උණුසුම් පුවත්

ස්වකීය නිර්මාණ උදෙසා කවි කිවිඳියනට හෙළදිව අත්වැල

අසම්මත වේදනා

පමා වී මුණ ගැසුණොතින් හෙට

සිනාවක් හරි දෙන්නකෝ

බලා උන් හැටි මතක් වෙන කොට

කඳුළ සැගවි යන්නකෝ

දරා වුන් හැටි නැඟුණු සෙනෙහස

නෙතු මතින් දිස් වෙන්නකෝ

මුළා වුණෙ නැත පෙමි කරා මිස

නුඹ තුටින් සැනසෙන්නකෝ

  

සදාකල්හි ම නුඹ පැතූවට

නොමැත මට කිසි හිමි කමක්

තියා හද තුළ සෙනේ ඉපදුණ

හිදිනවා උහුලා දුකක්

පියාගෙන නෙතු කොතෙක් සිටිය ද

නුඹ පෙනේ වී සිහිනයක්

දරාගෙන තව ඉන්නේ කොහොම ද

වැටෙනවා කඳුළැලි ගොඩක්

 

පෙම්කළේ එක හදවතින් මම

නොලැබෙනා බව දැන දැනත්

වෙන්වුණා නුඹ කිසිත් නොකිය ම

නොබල ලා ඉන් පසු තවත්

අත්හළේ නැත හිතු මතේ දුක

නුඹට  නොකියමි වරදවත්

හිත්හලේ ඇති එකම පැතුම ද

නුබේ සැනසුම මතුවටත්

 

 -  මධුෂ්කා  - 

 

 

ගබ්සා වුණු හද

 -  නිකේෂලා හර්ෂාණි  -

කටු මතින් මල් පිපෙන මුත් ගසක

නිය කොනින්  කොනිති ගස්සා රෑක

නටු අගින් කඩා දැමුවත් පහස

හැමදාම මල් පිපෙයි සුදු රෝස

තෙළිතුඩග දැවටෙනා රුවක

ෆැන්ටසිය කල් ඉකුත් වු දිනක

නුඹ නමින් ගබ්සා වුණු හදක

 විලිරුදා යළි අවුලවා කුමට


ප්‍රහේළිකාව

ඉස්තරම් සිත්තරා
මැවූ සිත්තම් මැදින්
උසින් වැඩි කඳු පෙළක්
පිළිමගෙයි
දෙව් මිනිස් සියළු රූ
එකම තලයක රැඳවු
සිතුවමේ ප්‍රහෙළිකාවක්
නැවතුනෙමි මොහොතක්
දුරින් සහ ළඟින් ඇති
තුරක උස වෙනස නැති
මහිමි හා සම උසිනි

පරිමාණ නොවලහා  
නිර්මාණ වල මෙලෙස
මහිමි හා සම කලේ
ඔබේ සිත තුළ තිබූ
නොදුටු ගුණ කදම්බය ද ?
  -  නලිනි ද සිල්වා  - 

 

 

 

සොයමි.......

වරක්....දෙවරක්.....සිය වරක්
සෙව්වෙමි නෙතින්
දස දහස් වාරයක්
මනසින්........
 කොමා....
හල් අකුරු.....
බැඳි අකුරු.....
 වදන් අතරැති.....හිඩැස්
මැන බැලූවෙමි........
අනුමානයෙන්
පදයෙන් පදය විමසමී
අරුත් පදරුත් සොයමී
 දින...සති...දශක ගතවී
තවම සොයමී.....

සබඳ.....

 මා.....හැර යාමට
හේතු ......සොයමී

නිදි ද..... නුඹ තවම

සුන්දරම සුන්දර රැයක්

ගෙවී..... නුඹ නොදුටුවට

ඊයේ රෑ හැළුණ නේ......

පතක් කහ පාට

එතැනින්ම බේරිලා

අලුත් නටුවක් මෙන්න

පුංචි දලු දෙකක්

එබෙයි....ළා කොළ පාට

 රෑම ඇවිදින් ගියා

මල්සරා පෙම් පාට
අනේ....මට බෑ කියා
කඩුපුලක් කීවාට
පාන්දර මිය ගියා.....
සෙනෙහසක් නොලබාම
ඇයි ද.....කවුළුව වසා

නිදි ද.... නුඹ තවම

  -  ෂර්මිලා බංදුනී දංවත්ත  -