සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි
1979 වසරේ තාවකාලික නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්විමේ පනත පනවන ලද්දේ එවක රටේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට වුවත් අද වන විට දශක 3ක සිවිල් යුද්ධය නිමා වී වසර 15ක් පමණ ඉක්මවා ගියත් මෙම නීතිය පවත්වාගෙන යාම ගැටලු සහගත බවත් වර්තමානයේ මෙම නීතිය උපයෝගී කර ගෙන දේශපාලන විරුද්ධවාදීන්, ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වැඩවර්ජන මෙන් ම මාධ්‍යවේදීන් ද මර්දනය කරන බවත් මේ නිසා ශ්‍රී ලංකාව අත්සන් කළ සහ බැඳුණු අන්තර්ජාතික නීති සම්බන්ධයෙන් ද ගැටුමක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් මීට පෙර පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අදහස් දක්වා ඇති නිසා මෙම නීතිය අහෝසි කිරීම හෝ ඒ සඳහා සංශෝධන පනතක් ගෙන ඒම හෝ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම ගැන රජයේ ස්ථාවරත්වයත් මෙය සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් කරන විකල්ප විසඳුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
තවද මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගත් පැය 72ක කාලයක් රදවා ගැනීම සම්බන්ධයෙන් රජය දරණ මතයත් මෙම පනත යටතේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමත් ආදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව මෙය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන්නේද කියා ප්‍රශ්න කර සිටියේය.