අනවශ්‍ය විදියට මංමාවත්වල ගැවසීමෙන් වළකින්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණිමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල වතුර පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකය. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි අවධානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 ක් හඳුනාගෙන ඇති අතර එම සියලු කාර්යාලවල ආපදා සහන සේවා නිලධාරීන් අද රාත්‍රියේද පූර්ණකාලීව සේවයේ නිරත බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පවසයි.
වැඩි අවධානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන, අයගම, කිරිඇල්ල, නිවිතිගල සහ ඇහැළියගොඩ හඳුනාගෙන තිබේ. දැනට පවුල් 2574 ක පුද්ගලයින් 9398 දෙනෙක් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එයින් ආරක්ෂක ස්ථාන 18 ක පවුල් 528 ක පුද්ගලයින් 2219 දෙනෙක් රඳවා සිටියි.
මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ සෙසු ප්‍රාදේශීය නිලධාරීන් සියලුදෙනා සහෝදරත්වයෙන් රාජකාරී කිරීම මත ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසීම කාර්යක්ෂම වී ඇති බවයි.
අවතැන් කඳවුරුවල සහ ඉන් පරිභාහිරව රැදී සිටින විපතට පත්වූවන් සියලුදෙනාගේ ආහාර අවශ්‍යතා සහ සෞඛ්‍ය අවශ්‍යතා මැනවින් ඉටු කරන බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියි.
මේ අතර ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ටී. රාජකරුණා මහත්මිය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 අතුරින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, බද්දේගම හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 වෙත වැඩි අවධානමක් පවතින බවයි.
මේ වන විට නෙළුව ආශ්‍රිතව බලපෑම අඩු වීගෙන යන බවද එතුමිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1348 ක පුද්ගලයින් 3455 ක් පීඩාවට පත්ව ඇත. මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටියි. එක් ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 250 ක පුද්ගලයන් 608 දෙනෙක් සඳහා මේ වන විට සියලු පහසුකම් සලසා ඇතැයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙයි.
මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතුරින් අතුරලිය, අකුරැස්ස සහ පිටබැද්දර දැඩි අවධානම් තත්ත්වයට පත්ව ඇති බවයි.
මුලටියන, පස්ගොඩ, කොටපොල, තිහගොඩ, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද බලපෑමට ලක්ව ඇති අතර සෙසු කොට්ඨාස සුළු වශයෙන් බලපෑමට ලක්ව තිබේ. පුද්ගල මරණ 03 ක් සමඟ දෙදෙනෙකු අතුරුදන්වී ඇත. මේ වන විට පවුල් 2731 ක පුද්ගලයින් 10,937 ක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
නිවාස හානි 150 ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 05 ක පවුල් 21 ක පුද්ගලයන් 123 දෙනෙක් රැදෙමින් පහසුකම් ලබයි. ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය ඕනෑම සේවයක් ලබාදීම වෙනුවෙන් තමන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 943 ක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින අතර අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3539 කි. ආරක්ෂිත ස්ථාන 30 ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර පවුල් 606 ක පුද්ගලයින් 2274 දෙනෙක් පහසුකම් සහිතව රැදී සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පමණක් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 1716 ක පුද්ගලයන් 6839 දෙනෙක් අවතැන් වී ඇත. ආරක්ෂිත ස්ථාන 07ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු විසින් කටයුතු කර ඇති අතර ඒවායේ පවුල් 58ක පුද්ගලයන් 215 දෙනෙකු රැදී සිටින බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.
ගංවතුර හෝ මාර්ගවල වතුර පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ජනතාවට දැනුම් දෙයි
සහන සේවා කටයුතුවල නිරත සියලු නිලධාරීන්ගේ කැපවීම ජනපතිගේ ඇගයීමට ලක් විය.
මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් හෙට දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටී.
එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අද (02) දහවල් පැවති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.
එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.