තුන් ලොවම බොදු බැතින් සැනහිලා නිවේවා....
වෙසක් සඳ දිලෙනවා නුබ
ගැබ ම එළිය කර
සොමි කැලුම් පෙරෙනවා
සිත් සතන් එකලු කර
බුදු බණත් ඇහෙනවා
සිතම පිළිසකර කර
බොදු බැතිය වැඩෙනවා
සසර මඟ එතෙර කර
ලෝ සතගෙ සිත් සතන්
බොදු ගුණෙන් නිවේවා
මෙත් ගුණෙන් සැනහිලා
සිත සතුට රැඳේවා
සසර මඟ නැවතුමට නිති
වෙරම යෙදේවා
තුන් ලොවම බොදු බැතින්
සැනහිලා නිවේවා
- ✍️ සුමුදු චතුරාණී ජයවර්ධන -

දහමට දේවිද අගයක්
පසු විය වසන්තය නොම විය එහි එළියක්
අවුරුදු සැමරුමට විය ලොකු කලබලයක්
වෙසඟෙහි පොහොය එයි සැමටම ගෙන සතුටක්
බුදු හිමි දෙසූ දහමට දේවිද අගයක්
පන්සල් ගොසින් දල්වා යන්තම් පහනක්
සන්සුන් නැතත් සිත පුදලා මල් අහුරක්
දන්සැල් පෝලිමට එක් වී පැය ගණනක්
යන්තම් ගත කරති පෝදිනයේ වරුවක්

ඉඳිකර තිබේ අසුවල් හන්දියෙ තොරණක්
මහකපි ජාතකය එහි උස අඩි පණහක්
සවසට යා යුතුය නොගියොත් නැහැ සතුටක්
නිවසට එන්නෙ නැවතත් එන විට අරුණක්
බුදු හිමි තෙමඟුලයි සමරනුයේ වෙසඟක්
දහමට යොමුව කල් ගත කළ යුතු දවසක්
එදිනද කළොත් ඉඳුරන් පිනවුම පමණක්
හැකි වෙද ජය ගන්න නොදනිමි රුදු සසරක්

- කමලා ලියනගේ -
ඉපැදීම සැපයක් දැ
කොච්චර සැපක්දැයි
හිතුවොත් ඉපදීම ...
විස්තර කරනවා
දියුණුව සැනසීම ...
මත්කර හැඟුම්
අස්කර යළි පිරවීම ...
හිස්කර දෙනෙත්
බැලුවොත් වෙයි සැනසීම ...
වැසි වසිනවා
ආයෙත් එයි පෑවිල්ල ...
රිසි ලෙස සිතක් නෑ
අනියත පේවිල්ල ...
නිසි කල මාරසෙන්
සසරක හෑවිල්ල ...
සිසිවන වුවන වුව
පොළොවට දූවිල්ල ... 
අත් කරගත්තු අය මිණි මුතු රං දෝලා ...
සිත් සතුටින් ද මැවුණොත් සිතුමිණි මාලා...
වත් කම් ඔළොඟු අම්බලමක රජ වීලා ...
මරු ආ දිනේ නොවුණේ කවුරුද හීලෑ ...
ලොව අටලෝ දහම දහමකි මහ මායා ...
සොව සොයනා එකයි දෙව්ලොව මග සේයා ...
පොවමින් මිරිඟුදිය දේදුන්නක පායා ...
නැවතුන කෙනෙක් වෙද දැක නිවනක ඡායා ...

...ශ්රිමතී වල්පොල...
විවරණ ගත් තැන් පටන්
දීපංකර බුදුන් ගෙන් විවරණ ගත්තූ
දසමරු
බලබිඳ තුන්ලොව ජය ගත්තූ
හිමිදෙසු දහම්මග හරිහැටි දැනගත්තූ
භවදුක නසා නිවනට යයි බැතිමත්තූ...
- මධුෂිකා -
අන්න වෙසක් සඳ පායලා
මුළු ලෝ තලය ම එළියවෙලා
හිමි දෙසු සදහම් සිහි කරලා
නමදිමු පා යුග සිරස නමා
සිලිසිලි බෝ පත් සහින් ස්වයෙන්
මුදු මදනල හා එකතු වෙමින්
බැති ගී ගයනා අයුරු බලන්
බුදුහිමි ගුණකඳ සිහි කරමින්

- සුදර්ශනී අමුගොඩ -
සරා සඳක් පායා
ලෝසතහට සෙත සලසා දෙන්න සිතා... 
සුද්ධෝදන මායාවගේ වූයේ පුතා...
ලුම්බිණියේ සල් උයනේ ලද උපතා...
සත් පියුමක පෑ අසිරිය කළ මවිතා...
රජ මැදුරේ සුර සැප විඳ විඳ හැදුණා...
ජීවිතයේ කිසි අඩුවක් නොම දැනුණා...
යශෝදරාවගේ දෑගිලි හා බැඳුණා...
රාහුලයන් මේ ලෝකෙට බිහි කෙරුණා...
චන්න ඇමති කන්තක අසු හා එක් වී ...
නේරන්ජන ගංගාවෙන් එතෙරට වී...
කසී සලු උණා යස හිස කෙස් මුඩුවී ...
සිදුහත් කුමරු සෙත් පැතුවා බෝසත් වී...
වෙසක් මසේ පුරපසළොස් පෝය සඳේ...
බුදු සමිඳුගේ තෙමගුල් සිරි දසත ඇඳේ...
මුළු ලෝ වටා හේවිසියෙන් ගහන පදේ...
සැම සිත් තුළ බුදුගුණ ගීතිකා රැඳේ..
සරා සඳක් පායාවිත්
අහස් කුසෙන් එබී බලන්නේ...
බුදු සිරිතේ අසිරිය පා
සිල් ඇත්තෝ දනට වඩින්නේ...
බෝසත් ගුණ ගැන වරුණා
සතර අතින් නිතර ඇසෙන්නේ...
වෙසක් මසේ සැම එක්වී
බොදු බැතිබර ගීත ගයන්නේ...
- ඇන්ජලා පැල්පොළ -
පර වුණු මලෙහි තිබුණු උණුසුම් කඳුළ
මුවරද සිඳී සුවඳක් නැති පෙරසේ 
පෙති මුදු නොවේ ගොරහැඩි පොතු විලසේ
මනහර පැහැය සේදී ඇත සිතුසේ
ගිලිහී වැටුණු මලකට කිම පෙම මෙලෙසේ
මුස්නෙහි එතී පරමල ඈතක රැඳුණා
දෙනෝදහක් පා සිඹ පොඩි වී රිදුණා
දෝතට ගෙන ආදරයෙන් පිරිමැදුණා
පරවූ මලෙත් උණුසුම් කඳුළක් තිබුණා
- නිලන්ති ෆ්රනාන්දු -
