දස දහස ගණනින් මල් පිබිදේවා...............!!!
උදේ පාන්දරම හීංවට මීදුමක් පායලා.
තාත්තා ඒ දවස්වල කී දේවල් මතක් වෙනවා. වැහි ලේනුන් අහසේ පියාඹන්න ගත්තම,
මෙරුවෝ ගුල් වලින් එළියට එන්න ගත්තම වැහිපල ලැබෙනව කියලා.
ඒ කියන්නේ වැස්ස වහිනවා.
ඒ වගේම වැහැලා අහවරේ මීදුම බෑවම පායනව කියලා. උන්දැලෑ කාලගුණ අනාවැකි කීවේ එදා එහෙමයි.
අද උදේ දියවන්නා කුඹුරු යායට ඉහත්තාවේ පුංචි ගස් මණ්ඩිය පේන්නේ දියසායම් සිතුවමක අතරින් පතර පේන් රූප වගේ.
අම්මා නිවෙන්න බත්වට්ටියට දාද්දී ඉහළ යන දුමාරය වගේ ගේ ඉස්සරහ මීදුම මට පේන්නේ. ඒ කියන්න වැහලා පායනවා. එහෙම උනාම ගහ කොළ අලුතින් ලියලාවි. පණ ගහල නැගිටීවී. ගොවියෝ බෝග පොළොවට යට කරාවි. පොළෝ මහීකත තමන්ගේ ආදරයේ උණුහුමත් හංගා ඉන්නා පසේ සාරයත් එකතු කරල ඒ බීජ උඩට එවාවි දෙපියල් කරළා. එදිනෙදා කරන වැඩට මිනිස්සු යාවී බඩ වියත රැක ගන්න. නවත්වපු වැඩ පටන් ගනීවී. වැස්ස කියල, වතුර ගැලුව වෙලේ උඩ ගෙවල්වලට ඇද්ද බඩුමුට්ටු ආයෙත් අදීවි.
ජීවිතය අලුත් වේවි.
සුන්දර ද ජීවිතේ මෙතරම් කියා හිතේවි හිතන දේවල් ටිකක් හරි හරියද්දී.
අපි ඒ බලාපොරොත්තු සහගත දෑසින් ඉන්නවා මේ අලුත් ආණ්ඩුව දිහාත් බලාගෙන.
ඊයේ ජනාධිපතිවරයාගේ කතාවෙන් ඒ වෙද්දී විසිරී යමින් තිබු සිතුම් ආයෙත් එකතු කරන් ඉන්න බවක් පේනවා මේ අහිංසක ජනතාව.
වැස්සෙන් පස්සේ පරිසරය ගහකොළ සතාසිපාවා හා මිනිසුන් අලුත් වෙනවා වගේ දැන් සමහර රාජ්‍යාතනවලත් පුංචි පිබිදීමක් තියෙනවා. විශේෂයෙන්ම පොලිස් මහත්වරු වෙනදාට වඩා සැහැල්ලුවෙන් රාජකාරි කරන බවක් පේනවා. එතකොට අපිට හිතන්න පුළුවන් ඔවුන්ට ඉස්සර පාලකයෝ කොච්චරනම් පීඩනයක් දුන්නද කියලා. ඔවුන් රාජකාරි කළේ ඇතිතරම් නිලධාරීන් නැතුව.ඇයි ඔක්කොම ප්‍රභූ සේවයේ. අහන්න එපා කව්ද ඔය ප්‍රභූන් කියලා.ජනාධිපතිටම 1200ක්ලු. කාගෙන් මොන තර්ජනේටද කියලත් අහන්නෙපා. එතකොට ඔය ප්‍රභූන් කියූ මැති ඇමතිලාට. එතකොට ජනතාව රකින්න පොලීසියක් ඉතුරු වෙයිද?
ඒ වගේ දැන් දැන් තැන් තැන්වල පුංච් පුංචි වෙනස්කම් මහා පරිමාණයෙන් වෙනස් වේවි.
මේ ආණ්ඩුව තමන්ගේ රජයෙන් ඒ වෙනසට පාර කපා ඒ සේවාවන්ට යුක්තියේ හා සාධාරණත්වයේ මානසික මුහුණුවර මුලින්ම දුන්නම නීතිය, නීතියක් ලෙස ක්‍රියාත්මක කළොත් වැස්සෙන් පස්සේ පරිසරය වෙනස් වෙන්නාක් වගේ අපිට හීන වෙච්චි දේවල් යථාර්ථයක් වේවි. ඒ අතරේ අපිට ඊයේ පාර්ලිමේන්තුවට අලුතින් ආ දොස්තර මහතෙක් කියන කෙනා වගේ ගංකබර කතා හා ක්‍රියා තවදුරටත් තවත් කෙනෙකුගෙන් අසන්නට හෝ දකින්නටත් නොලැබේවා.
දහසක් මල් පිබිදෙන්නට බලා ඉන්නා ගහකොළ මලින් ඵලින් බරවේවා!
අපි අපි කවුරුත් යහපත් බලාපොරොත්තුවේ පැතුම් සඵල කරගන්නට දායක වෙමු.

විඩාබර නෙත් ගත් සැනහෙන ආදරණීය දොහක් !!!.
චම්මින්ද වෙලගෙදර .
22-11-2024.
