ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

වියට්නාම තානාපතිනිය කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කේ. ඩී. ලාල්කාන්ත හමුවූ වගයි

Ho Chi Minh වැනි නායකයින් සැමදා ලාංකිකයන්ගේ හදවත් තුළ සිටිනවා

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන දේශපාලන සබඳතාවයක් පවතින බවත්, ශ්‍රී ලාංකිකයන් අතර වියට්නාමය පිළිබඳව මෙන්ම Ho Chi Minh වැනි නායකයින් සැමදා ලාංකිකයන්ගේ හදවත් තුළ සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉතිහාසය පුරාම වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර රටක් ලෙස මෙන්ම දේශපාලනිකවත් යහපත් සම්බන්ධතාවයක් පැවති බවත්, එය එදා සිට අද දක්වාම නොවෙනස් සබඳතාවයක් වූ බවද අමාත්‍යවරයා තානාපතිවරිය පිළිගනිමින් ප්‍රකාශ කළේය.

තානාපතිවරිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, නව ආණ්ඩුවට  ඔවුන්ගේ සුබ පැතුම් එකතු කිරීමට කැමති බවත්, වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමති බවයි. එසේම Ho Chi Minh වැනි නායකයින් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ සිටීම ගැන ඇය ආඩම්බර වන බවත්, ශ්‍රී ලාංකිකයින් Ho Chi Minh වෙනුවෙන් ඔහුගේ පිළිරුවක් නිර්මාණය කර තිබීම, ඔහු වෙනුවෙන් ලාංකිකයෙක් ගීතයක් නිර්මාණය කර තිබීම වැනි කාරණා නිසා දෙරට අතර ඇති සංස්කෘතික හා දේශපාලන බැඳීම මනාව පිළිඹිබු වන බව සඳහන් කළේය.

එසේම අද වන විට වියට්නාමය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම කෘෂිකර්මාන්තය සැලකිය යුතු කාර්යයභාරයක් සිදු කරන බව ප්‍රකාශ කළ තානාපතිවරිය ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවත් වියට්නාමයේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය අවශ්‍ය බව තානාපතිවරිය ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ආශ්‍රිත උපදේශන සහය ඔවුන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී. එසේම වියට්නාමය අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් සිදු කරන පළතුරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික සහය උපදේශන සහය දෙරට අතර හුවමාරු කර ගැනීමට ද එකඟතාවය පළ කරන ලදී.

තවද වසර 10 කට ආසන්න කාලසීමාවක් තුළ වියට්නාමය විදේශ වෙළඳපොළ සඳහා අවශ්‍ය පලතුරු අපනයනය සඳහා යොමු වූ බවත් තරඟකාරීත්වයක් නොමැතිව දෙරට අතර පවත්නා බෝග අපනයන සඳහා හොඳ විදෙස් වෙළඳපොළක් වෙනුවෙන් අවශ්‍ය කෘෂි නිෂ්පාදන සංවර්ධනය සඳහා අවශ්‍ය සහය හුවමාරු කර ගැනීම කෙරෙහි තානාපතිවරිය එකඟතාවය පළ කරන ලදී. එසේම දෙරට අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙන්ම පසු අස්වනු තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.

එසේම ශ්‍රී ලංකික අවශ්‍යතාවය අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වියට්නාමය ආයෝජනය කිරීමට සූදානම් බවත් ලාංකික අවශ්‍යතාවය සඳහා වන බෝග සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ඔවුන් සූදානම් බවත් මෙහිදී තානාපතිවරිය ප්‍රකාශ කරන ලදී. වියට්නාම වැසියන් විශාල පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාවේ ජීවත්වන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ යම් යම් ක්ෂේත්‍රවලින් ශ්‍රි ලංකාවට අවශ්‍ය  සහය ලබා දීමට සූදානම් බවත් තානාපතිවරිය ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා මෙහිදී මෙම සියලු යෝජනාවන්, දැනුම හුවමාරු කර ගැනීම සඳහා බාධාවක් නොමැති බවත් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රය, සෘජු ගුවන් ගමන් වර්ධනය කිරීම, කෘෂි ක්ෂේත්‍රයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම, කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම සඳහා ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කරමින් තානාපතිවරියට අමාත්‍යාංශයට පැමිණීම පිළිබඳව විශේෂ සුතූතියක් පළ කරන ලදී.