උණුසුම් පුවත්කාලීනපරිසරයසංස්කෘතික

සජීව විජේවීර නම් පත්තරකාරයාත් නික්ම යයි

සුබ ගමන් සජීව! සුබ ගමන්!! හෙළදිව සාතිශය සංවේගය!!!

ප්‍රවීණ ජනමාධ්‍යවේදී සජීව විජේවීර මහතා අද දැයෙන් නික්ම යයි. හේ පත්තරකාරයකු පමණක් නොවේ. දක්ෂ ගත්කතුවරයෙකි. පරිවර්තකයෙකි.

සජීව විජේවීර මහතා අපෙන් නික්ම යන්නේ වකුගඩු ආබාධයකින් දිගු කලක් තිස්සේ පෙළෙමින් සිටියේ ය. ඔහු අභාවප්‍රාප්ත වන්නේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දි ය.

මියයන විට 51 හැවිරිදි වියේ පසුවූ  ඔහුගේ අවසන් කටයුතු අද හවස 6. 00 ට ගාල්ල දඩල්ලේ පිහිටි නාගරික අදාහනාගාරයේ දී සිදු කෙරේ.

සජීව විජේවීර වත්මන් තරුණ පරපුරට මහත් ආදර්ශයක් සැපයූ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහයක නියැලී සිටිය බව සටහන් කිරීම වටී. ඔහු සියලු අසීරුතා මැද 'රට. lk' නමින් වෙබ් පුවත් අඩවියක් ද පවත්වා ගෙන යන ලද්දේ ඔහුගේ සිරුරේ නිධන්ගතව සිටින 'පත්තරකාරයා' ගේ බලකිරීම නිසායැ යි කිවහොත් වඩාත් නිවැරදි ය. 

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ සජීව පාසල් සමයේ දී ද දක්ෂතා දැක්වූවෙකි.

සිරස එෆ් එම් ගුවන්විදුලි නාලිකාව ආරම්භක කාලයේ දී නිතිපතා උදෑසන ගුවන්කාලය වෙන්කෙරී තිබුණු 'පරිසරයට විනාඩියක්' ඔස්සේ ඔහු මාධ්‍යවේදියකු සේ රටට ඉස්මතු වූ බව සඳහන් කළ යුත්තේ ය. ඔහු එකී වැඩ සටහනෙහි පිටපත් රචකයා සේ කළ මෙහෙවර බෝ අගනේ ය. ඔහු ඉතා කදිමට රසවත්ව හා කාලීනව පරිසරය ගැන සිය පිටපත සකස් කිරීමට වෙහෙස වූ අයුරු පැසසිය යුත්තේ ම ය. 

   පසුකාලීනව හේ ලංකාදීප පුවත්පත හා සම්බන්ධ වී ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු සේ ද සිය දස්කම් පෙන්වී ය.

ඔහු විවිධ පැතිකඩ ඔස්සේ හෙළයේ මාධ්‍යවේදීන් අතර ඉස්මතු වී සමහර විට මතභේදාත්මක ක්‍රියාකාරකම් හි නියැළුණු බව ද දැක්විය හැකි ය.

ඔහු දිගු කලක් පුරා වකුගඩු රෝගියක් සේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ද සිය රෝගී තත්වය ගැනත් වකුගඩු රෝගීන්ට හා පොදු මහත් ජනතාවත් දැනුවත් කරන්නට ගත් වෙහෙස මේ අවස්ථාවේ දී ඔහුට ගෞරවයක් සේ සටහන් කිරීම වදගත් ය.

වකුගඩු සහ මොළය අතර ඉතාමත් ගැඹුරු අන්තර් සබඳතාවක් තිබෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන මා වැනි අයට එම රෝගය ශාරීරිකව, රසායනිකව පමණක් නෙවෙයි චිත්තවේගීයව ද බලපානවා.

එවැනි බොහෝ රෝගීන්ට වැඩිපුරම දක්නට ලැබෙන මානසික සංකූලාවක් තමයි මානසික අවපීඩනය. විශේෂයෙන් ම මේ රෝගය පිළිබඳ ‘දැඩි දුකක්’ ‘කලකිරීමක්’ ඇතිවනවා. මේ මානසික අවපීඩනය සමඟ ආහාර රුචිය අඩුවීම, අභිප්‍රේරණය නොමැතිකම හේතුවෙන්න පුළුවන් අතර මේ හේතූන් නිසා ශාරීරික සෞඛ්‍ය එන්න එන්නම නරක අතට හැරෙන්නත් පුළුවන්. මේ අතර වකුගඩු අකර්මණ්‍යවීමෙන් වැඩිවන තෙහෙට්ටුව සහ විෂ ද්‍රව්‍ය රසායනිකව මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ වැඩි කරන්නත් පුළුවන්.

ඒ විතරක් ද ?

නෑ....... මහන්සිය දැනීම වැඩිවෙනවා වගේ ම, නින්දට බාධා ඇතිවනවා මෙන්න මෙතැන දී මනෝ වෛද්‍යවරයකුට වකුගඩු රෝගය නිසා ඇතිවන දේ සහ ප්‍රතිකාර කළ හැකි මානසික තත්වයන් හඳුනාගැනීමට හැකියි. ඒ නිසා මේ වෙනස හඳුනාගෙන තමන්ගේ මානසික සෞඛ්‍ය යහපත් තත්වයෙන් පවත්වාගන්න මනෝ වෛද්‍ය උපදෙස් ඉතාමත් වැදගත්.

අපිට ඉතාමත්ව වැදගත් තවත් කරුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි මොළයට සිදුවන ජීව විද්‍යාත්මක බලපෑම. අපි අඩුම අවදානයක් යොමුකරන්නේ මෙන්න මේකට එය හඳුන්වන්නේ Uremic Encephalopathy යනුවෙන්.

වකුගඩු රෝගියෙකුගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වන විට, සාමාන්‍යයෙන් වෙනදා වකුගඩුවලින් පෙරා ඉවත්කරන ලද විෂ ද්‍රව්‍ය රුධිරයේ එකතුවෙනවා. මේ රුධිරය ම තමයි මොළයට ගමන් කරන්නෙත්. ඉතින් ඒ රුධිරයේ අඩංගු විෂ ද්‍රව්‍ය මොළයේ සංජානන ක්‍රියාවලියට ටිකෙන් ටික අහිතකර ලෙස බලපානවා.

දිගු කාලයක් විෂ අපද්‍රව්‍ය රුධිරයේ පැවතීමෙන් මොළයේ මතක ශක්තිය නැතිවෙන්න පුළුවන්, ව්‍යාකූලත්වය හෝ අවධානය යොමු කිරීෆම් අපහසුතා ඇතිවෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි හදිසිියේ ම රෝගියා ව්‍යාකූල තත්වයට පත්වෙන්නත් පුළුවන්. මේ නිසා තමයි සෑම වකුගඩු රෝගියකුට ම මනෝ වෛද්‍ය උපදෙස් අවශ්‍යයි කියලා කියන්නේ.

නමුත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ඒ සඳහා නිසි පරිදි යොමු වීමක් තවමත් සිදුවෙන්නේ නෑ.

මේ ඉකුත් 26 වැනිදා පස්වරු 6. 11 ට මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා හා කළ සාකච්ඡාවක් 'සුන්දර හමුවක්' හිසින් ඔහු සිය මුහුණු පොතේ තබා ඇති සටහනකින් ගත් උපුටනයකි.

සජීව මේ සටහන තබන්නේ ඔහු දැඩි සේ රෝගාතුරව සිටින මොහොතකයි. ඔහු මරුවාට අභියෝග කරමින් සුවහසක් ජනතාවට දෙන පණිවිඩය ඔහුගේ පැවති ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය කදිමට පෙන්වා දෙන සටහනකි.

කෙහොම වුණත් සජීව විජේවීර ට ලෝකයේ පොදු ධර්මතාවයට මුහුණ දීමට සිදුවිය.

සජීව නුඹට නිවන් සුව!