උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම – කැම්බල් පිටියේ දී

වැඩ කරන ජනතාව දිනූ අයිතිවාසිකම් රැකගනිමින් අලුත් අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීම ට අප බැඳී සිටිනවා.

ලෝකයම අද දිනය සමරන්නේ වැඩ කරන ජනතාවගේ උතුම් දිනය හැටියටයි.

ශ්‍රී ලංකාවේද වැඩ කරන ජනතා ව්‍යාපාරය උතුම් දිනයට පැමිණෙන විට කලින් සඳහන් කළා වගේම සියලු දෙනාට  මතකයි කොයි තරම් දුෂ්කර කාල පරිච්ඡේද අපේ වෘත්තිය සමිති ව්‍යාපාර, අපේ වැඩ කරන ජනතා ව්‍යාපාරයේ අනුගමනය කරලා තිබෙනවාද කියලා.

මෙවන් ශක්තිමත් අවස්ථාවකට රට ගේන්න සමාජයේ වෘත්තීය සමිති අමතක කරන්නට බැරි, වැඩ කරන ජනතාව අමතක කරන්නට බැරි, ශක්තිමත් ක්‍රියාවලියක් වැඩ කරන ජනතාව ඉෂ්ට කරනවා.

ඒ ශක්තිය, ඒ බලවේග තම අයිතිවාසිකම් දිනාගනිමින් ඒ ශක්තිය දායාද කරන්නට සංවිධානාත්මකව එක්ව සිටිනවා.

ඒ තනි තනිව නෙවෙයි. වෘත්තිය සමිති ව්‍යාපාරය හැටියට ඉතාම දැඩිව අනාගතයට තිබෙන විශ්වාසය මතයි.

අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අද දින එක්වූ හැම වෘත්තිය සමිති නායකයෙක්ටම  සහ සාමාජිකයින්ට අපේ ගෞරවය පුද කරනවා.

ඔබ නිසයි රටක් හැදෙන්නේ. ඔබ තමයි වැඩ කරන්නේ. ඔබ තමයි වැඩ කරලා අලුත් දේ නිෂ්පාදනය කරන්නේ. ඔබ අලුත් දේ නිෂ්පාදනය කරොත් තමයි ආර්ථිකයක් පණ ගැහෙන්නේ. නවීකරණය වෙන්නේ. මේ ශත වර්ෂය අපිටයි. මේ ශතවර්ෂය අපිට නිසා ආසියාවේ සෑම රටක්ම අවදිවත්ව නැගිටලා අලුත් දේ හදන රටක් බවට පරිවර්තනය වෙලා ආර්ථික ජයග්‍රහණය කරා ගමන් කරනකොට අපි අත්වැල් බැඳගෙන ඒ බලාපොරොත්තුව ඉටු කරමු.

අපට තිබෙන්නේ ඒ අනාගත වැඩපිළිවෙළ නිර්මාණය කරන්න. මේ මැයි  දිනයේදී අප එය ප්‍රාර්ථනා කරනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයට විරුද්ධව හඬ නැගීම අපි අනුමත කරන්නේ නැහැ.

වෘත්තීය සමිති ව්‍යාපාරය යෝධ හයියක්. ඒ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ වෘත්තීය සමිති ඈතදීත් මෑතදීත් කරන ලද දැවැන්ත  පරිත්‍යාග තුළින් ඔප්පු කර තිබෙනවා.

එය අලුත් විශ්වාසයක්. ඒ විශ්වාසය මත තමයි තවත් ලක්ෂ ගණන් වැඩ කරන ජනතාව මේ පොදු සටනට අත්වැල් බැඳ ගන්නේ.

අනෙක් පැත්තෙන් අපේ රටේ ගොවි ජනතාව නොවන්නට පසුගිය කාලයේ අප බඩගින්නේ. මුළු රටම මුහුණ දෙන භයානක තත්ත්වයකට පසුගිය සමයේ අප  මුහුණ දුන්නා.

ඒ අභියෝගය බාරගත්තේ ලංකාවේ ගොවි ජනතාවයි. තමන්ට පමණක් නොව, තම ගම්  වලට පමණක් නොව, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, රට පුරා අතිරික්ත ආහාර නිපදවන්න පුළුවන් ගොවි ජනතාවක් අපේ රටේ එලෙස කටයුතු කරන බව ඔප්පු කරන්නට පුළුවන් වුණා. වැඩ කරන ජනතාවගේ කේන්ද්‍රීය බලවේගයක් වන ගොවි ජනතාවත්, කම්කරු ජනතාවත් ශක්තිමත්ව සංවිධානය කර ගනිමින්, ඉදිරි ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු ඇති මහා මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්නට පුළුවන්කමට අපි ගමන් කරනවා.

ඒ අලුත් පාර්ලිමේන්තුවට අලුත් වැඩපිළිවෙලක්, අලුත් ක්‍රියාවලියක් දේශපාලන මෙන්ම ආර්ථික හා සමාජ දියුණුව පිණිස අපි එක්ව ගොඩනගමු

අග්‍රාමාත්‍යවරයා හැටියට අපි එකඟ වෙනවා තමුන්නාන්සේලා සමඟ. ජීවන වියදම වැඩියි. ජීවන වියදම අඩු කිරීමේ ඕනෑකම අප සියල්ලටම තියෙනවා.  මූල්‍ය හා ආර්ථික ගැටලු හරහා අපේ ජීවන වියදම අප අඩු කර ගත යුතුයි. එය වැඩ කරන ජනතාවට, ගෙවල් දොරවල් වලට බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එය අඩු කර ගැනීමේ ඕනෑකම සාධාරණව දිනා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය ශක්තිමත් කරමු.

යෝද මැයි දින රැළියක් පැවැත්වීමෙන් එම අදහස් වලට කැපවුණු, ඒ උත්තරීතර ක්‍රියාමාර්ගවලට පරිත්‍යාග කළ, ඒ ජන බලවේගය යළිත් ශක්තිමත් කරමින් අනාගතය ගොඩනැගීම සඳහා  අත්වැල් බැඳගෙන කටයුතු කරන්නට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පමණක් නොව ඒ මිත්‍ර පක්ෂ හා සියලු ජනතා කොට්ඨාශ වලට අපි මේ අවස්ථාවේදී ආරාධනය කරමු.

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අඩු කරන්න, කප්පාදු කරන්න, උදුරාගන්න ගන්න ඉඩක් නොදෙන හඬක් බවට මේ මැයි දින හඬ ඇති කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

කිසිම කර්තව්‍යයකදී වැඩ කරන ජනයා දිනූ අයිතිවාසිකම් කප්පාදු නොකොට අලුතින් නිර්මාණය කළ හැකි අනාගතයක්  නිර්මාණය කිරීමේ වගකීම ට අප බැඳී සිටිනවා

නව පරම්පරාව තරුණියන් හා තරුණයන් තමයි අපේ අනාගතය.

අලුතෙන් ගොඩනැගෙන ලෝකයේ තොරතුරු තාක්ෂණය ඒ වගේම කාර්මික දියුණුව එක්තැන් කර ගත හැකි නව පරම්පරාවකට ඒ අනාගතය ගොඩනැගීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළකට මේ  මැයි දිනයේදී  අප එක්ව කටයුතු කරමු.