උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව වැස්ස සීතලද මෙතරම්!? 2025-10-250 චම්මිගේ හිතිවිල්ල තුරුපත් මතට වැටෙන වැහි බිඳුත් වහළයට වැටෙන වැහි බිඳුත් මම වෙන් වෙන්ව හඳුනා ගනිමින් සිටිමි. එහෙත් වැස්ස සැර වෙත්ම ඒ හඬවල් වෙන්කර හඳුනා ගන්නට බැරි එකම හඬක් වෙයි. හරියට ඇළ දොළින් බැස යන වැහිදිය ගඟට හෝ වැවට හෝ වට කල්හි ඒවා වැව්දිය හා ගංදිය වන්නා සේ. බාලේදි වැස්ස වැටෙද්දී මිඳුළට පිරෙන වැහි වතුරේ පරණ ඇක්සයිස් පොත්වල කොළ කඩා නංගිලා සමහ බෝට්ටු ඇරිය හැටි මට සිහිවේ. ඒත් එක්කම තාත්තට නොඇසෙන්නට පොල්ලතු බඳින්න පරක්කු වූ වග කියමින් අම්මා වළං මුට්ටි තෙමෙන තැන්වලට තියූ හැටි මට මතක් වෙයි. දැන් නැතත් එදා ගොම පොළොවේ මතු වූ හිල් තවමත් මට මතකය. වැස්ස දෙස බලා මුව පුරා ඒදුනු බුලත් විටෙන් තාත්තා දෙතොළට දෑඟිළි තබා හරින රත් පැහැ කෙළ පාරේ වේගය මට මතක් වෙයි. මොහොතකින් රතු වෙන වැහි දිය යළි වැහි දියේ පැහැයම ගනී. ඔවුහු ගොසිනැ. හැර ගොසින් ය. සමහරු මා සමග දිවෙන් දිව ගෑ වුන් ද ගොසිනි. සමහරු දුර සිට මා හා සිටිති. එහෙත් මා අසලම සිටි ඔබ. ඔබට අහිමි ලොව මා රජ කරවූ ඔබ. ඔබ නොලද බුහුමන් මට ලැබෙන්නට පාර හැදූ ඔබ. ඔබේ කිරුළ මා යැයි කියූ ඔබ. මා හැර ගිය කල්හි මට මා හැර යන කිසිවකු වුවද මා හා සිටියේ යැයි හෝ මා හැර ගියේ යැයි නොසිතේ. ඔබ ම මගේ ලෝකය වූ බැවිනි. ඔබ දෙපළම මා ම වූ බැවිනි. තවමත් මා ඔබම බැවිනි. එනිසාම හැරයාම තවත් බැඳුමක් නොවේ මට. තවත් සාංකාවක් නොවේ මට. තවත් එක් දුකක් නොවේ මට. එහෙත් විරහවේ වේදනාව මට දැනේ. මම ඒ ගැන ලියමි. අන් අය ලියන විරහව විඳිමී. එහෙත් එය කරතබා ගෙන නොයමි. එබැවින් මම ඔවුන් දෙදනා මා හැර ගිය තැන නොව ඔවුන් මට දුන් දේ මම ඔබ වෙනුවෙන් යළි ගොඩ නඟමි. එවන් ආදරණීය වූ ලොවක් මගේ හද තුළ මෙතෙක් ඔබ නැත ගොඩ නැඟුවේ. එබැවින්ම මම ඒ ආදරණීයම ආදරණීය බව තවමත් සොයමි. බුදුන් වහන්සේ වනය රමණීයැයි දේශනා කළ සේ මම මගේ හුදෙකලා සිත් වන මැද ඒ සුවය සොයමි. විඳිමි. එසේම උන්වහන්සේ කිඹුල්වත් පුරයෙන් හමනා සුළඟ ද සැපයැයි දෙසූ ලෙසින් ඔබෙන් ලද ඒ සියලු මතක මා නිවාළයි. මා සනහාළයි. සත්පුරුෂ හි වික්රම , සක්කාරං හි සුබේ, සන්තිපරං හි දිසා , කාල අග්නි හි අර්ජුන් වෙමින් මම ඔබ කැටුව සැරිසරමි. එනිසාම මේ ජීවිතේ නැත කිසිදු හුදෙකලා බවක් දැනෙන්නේ. එනිසාම දමා යා නොහැකි දේද නොමැති බව දැනෙන හැම මොහොතකදීම සිත පිරී යන්නේ මහා සැහැල්ලුවකිනි. ඒ යමක් හිතේ රඳවා ඇති හෙයින් හෝ පුරවා ඇති නිසා නොවේ. ඒ සියල්ලම හැරපියා ගිය නිසා හා යා යුතු බව දත් නිසා ය. එබැවින් ඒ සැහැල්ලුව ගැඹුරුය. නික්ම යන්නට බර දීමකි. දින ගණනක සිට වැටෙන වැස්ස විටින් විට කෙටි විවේක ගනිමින් යළි තමන් නොගිය බව දනවයි. බිත්ති සීතලව ගොසිනි. ගලින් බැද කපරාදු කොට සුදු පිරියම් කළ බිත්ති ඒ සා ලෙසින් සීතල හිරිවට්ටයි නම් කටුමැටි පැලක, පොල්ලතු පැලක ඉන්නා අය කෙසේ නම් ඒ සීතල අනින හිරිගඬු මතුකරන නොපිරුණු කුස් ඇතුව කෙලසක නම් මේ වැස්ස හා අහස දකිනු ඇද්ද? කෙනෙක් විඳින සුන්දරත්වය සමගම බැඳී යන හා ගිය කටුක යථාර්ථයක් ද ඇත. එය විටෙක අපි විඳින ඇතෑම් දෙයින් යටපත් නොවන සැබෑවයි. එය කර්මය කියා සනසා ගන්නට මගේ සිත හුදෙකලා වී නැත. එහෙත් එය ද ජීවිතයයි. මා ද අත්විඳි ජීවිතයයි. තවමත් මම ඔබ සොයමි. ඔබේ ඒ ආදරණීයම ආදරය සොයමි. සුවපත් දොහක් මේ වැස්සෙන් කිසිදු කරදරයක් නොවෙන. චම්මින්ද වෙලගෙදර . 25-10-2025. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඇසුරු කරන්නට පොත්පත් තරම් තවත් මිතුරකු කොයින්දෝ Next Article කවිකාර මඩුව