උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

සාහිත මංසල

සඳට රහසින් පෙම් කළා මම්

සඳට රහසින් පෙම් කළා මම්

ෂර්මිලා බංදුනී දංවත්ත

කර්තෘ ප්‍රකාශනයකි.

පිටු - 56 යි.

මිල - රුපියල් 400. 00

මුද්‍රණය - එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්

27/18 ජයන්ත වීරසේකර මාවත

කොළඹ 10

කව් පොත් දෙකක් හෙළදිවට ලැබිණි. ඒ පද්‍ය සංග්‍රහ දෙක ම එක කිවිඳියක ගේ ය. කිවිඳිය නමින් ෂර්මිලා බංදුනී දංවත්ත ය..
ඇගේ එක් පද්‍ය සංග්‍රයක් නමින් ''මමයි ෆීනික්ස් කිරිල්ල" ය.
අනෙක ''සඳට රහසින් පෙම් කළා මම" යි ඈ කියයි.
පැදි සාහිතයට පෙම් බැඳි ඇයගේ සංකල්පනා බොහොම අගෙට අකුරු වී ඇති බව නම් අගනේ ය.
සඳට රහසින් පෙම් කළෙමි මම හයිකු කවි සේ ලියා ඇති බව ඈ කියයි. සැබවින් ම බංදුනී හයිකු කවි මැනවින් හදාරමින් සිට ඇගේ සිතිවිලි ඒ අනුව ගොනු කර ඇත්තේ ළගන්නා සුලු අයුරිනි.
ජපන් හයිකු කවිය ප්‍රහුණ කරන ලද මේ කිවිඳිය සඳට රහසින් පෙම් කරන්නේ මම කෘතිය ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය යනුවෙන් දක්වා ඇත්තී ය.
මෙහිලා පෙරවදනක් ලියනා ජපන් හයිකු කවි ගැන ප්‍රාමාණික දැනුමත්තකු වන පාලිත සෙනාරත්න කිවිසුරාණන් හයිකු කවියේ භාවිතාව ගැන තබා ඇති සටහන ඊට ලොල් කවරකුට වුව ඉතා වැදගත් යැ යි හැඟේ.
ශ්‍රී ලංකා හයිකු කවි සංගමයේ සභාපති වන පාලිත සේනාරත්න මහතා මෙහි ලා දක්වා ඇති අදහස් පොඩ්ඩක් විමසුවොත් අගනේ යැ යි මට හැඟේ.
''හයික= කවිය යනු කුමක් ද එහි ආරම්භය හා විකාශනය කෙබඳු අකාර ද යන කරුණ අප රට බොහෝ දෙනා නොදන්නා සමයක ලෝක පූජිත එම ජපන් කවි ක්‍රමය අනුව යමින් අන්තර්ජාලය හරහා වට්ස්ඇප් වැඩමුළු අතරට එක්යෙමින් ශ්‍රී ලංකා අනන්‍යතාව සහිත ආප් ම වූ හයිකු කවක් බිහිකළ ශ්‍රී ලංකා හයිකු කවි සංගමය හා එක්ව ඇය කළ මේ සුපසන් ක්‍රියාව සිංහල කාව්‍යලෝකයට ද සදානුස්මරණීය මතක සටහනක් තබනු ඇතැ යි යනුවෙන් කවිඳිය ගේ උත්සාහය හෙතෙම අගයන්නේ ය.
''මෙම කෘතිය සිංහල සහ ඉංග්‍රිසි ද්විභාෂාවෙන් රචනා කොට ඇති හෙයින් ලොව පුරා හයිකු කවි රසිකයින්ට මෙම කවි රසවිඳීමට මං සලසා තිබීම ද අභිමානවත් පැසසුමකට හිමිකම් කියයි"
ඇය අවට දනා උග්‍ර පරිභෝජන ආර්ථික රටා පි'ලිවෙත් තුළ ඇලී ගැලී ජීවිත ගත කරන වටපිටාවක ෂර්මිලා කිවිඳිය එම මග හැරපියා උණ පඳුරක සෙවණේ හිඳ ගඟ දෙස බලා සිටින්නී යත ඒ ඇය කළු ගඟබඩ සොඳුරු පියසක විසූ නිසාවෙනි. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබිණි. සෙන් බුදු දහමේ කියවෙන හිස් බවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය.
අර කන්ද පා මුල
මල් වැරුව ගස
තනි ව ම
මෙම කවිය තුළින් මතුවනුයේ අප ජීවිත යථාර්ථයේ ආධ්‍යාම්කිම හිස් බව නැවත ප්‍රතිබිම්භිත ව සොබාදහම වෙතින් දැකීම යි. කිසිදු නිගමනයකට නොගොස් වටපිට පරිසරයෙන් අපට උගන්වන යථා දහම හොඳින් තේරුම් ගෙන ඇති බව එම කවිය හඟවයි. කිසියම් කවියෙකු හෘද අභ්‍යන්තර චින්තනය හයිකු කවියට සුහුසරු කළ සිතක ශුන්‍යතාව, නිහඬතාව මෙන් ම හුදෙකලාව පිළිබඳ සේයා ලැගුම් ගනී.ඉන්ද්‍රිය විසින් මෙහෙයවන ඉංගිත දමනයෙහි හයිකු කවියා නිතැතින් නිමග්න වනවා පමණක් නොව එය අත්හැරීම පිළිබඳ මූලික කමටහනයි.
තාත්තා ගිය මග
ගොක් රෑන්
බසින මළහිරු
හයිකු කවිය නිවැරදි ව ස්පර්්ශ කිරීමට ක්‍රියාව, ස්ථානය සහ කාලය වැදගති. මෙම කවිය පර්යේෂණාත්මක ව රචනා කරන ෂර්මිලා හයිකු කවි අධ්‍යයන මණ්ඩපයේ දී ලබා ගත් දැනුම සහ ශික්ෂණය මෙම කවිය රචනයේ දී උපයෝගී කොට ගෙන ඇත.
ඒක මග ආ සඳ
මිදුලේ තනිකර
යමි ගෙතුළට
සඳට බොහෝ සේ පෙම් කළෝ සෙන් බුදු දහම ඇදහූ උස් කඳු මුදුන් මත අපිස් දිවි පෙවතින් කල් යැවූ යතිවරයන් ය. ඔවුන් සඳ ගැන ලියු ඉමිහිරි සෙන් කවි මෙන් ම හයිකු කවි පැරණි කවි මගෙහි දක්නට ඇත.
මේ කවිය සඳ නමැති ඒ පූජණීය වස්තුවට ජීව ප්‍රාණය ලබා දෙමින් ඇය විසින් ලියන ලද ජීවාත්මක කවියකි.
තමා තුළට එබෙමින් දෛනික ජීවිතයේ දී තමාව වටහා ගැනීම යන සෙන් දැක්ම කෙරෙහි ද ඇය තම නැණස මෙහෙයවමින් සිය පන්හිඳ හසුරුවා ලියූ මෙම කවිය වෙත දැන් අවධානය යොමු කරමු.
දිගුවෙන සෙවණැල්ල
යට
මිටි වෙලා මම
සොබාදහම විසින් නොදැනුවත් අපට අප ජීවිතවල කුදු බව පසක් කොට දෙන මොහොතක මෙම කවියෙහි එයි. සෙවණැල්ල චිත්ත රූපය ලෙස ගෙන යථා පරිදි මෙම විග්‍රහය සෞන්දර්ය කලතා ගෙනෙන සොඳුරු අවබෝධයකි. මෝහයෙන් මත් ව පෙන්වන බොල් උස් බව තමාගේ ම සෙවණැල්ල විසින් කුඩා බවට පත් කොට ඇත්තේ සූර්යාලෝක පරාවර්තනයෙනි. එය කිසිවකුට වැළැක්විය නොහැකි සොබාදම් රටාවකි. මේ සියල්ලෙන් නිර්මාණශීලී ව ඇඳ පෙන්වන්නේ හිස් බව නම් අවසාන අවකාශයයි. අප සිත් මෙම වින්දනීය කවිය තුළානි උකහා ගන්නා පරම ආස්වාදය වනාහී පවිත්‍ර වූ යථා ස්වරූපයේ චින්තාකර්ෂණීය සන්තාව නොවන්නේ දැ"යි හයිකු කවි ගැන හා ෂර්මිලා බංදුනී දංවත්ත කිවිදිය ගේ පද්‍ය කෘතිය පසසමින් පාලිත සේනාරත්න වැඩි දුරටත් කරනා සඳහන ඔබ ද සිත පිරිසදු කොට ගෙන උකහා ගන්න.
කන්ද
නිහඬ ව කන්දෙන
හැටි ගී ගයන සුළඟට
how the mountain
silently listens
to the singing wind
සඳේ හැඩ බලමි
කණමැදිරියන පිරිවරා
accompanied
by the glowworms
I admire the Moon
කන්දට පහර දෙන
සුළඟ තැන්නේ දි
නිහඬ ව ම
wind
that beats the hill
silent on the plain
ඉදින් සබඳ
ඉතා සරල බස් වහරකින් ගෙතී ඇති මේ පදමාලා සුම ග ය. මුදු ය. මටසිලිටි ය. පාඨක ඔබ ගේ හෘදස්පන්දනය ස්පර්ශ කරන්නට ඇයට ඇති හැකියාව මට පෙනේ. ඔබ දකින සොබාදම ඇය ද දකියි. ඇය දකින සෞන්දර්ය ඔබ ද දකී, හැබැයි ඒ වෙනස් ආරකිනි. ඔබ ත් මමත් වටහා ගත යුත්තේ, උත්සාහ කළ යුත්තේ ආන්න ඒ ඈ දකින සොඳුරුබව කෙබඳුදැයි මෙනෙහි කරන්න. ඒ අගනා පාඩමක් ශාන්තව සුන්දර ව හිඳිමින් අපට කියා දෙයි. ඉදින් මෙ මඟට පිවිසුණොත් ඒ ඔස්සේ ඔබ ද මෙකව් හි ඇති සොඳුරු බව හා සෙන් බුදු දහම උගන්නවන, සමාජ සන්තාව ඇබින්දකින් හෝ වටහා ගන්නේ නම් කිවිඳිය ගේ පැදිහි අරුතට නිසි වටනාකමක් එකතු වනු ඇති.
 - සුගපාල මැන්දිස්  -