ජගත් ගේ සතියේ සටහන - 80
ඒකාබද්ධ විපක්ෂයක්
නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංගයක්ය
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විපක්ෂය නොතකා හරිමින්, විපක්ෂයේ මන්ත්‍රීන්ගේ කට වැසීමට කටයුතු කරන බැවින් එයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්වී පසුගිය සතියේ තීරණය කොට තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්වී මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එයට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් අප සමඟ ප්‍රකාශ කළා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැමදාම පාර්ලිමේන්තු සභා ශාලාව තුළ සිටීම අවශ්‍යය යි. දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාව තුළ රැඳී සිටීම අඩුවෙලා. සමහර වෙලාවට 100 කටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. අපි හැමෝම එක්ව සිටියොත් විපක්ෂයට ලොකු හඬක් නඟන්න පුළුවන් යැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවා.
''ආණ්ඩුව වැඩ කරන්නේ විපක්ෂයක් නැති ගාණට. අපි හැමෝම එකතුවෙලා එකට වැඩ කරන්න ඕනැ. ආණ්ඩුවට එරෙහිව අපි හැමදෙනා ම එක මතයක සිටිමු" යැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාව පැමිණ සිටි හැමදෙනා ම අනුමත කළා.
මෙහිදී පක්ෂ නායකයින් ඇති කරගත් එකඟතා අතර ප්‍රමුඛත්වය ලැබුණේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට යි.
''පාස්ක්‍ර ප්‍රහාරය ගැන ආණ්ඩුව දිගින් දිගට ම විපක්ෂයට චෝදනා කරන නමුත් නැගෙනහිර පළාතේ වව්නතිව්වල බෝම්බේ පුපුරණ විට නැගෙනහිර ආඥාපති හැටියට හිටියෙ අරුන ජයසේකර යි. මේ ගැන පත්කළ කොමිෂන් සභාවල වාර්තාවලත් ඔහුගේ නම සඳහන් වෙනවා. ඔහු දැන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති. මෙහෙම වෙන කොට පරීක්ෂණ හරියට කරන්න බැහැ. අපි ඔහුව එම තනතුරෙන් ඉවත් කරන්න කියන්නේ ඒ නිසා යැ යි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියා.
ඒ අනුව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය වූ විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් ගේ අත්සන් ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කොට තිබෙනවා. එම විශ්වාස භංග යෝජනාව මේ සතියේ කතානායකවරයාට බාර දෙන බව ද මන්ත්‍රීවරයෙක් අප සමඟ පැවසුවා.
මෙහිදී සාකච්ඡා වූ තවත් ප්‍රධාන මාතෘකාවක් වුණේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ දී විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් නොසලකා කටයුතු කිරීම යි. මේ ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයට දන්වා යැවීමට ද තීරණය කෙරුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, ආණ්ඩුව ඉකුත් මැතිවරණ සමය පුරා ම නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ප්‍රකාශ කළ නමුත් මේ වන විට එය අමතක කර ඇතැ යි මෙහිදී ප්‍රකාශ කළා. එබැවින් ආණ්ඩුවට එම පොරොන්දුව මතක් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට යෝජනාවක් ගෙන ඒමට කරුණාතිලක මහතා කළ ප්‍රකාශයට රැස්වීමේ සිටි සියලුම පක්ෂ නායකයින් අනුමැතිය පළ කළා.
සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, අජිත් පී.පෙරේරා, ජේ. සී. අලවතුවල, දයාසිරිජයසේකර, ඩී. වී. චානක, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, කාදර් මස්තාන්, එම්. එ. එම්. තාහීර්, වෛද්‍ය පී. සත්‍යලිංගම්, රාමනාදන් අර්චුනා හා රවි කරුණානායක යන මහත්වරුන් ද සහභාගි වී සිටියා.
මේ අතර ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ සිට පසුගිය මැතිවරණ වලදී එම පක්ෂයෙන් ඉවත්ව ගිය මැති ඇමතිවරුන් පිරිසක් යළිත් පොදුජන පෙරමුණට එකතු වීමට සූදානමින් සිටින අතර ඔවුන් මසකට වරක් හමුවී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කරන බව වාර්තා වෙනවා.
හිටපු මන්ත්‍රී මධුර විතානගේ මහතා නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවලට මෙයට පෙර පාඨලී චම්පික රණවක, ජී. එල්. පීරිස් හා ටිරාන් අලස් හා විපක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් ද පැමිණ තිබූ බව දැනගන්නට තිබෙනවා.
මේ අතර මෙම සාකච්ඡාවට පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද රමේෂ් පතිරණ මහතා ගේ යෝජනාවකට අනුව එක්වූ බව වාර්තා වෙනවා.
එහෙත් නාමල් රාජපක්ෂ මහතා පැමිණි රැස්වීමට සහභාගි වී ඇත්තේ හිටපු මැති ඇමතිවරුන් දස දෙනකු පමණ බවයි වාර්තා වෙන්නේ. පවිත්‍රා වන්නිආරච්චි, සම්පත් අතුකෝරළ, අජිත් රාජපක්ෂ, අනූප පැස්කුවල්, රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනූද්ධ, ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ප්‍රේමනාත් සී. දොළවත්ත, ජගත් සමරවික්‍රම හා චින්තක මායාදුන්නේ යන අය මෙයට සහභාගි වී තිබෙනවා.
ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන්ගේ මතය වී ඇත්තේ අනාගතයේ මතුවන දේශපාලන ව්‍යාපාර දෙස බලා තීන්දුවක් ගන්නා බව යි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ නාමල් රාජපක්ෂ මහතා, ''එළඹෙන දේශපාලන තත්වය මොනවගේ වෙයි ද කියල දැන් ම කියන්න බැහැ. මම පොදුජන පෙරමුණට දිගටම නායකත්වය දෙනවා" යැයි පවසා තිබෙනවා.
තනි පක්ෂයක් ලෙස මෙම අර්බුදවලට මුහුණ දෙන්න නොහැකි බැවින් පක්ෂ භේදයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ඇති කරන්න වෙනවා යැ යි මෙයට සහභාගි වූ සැම දෙනාගේ අදහස වී තිබුණා.
විශ්‍රාමික මන්ත්‍රීවරුන් ගේ දැවැන්ත සටනක් මේ සතියේ පටන්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මේ සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ එකමුතුව පවසනවා.
මෙම එකමුතුව විසින් මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමයට ද පැමිණිලි කොට තිබෙනවා.
මේ අතර මන්ත්‍රී වැටුප අහෝසිකරනු ලැබුව හොත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යන බව හිටපු මන්ත්‍රීවරයකු වන ප්‍රේමසිරි මානගේ මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අතීතයට බලපාන අයුරින් නීති පැනවිය නොහැකි බැවින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව ද ඔහු පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නන්දන ගුණතිලක මහතා පැවසුවේ තමා රජයේ රැකියාවකින් ඉවත් වී දේශපාලනයට පැමිණි බැවින් වෙනත් ආදායම් මාර්ග තමාට නොමැති බවයි. තමා ජීවත් වෙන්නේ විශ්‍රාම වැටුපෙන් බව පවසන ඔහු එය නැති කිරීමට කටයුතු කළොත් මරාගෙන මැරෙන්න වුවත් තමා සූදානම් යැ යි පවසා තිබුණා.
මේ අතර දැනට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 500 ක් පමණ සිටින බව ද වාර්තා වෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
සමන් රත්නප්‍රිය ගේ කට වහලා
?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාට මාධ්‍ය සාකච්ඡා හා රූපවාහිනී වැඩ සටහන් වලට සහභාගි වීම නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තහනම් කොට ඇති බව වාර්තා වෙනවා.
මෙයට හේතු වී ඇත්තේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී පුත්තලම ප්‍රදේශයේ ඉඩම් ඉන්දියාවට දීමට යන බවට ඔහු කළ කතාව බවයි දැන ගන්නට තිබෙන්නේ. ඔහු මේ මාධ්‍ය හමුවේදී ඉන්දියාව දැඩි ලෙස විවේචනය කොට තිබුණා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ඡා මහතා මේ පිඝළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වෙත කණස්සල්ල පළකොට තිබුණා. අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍යහමු සහ රූපවාහිනී සාකච්ඡාවලට නොයන ලෙසට වික්‍රමසිංහ මහතා ඔහුට දන්වා තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය ද මාධ්‍යහමු ැවැත්වීම තාවකාලිකව නතර කොට තිබෙනවා. සැප්තැම්බර් 6 වැනි දා පැවැත්වෙන පක්ෂ සංවත්සර උත්සවයෙන් පසු යළිත් මාධ්‍යහමු පවත්වන බව සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කළා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
පලස්තීනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය
පලස්තීන ජනතාවට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හා මානව විරෝධී ක්‍රියාවන්ට විරෝධය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ පක්ෂ එක්වී ''පලස්තීනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය" නමින් නව සංවිධානයක් පසුගියදා පිහිටුවා ගනු ලැබුවා.
බොරැල්ලේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති මෙම සවිධානය පිහිටුවා ගැනීමේ මූලික සාකචඡාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, බහුජන නිදහස් ව්‍යාපාරය, නව ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් එක්ව සිටි බව ද වාර්තා වෙනවා.
මෙම සංවිධානයේ සභපති මණ්ඩලය ලෙස ඩීව් ගුණසේකර, වජිර අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, තිලංග සුමතිපාල, මුජිබර් රහුමාන්, ඔමාර් කාමිල්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන අය පත් වී ඇති අතර විනෝද් මුණසිංහ මහතා එහි කැඳවුම්කරු ලෙස පත් කොට තිබෙනවා.