උණුසුම් පුවත්කාලීන

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකුට පත් වීම්

ජනපති රනිල්ගෙන් සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය

"විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50 ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා"

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කී ය.

ඒ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු පත් වීම් ප්‍රදානය කිරීම  හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453 කට  ගුරු පත්වීම් ප්‍රදානය සිදු කරමිනි.

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලු දෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී අවධාරණය කළේ ය.

මේ පත්වීම් ප්‍රදානය අරලියගහ මන්දිරයේදී අද (03) පැවති යේ ය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේ ය.

රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි.  එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත්  ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.

ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.

අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.

පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා, බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ  එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.

අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.

දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද  කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.

ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා.  ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.

ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.

ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා.  අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.

අධ්‍යාපනය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා

මේ ආකාරයට ගුරු පත්වීම් ලබාදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ආර්ථිකය අර්බුදයක්  පවතින අවස්ථාවක  වුවත් මෙම ගුරු පත්වීම් ලබාදීමේ අභියෝගය අප භාරගත්තා. අද  2000කට ආසන්න ප්‍රමාණයකට ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයන් රට මුදවා ගෙන ආර්ථික ස්ථාවරයක් ඇතිකර මෙවැනි පත්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ අද වන විට සාර්ථක වී තිබෙනවා. රට බංකොලොත් වී තිබූ මොහොතක වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස මුදල් වෙන් කිරීම නිසා ඔබට පත්වීම් ලබා දීමට හැකි වුණා . නමුත් මේ පත්වීම අරගෙන වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු වී දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා. ඔබ උපාධිධාරීයකු ලෙස අධ්‍යාපන ගමනක් ගියේ ඔබට ගුරුවරුන් ලබාදුන් අධ්‍යාපනය නිසයි. නමුත් ඔබ දරුවන්ට අධ්‍යාපනය නොදී වෘත්තිය ක්‍රියා මාර්ගවලට ගියොත් අඳුරු වන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.

අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එදා සිටි  ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීම තුළින්. ඒවා ආදර්ශයට ගනියි කියා මා විශ්වාසස කරනවා .

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ශක්තියක් ඇතිකිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතායි. විද්‍යා පීඨ බිහිකළෙත් වතමන් ජනාධිපතිවරයා යි. එයින් වසරකට පන්දහසක් පමණ ගුරුවරුන් බිහිවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ කෙනෙක් අද  ජනාධිපතිවරයා වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාසනාවක්. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියෙකුට කිසි කෙනෙකුට අත නොපා රැකියා අවස්ථා ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. ඉදිරියේදී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් රැකියාවන්ට ගැලපෙන උපාධිධාරීන් බිහි කිරීමට කටයුතු කරනවා.  මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකියි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර්  යන මහත්වරුන් ද  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.