලේක් හවුස් ආයතනයට නියම කළේ 2015 ජූලි මාසයේ දී. එම තීන්දුවට එරෙහිව ලේක් හවුස් ආයතනය මහාධිකරණයටඅභියාචනයක් ඉදිරිපත් කළ නමුත් එය 2019 දී නිශ්ප්‍රභා වුණා. අනතුරුව ලේක් හවුස් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය කෝටි 50 වන්දිය ගෙවීමේ නඩු තීන්දුව තහවුරු කළා.
විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ මුල් නඩු තීන්දුව ලබා දුන් 2013 ජූලි මාසයේ සිට තමාට හිමි වන්දි මුදල ට 12% ක පොලියක් ද එකතු විය යුතු බවයි. ඒ අනුව මේ වන විට තමාට ලැබිය යුතු වන්දි මුදල රුපියල් කෝටි 130 ක් බවයි ඔහු පවසන්නේ.
