කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි වියට්නාම් ජාතික සභාවේ උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසුණහ.
මාර්තු 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක් 2025.03.20 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
1970 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාව හා වියට්නාමය ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන එකිනෙකාගේ කැපවීම දෙපාර්ශ්වය විසින් මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ වටිනාකම් මත පදනම් වූ දිගුකාලීන සහ සමීප සම්බන්ධතාවයක් පවතින බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වියට්නාමයේ නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපතිවරයා කළ ආරාධනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඇති බවත් එම නිල සංචාරය 2025 මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේ ය.
සංවර්ධන අංශයෙන් වියට්නාමය ලබා ඇති ජයග්‍රහණ ගරු කථානායක වික්‍රමරත්න මහතාගේ ඇගයීමට ලක්වූ අතර, වියට්නාමය සමඟ වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකික ආයෝජකයින් දැනටමත් වියට්නාමයේ ඇමරිකානු ඩොලර් මිලියන 45 කට ආසන්න ආයෝජන සිදුකර ඇති බවත්, එමඟින් රැකියා 15,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය. වියට්නාම ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආහාර සැකසීම, කෘෂිකර්මාන්තය සඳහා ශීතාගාර ස්ථාපිත කිරීම සහ කෘෂි තාක්ෂණය යන ක්ෂේත්රවල ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස කථානායකවරයා මෙහිදී ආරාධනා කළේය. එමෙන්ම මෙරට දැරිය හැකි මිලකට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ලබා ගැනීම සඳහා අවස්ථා වැඩිදියුණු කිරීම සහ ඒ ආශ්රිත කුසලතා සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මගින් කුඩා පරිමාණයේ ගොවීන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා දෙරට අතර සහයෝගීතාව වැඩිකිරීමට මැදිහත් වන ලෙසද කථානායකවරයා ඉල්ලීමක් කළේය.
මෙහිදී අදහස් පළකළ වියට්නාම් ජාතික සභාවේ සභාපති (නියෝජ්‍ය කථානායක) ගරු නුයෙන් ඩක් හායි මහතා, ශ්‍රී ලංකාව මෑත කාලීනව ළගා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වියට්නාමය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළ ඒ මහතා වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ස්ථාපනය කිරීම සඳහා වියට්නාමය අපේක්ෂා කරන බවද වියට්නාම් ජාතික සභාවේ සභාපතිවරයා පැවසීය.
අවබෝධතා ගිවිසුමක් (MOU) හරහා දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ දෙපාර්ශ්වයේම එකඟතාවය මෙහිදී පළ කෙරිණි. ඩිජිටල්කරණය හරහා පාර්ලිමේන්තු ක්රියාදාමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් පළවිය.
දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ද හමුවූහ. ද්වීපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ කැපවීම නැවත අවධාරණය කළේ ය. එමෙන්ම දෙරට අතර දේශපාලන සබඳතා වැඩි දියුණු කිරීමට, ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට සහ නිදහස් වීසා ක්‍රියාවලියක් සහ සෘජු ගුවන් ගමන් හඳුන්වාදීම පිළිබඳව අවධානය යොමු කිරීමට ද දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කෙරුණි. ඒ සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.