ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

වතුකරයේ ප්‍රභූන් වෙනුවට මැතිසබයට ආ අම්බිගා සැමුවෙල්!!

ජගත් ගේ සතියේ සටහන  -  44

                                                                            අම්බිගා සැමුවෙල්

ජාතික ජන බලවේගයේ ඡන්ද බැංකුවේ ගිණුම මාස එක හමාරකින් ලක්ෂ 18 කිිි පිරිලා

මහ මැතිවරණයට දින දින කිහිපයකට පෙර පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැළියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයට සූදානම් වන්නැ යි ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තවත් රැස්වීමක දී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර ඡන්දයේ දී ඇඬෙන්න ම දෙන ලෙසයි.

ජනතාව ඔහුගේ ඉල්ලීම ඉටු කළේ ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා පැවති ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු ආසන 225 න් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 ක් ද ඇතුළුව මන්ත්‍රී ධූර 159 ක් ලබා දෙමින්.

මෙම මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 6863186  ලබා ගත් අතර එහි ප්‍රතිශතය 61. 56% ක්.

මෙහි විශේෂත්වය වන්නේ මඩකළපුව දිස්ත්‍රික්කය හැර උතුර, වන්නි, ත්‍රීකුණාමලය, දිගාමඬුල්ල හා වතුකරයේ දෙමළ ජනතාව බහුලව වාසය කරන නුවරඑළිය, බදුල්ල, මාතලේ, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක 21 ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වීම යි.

කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතාමත් සාමකාමීව පැවති මෙම මැතිවරණයේ ප්‍රතිඵල අනුව නවක මන්ත්‍රීවරුන් 176 ක් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා.

ඔවුන් අතර විශ්විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, ගණකාධීකාරිවරුන් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, වෘත්තිය සමිති නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයින් රැසක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ හැර මෙවර පාර්ලිමේන්තුවට කාන්තාවන් 20 කු ද මන්ත්‍රීවරියන් වශයෙන් පත්වී සිටින අතර ජාතික ලැයිස්තුවෙන් තවත් කිහිප දෙනකු පත්වීමට නියමිත යි.

බදුල්ලෙන් ආ අම්බිගා සැමුවෙල්

ජාතික ජන බලවේගය අපේක්ෂක ලැයිස්තුවලට කාන්තාවන් 46 දෙනකුගේ නම් ඇතුළත් කොට තිබු අතර ඔවුන්ගෙන් 16 කු ම ජයග්‍රහණය කිරීම විශේෂ සිද්ධියක්.   ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  නායිකාව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මනාප 655289 ක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගෙන තිබුණා.

වෙනදා මැතිවරණවලට වතුකරයේ ප්‍රභූ පන්තියේ පිරිස් ඉදිරිපත් වන නමුත් මෙවර ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වතු කම්කරු පවුලක තරුණියක වන අම්බිගා සැමුවෙල් මෙනෙවිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු පවුලක එළුවන් කිහිප දෙනකු ඇති කරමින් උන්ගේ කිරි විකුණා ජීවත්වන කිට්නන් සෙල්වරාජ් ද ඉදිරිපත් කළ අතර ඔවුන් දෙදෙනා ජය ගෙන ඇත්තේ එම දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තුවේ දෙවැනියා හා තුන්වැනියා ලෙස යි.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් 67 කු මෙවර මැතිවරණයට තරග කළේ නැහැ. 2020 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණ පසුව වෙනත් පක්ෂවලට බැඳී මෙවර මැතිවරණය‌ට තරග කළ මැති ඇමතිවරුන් 92 කු ද පරාජය වුණා. ඔහුන් අතර කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් 34 දෙනකු ද සිටින බවක් වාර්තා වෙනවා.

පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර, සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, විදුලිබල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර, ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා, සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක, වනජීවී ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඉඩම් හා ක්‍රීඩා ඇමති හරීන් ෆ්‍රනාන්දු, හා ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත, යන මහත්ම මහත්මීන් ද මෙවර පරාජය වී සිටිනවා.

මෙ අතර උදය ගම්මන්පිල,  එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, මධුර විතානගේ, ජගත් කුමාර යන කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ නිමල් ලංසා, ඉන්ධික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, චන්න ජයසුමන, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන හිටපු ම්නත්‍රීවරුන්ට ද මෙවර පාර්ලිමේන්තුව අහිමි වුණා.  

කළුතර දිස්ත්‍රික්කයට තරග වැදුණු දොස්තර රාජිත සේනාරත්න, පියල් නිශාන්ත, රොෂාන් ඒණසිංහ, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ද පරාජය වුණා.

මාතර දිස්ත්‍රික්කයේ බුද්ධික පතිරණ, වීරසුමන වීරසිංහ, නිපුණ රණවක, යන මහත්වරුන් ද, ගාල්ල දිස්ත්‍රිත්කයේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඉසුරු දොඩංගොඩ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, යන හිටපු මන්ත්‍රීවරුන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත්, අශෝක අබේසීංහ, තුෂාර ඉඳුනිල්, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, හා අසංක නවරත්න, බදුල්ල දිස්ත්‍රික්කයේ තේනුක විදානගමගේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, යන මහත්වරුන්ට ද මෙවර තේරී පත්වෙන්නට අවස්ථාවක් ලැබී නැහැ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල, යන මහත්වරුන් ද පරාජයට පත්වී ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ. පී. එස්. කුමාරසිරි, හා රාෂික් රාහුමන්, යන හිටපු මන්ත්‍රීවරුන්ට ද පරාජයේ වේදනා විඳින්නට සිදුවෙලා.

මීට අමතරව ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, රෝහණ දිසානායක, එම්. ඒ.  සුමන්තිරන්, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, අරුන්දික ෆ්‍රනාන්දු, යන මහත්වරුන්ට ද මෙවර ජය ගැනීඹට හැකි වී නැහැ.

24 ලක්ෂයක් සජිත්නේ ඈත්වෙලා?

මෙවර මහ මැතිවරණයේ ප්‍රධාන විපක්ෂයයට සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඉකුත් සැප්තැම්බර් 21 දා පැවති ජනාධිපතිවරණයේ දී 4363035 ක් ලා ගත් නමුත් මෙවර මහ මැතිවරණයේ දී එම පක්ෂයට ලැබී ඇත්තේ ඡන්ද 1968715 ක් පමණයි. මෙය ඡන්ද ලක්ෂ 24 ක පමණ අඩුවීමක්. හෙවත් පල්ලම් බැහීමක්.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉකුත් ජනාධිපතිවරණයේ දී ඡන්ද 2299767 ක් ලබා ගත්තා. එහෙත් මෙවර මැතිවරණයේ දී එම පක්ෂයට ලැබී තිබුණේ ඡන්ද 500835 ක් පමණ ය.

රනිල් ‌ගේ ද ලොකු කඩා වැටීමක් -  ඡන්ද ලක්ෂ 18 ක පමණ අඩුවීමක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද ලක්ෂ 56 ක් ලබාගත් අතර මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 6863183 ක් ලබා ගෙන තිබෙනවා. එම පක්ෂය ඔවුන් ගේ ඡන්ද සංඛ්‍යාව මේ අනුව ලක්ෂ 12 කින් පමණ වැඩිකර ගෙන ඇති බව පැහැදිලියි.

මෙයින් පෙනී යන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්දය දුන් විශාල පිරිසක් මෙවර ජාතික ජන බලවේගයට ධන්දය දී තිබෙන බවත් එම පක්ෂයෙන් තවත් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැළකී ඇති බවත් පෙනී යන්නේ මෙවර මැතිවරණයේ දී ඡනද්දායකයින් ලක්ෂ 53 ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමෙන්.

පසුගිය 14 වැනි දා පැවති මහ මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්දදායකයින් 17140354 කින් ඡන්දය පාවිච්චි කොට තිබුණේ 11815240 ක් පමණයි. 5325198 ක් ඡන්දය පාවිච්චි කොට තිබුණේ නැහැ. පාවිච්චි කළ ඡන්දවලින් 667240 ක් ප්‍රතික්ෂේප වී තිබුණා. ඒ අනුව මන්ත්‍රීන් 196 ක් තොරා ගැනීම සඳහා භාවිතා කොට තිබුණේ ඡන්ද 11148006 ක්.

ඡන්ද පත්‍රිකාව ලොකුයි ඡන්ද ලකුණු පොඩියි ? නිරීක්ෂකයින් කියනවා

පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 35 ක් ඡන්දය පාවිච්චි කොට තිබුනේ නැහැ. මෙවඒ එය 53 ලක්ෂයක් දක්වා වැඩිවීම මැතිවරණ නිරීක්ෂකයින් ගේ විමතියට හේත වී තිබෙනවා. මෙවර මැතිවරණය පැවැත්වුණේ සතියේ වැඩ කරන දිනයක් වුණු බ්‍රහස්පතින්දා දිනයක යි. එමනිසා පෞද්ගලික අංශයේ සේවකයින් බොහෝ දෙනකු ඡන්දය දීමට නොගිය බව ද වාර්තා වෙනවා.

එසේම මෙවර මහ මැතිවරණයේ දී ප්‍රතික්‌ෂේප  ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 6 දක්වා ඉහළ යෑමට හේතුව ඡන්ද පත්‍රිකාව විශාල වීම හා ඡන්ද සලකුණු රාශියක් කුඩාවට දක්වා තිබීම බව ද නිරීක්ෂකයින් පවසනවා. උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයට දේශපාලන පක්ෂ 27 ක් හා ස්වාධීන කණ්ඩායම් 19 ක් තරග කළා. මෙනිසා තීරු දෙකකින් යුත් විශාල ඡන්ද පත්‍රිකාවේ ඡන්ද සලකුණු 46 ක් තිබුණා. අඩු අධ්‍යාපනයක් ඇති හා වයස්ගත අයට ඡන්ද මධ්‍යස්ථාවවල දී  ඡන්ද සලකුණු කිරීම මහත් දුෂ්කර කාර්යයක් වී තිබූ අතර මෙ නිසා බොහෝ දෙනා වැරදියට ඡන්ද සලකුණු කිරීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනි දා සවස 3. 00 ට අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කිරීමට නියමිත යි. ඒ වෙනුවෙන් විශේෂ උත්සව නොපව්තවන ලෙස ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තු බලධාරීන්ට දන්වා තිබෙනවා.

අශ්වාරෝහක රිය පෙරහරවල් නොමැතිව සාමාන්‍ය පරිදි පැමිණෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන  දොරටුව අබියස දී පාසල් සිසුවියන් පිරිසක් ජයමංගල ගාථා ගායනා කොට ඔහු පිළිගන්නා අතර කතානායකවරයා ඇතුළු නිලධාරීන් ජනාධිපතිවරයා සභාව තුළට කැඳවා ගෙන යනවා. ඉන්පසු ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමෙන් පසු සභාවේ කටයුතු අවසාන වන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කළා.

නවක මන්ත්‍රීන්ට තෙදින වැඩ මුළුවක් සම්ප්‍රදාය ආචාර ධර්ම හා නීතිරීති ගැන

 නව පාර්ලිමේන්තුව ඊට පෙර 21 වනදා පෙරවරු 9. 30 ට රැස්වී කතානායකවරයකු, නියෝජ්‍ය කතානායකවරයකු හා කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයකු පත්කර ගන්නා අතර ඉන්පසු එහිදී සියලුම මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට ද නියමිතයි.

පාර්ලිමේන්තුවට පත්වී සිටින නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 18 හා 19 යන දිනවල පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙන අතර නවක මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායත් නීතිරීතී, ආචාරධර්ම, කියාදීමේ වැඩ මුළුවක් නොවැම්බර් 25, 26 හා 27 යන දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැ යි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ප්‍රකාශ කළා.

   -  ජගත්  -