උණුසුම් පුවත්කාලීන

වෙසක් සැරසිලි නිර්මාණකරුවන්ගේ දුක් වේදනා අසනු පාලකයිනි

 

මේ වෙසක් මාසය යි.  වෙසක්මි පෝයට ඇත්තේ තවත් දින කිහිපයකි. ආමිස පූජා පැවැත්වීමට සෑම  බෞද්ධ නිවසකම  මැටි පහනක් හෝ වෙසක්  කූඩුවක් හෝ දැල්වීමට අමතක  නොකරති. එදා  නම්  ඒ සඳහා රබර් වතු ගානේ  ගොස් ඔට්ටපාලු ගලවාගෙන එයින්  බට පතුරු  ගැට ගසා, හෝ වල්බෙලි පට්ටා වියලා හෝ වෙසක් කූඩු බැඳීමට කාටත් පාහේ නිදහස තිබිණ. අද  එසේ වෙසක් කූඩු බැඳ ගැනීමට වේලාවක් නැති  බොහෝ දෙනා වෙසක්  භාණ්ඩ මිළට ගන්නේ වෙළඳ  පොළෙනි.

විවෘත ආර්ථිකයට පින් සිද්ද වෙන්නට අපේ මිනිසුන් ගේ වෙසක් භාණ්ඩ වෙනුවට පොදු මහජනයාට ගන්නට වෙළඳ පොළේ චීන හෝ ජපන් හෝ වෙනත් රටක නිශ්පාදිත වෙසක් පහන් රට පුරා ගම් නියම්ගම් හි සුලබව දක්නට හැකි විය. අතේ ඇති අන්තිම රුපියල පවා අපෙන් උදුරා ගන්නට පිටරට නිශ්පාදකයිනට අවස්ථාව සලසන්නට මෝඩ පාලකයින් හා ඔවුන් ගේ ගජමිතුරු ඊනියා ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කළේ සියරට දේ සිරි සැප දේ යන කියමන බැහැර කරමින් පිටරට දේ වටිනා දේ කයන්න ආදේශ කරගෙන ය.

කොහොම වුණත් ඒ විදෙස් නිශ්පාන වෙසක් සැරසිලි කොතරම් වෙළඳ පොළේ තිබුණත් අපේ දේශීය නිශ්පාදකයින්  කෙතරම් අමාරු වූවත් අසීරු වූවත් 'සියරට දේ සිරි සැප දේ' යන්න හිත්වල රඳවා ගෙන අද ද තමන් පරම්පරා ගාණක් පුරා හුරු පුරුදුව හුන් සිල්පයේ නිරත වෙන හැටියට ඔවුන්ට ජාතියේ උත්තමාචාරය පිරි නැමිය යුතු බව හෙළදිව තරයේ දරන විශ්වාස යයි. මතය යි.

මේ එවන් ශිල්පියකු හා කතා බහේ නිරත වූ අපේ නියෝජිතය රැස් කර ගත් තොරතුරකි.

           එසේ වෙළඳ පොළ සඳහා වෙසක් භාණ්ඩ නිපදවන අයෙකු මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේනමුල්ල ගම්මානයේ  දී අපට  හමු විය. ඔහු වේනමුල්ල පදිංචි එච්.ඩබ්ලිව්. රනිල් මහතා ය.(වයස  අවු.36.) මේ ඔහු අප හා කී කතාවයි.

           අපි පරම්පරාවෙන් ම වෙසක් භාණ්ඩ නිශ්පාදනය කරනවා. මගේ තාත්තාත් මේ කර්මාන්තය  කළා. එදා අපි බකට් එකක් රුපියලකටයි වික්කේ. අද  ඒ බකට් එකක් දෙන්න  වෙලා තියෙන්නේ රුපියල් පහළොව කට.ඒත් තොග මිල.ඒ නිසා  බෞද්ධයෙකුට  උනත් සතුටෙන් බකට් එකක්  මිලට  ගෙන පත්තු කරන්න බැරි  තත්වයක් අද ඇති  වෙලා  තියෙනවා. අපි වෙසක් කූඩු, බකට් ආදී සියලුම  වෙසක් භාණ්ඩ නිශ්පාදනය කරනවා. යාපනය  ඇරෙන්න  සියලුම  පළාත්  වලට  අපේ  වෙසක් භාණ්ඩ  ගෙනියනවා.

        අපි වෙසක් කූඩු  සඳහා උණ පතුරු බට පාවිච්චි  කරන්නේ  නෑ. කාඩ් බෝඩ් වලින්  තමයි  සියලුම  නිර්මාණ  කරන්නේ .අපිටම හැදුන වෙළද පොළකුත්  තියෙනවා. ඒ නිසා  අලෙවි  කිරීමේ ගැටලුව ක් නෑ.අපි මේක  කරන්නේ ලාභය ම අරමුණු කරගෙන  නොවෙයි .බෞද්ධයන් හැටියට සමාජයට  වෙන්න ඕන  යුතුකමක්  ලෙස සලකලයි.කඩදාසි  මිළත් එක්ක ලොකු  ලාභයක්  ගන්න  බෑ මේ වගේ නිර්මාණ කරල.මා යටතේ  කීප දෙනෙක්  වැඩ කරනවා.තවත් මේ අවට  පවුල්  විස්සක  පමණ  පිරිසක්  මේ වැඩ වලට  හවුල්  කරගෙන  තියෙනවා .ඔවුන්ට ත් අපිට  හැකි  අයුරින්  ගෙවීම්   කරනවා .

          අනෙක්  කාල වලදී ගිණුම්  පොත් මුද්‍රණ  කටයුතු  තමයි අපි කරන්නේ .වෙසක්  සමයෙදි තමයි  මෙහෙම වෙසක් භාණ්ඩ නිශ්පාදනය කරන්නේ. ඒත්  මේ වෙසක්  සමය අවසන්  වුණ  දිනේ ඉඳලා ම අපි ඊළඟ  වෙසක්  උත්සවය ට සූදානම්  වෙනවා .

       ඒ දවස්වල රුපියල්  තුන් දාහකට ගත්ත කාඩ් බෝඩ් බණ්ඩලය දැන්  රුපියල්  හත් දාහක් වෙනවා. ඒ නිසා  ඒ මිලට කඩදාසි අරගෙන වෙසක් භාණ්ඩ නිශ්පාදනය කරල ලාභයක් ගන්න හරි අමාරුයි .නිශ්පාදන  වියදම්  වලට වඩා ප්‍රවාහන  වියදම්  වැඩ්යි. කොහොම වුණත් බෞද්ධ ජනතාව ගේ ඉල්ලුම තියෙන කම් අපි මේ වෙසක් භාණ්ඩ  හදනවා. ඒ තමන්ට ම වෙසක්  කූඩුවක්  නිර්මාණය  කර ගන්න  බැරි පිරිස වෙනුවෙන්.

රට පවතින්නේ උග්‍ර ආර්ථික අරුබුදයක ය. ඉතින් මෙවන් තත්ත්වයක් පවතිද්දී දේශීය නිර්මාණකරුවන්, ශිල්පීන් ට අතහිත දී ඔවුන් දිරිමත් කරන්නට පාලකයන් පසුබට වන්නේ නම් ඒ උදවිය හෙට දවසේ කොහොම වුණත් අද දවසේ පණනළ ගැට ගහගන්නේ කෙසේ ද?

දේශීය නිර්මාණ කරුවන් නිශ්පාදකයින්, සුළු කර්මාන්තකරුවන් කුඩා ව්‍යාපාරිකයින් බැහැර කර අපට හිස ඒසවිය හැකි යැයි හිතනවා නම් අප හැමදාමත් අතපත ගාන්නේ අඳුරු අගාධයක පත්ලයි.

මන්ද යත් මිනිස් සමාජය ම සමස්තයක් ලෙස ම එක ම දම්වැලක පුරුක් සේ එකට බැඳී ගැටගැසී ඇති හේතුවෙනි.

ජීවිත් වීමට කිසිම හවුහරණක් නැති මේ දක්ෂකම්වලින් පිරිච්ච මිනිසුන් සතුව ඇත්තේ ඔවුන් ගේ නිර්මාණ කුසලතා පමණකි. ඉදින් ඔවුන් කෙරෙහි පාලකයන් වඩාත් තැකීමක් නොකරන්නේ නං මෙවන් ශිල්පීන් තව දුරටත් රටට දායාද නොවනා බව ඉතා පැහැදිලි ය. රුපියල් කෝටි ගණනේ මහා ධනස්කන්ධ කිසිදු ප්‍රතිඵලයක් නොදෙන ඊනියා ව්‍යාපතිවලට යටකර මහජන මුදල් නැති නාස්ති කරන්නට පමණක් ද පාලකයන් රටකට, දේශයකට ඇවැසි වන්නේ කියන ප්‍රශ්නය අපට හැමදා ඉතිරි වනු ඇති. මොවුනට ඇවැසි පහසුකම් හෙවත් අමුද්‍රව්‍ය පහසු මිලකට උපයා සපයා දෙන්නේ නම් ඔවුන් ද රැකෙනු ඇති. 

-  ලාල් ගොඩගේ  -