උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

සාහිත විචාර

නියඟය පවා දියවෙයි වැහිවලාකුළේ

ලක්ෂ්මි අබයසේකර මහත්මියගේ නියඟය පවා දියවෙයි වැහිවලාකුළේ කවි පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2024 පෙබරවාරි මස නිකුත් වී ඇති  අතර බොහොම චාම් පිටකවරයකින් සහ දිගු සහ කෙටි ආකාරයට ලියැවුනු නිදහස් ආරේ කවි 62කින් යුතු වන අතර එහි ඇති එකදු කවියකට වත් කවි හිසක් තබා නැති නිදහසේ පාඨකයාට රිසි අයුරින් අර්ථ ගැන්විය හැකි කවි පොතකි. 

 පොත අතට ලැබුන ගමන්ම පෙරලුණේ රසවත් කවියකට ය. 

 මල් පිපෙන තරමට ම

ඵල දරන්නේ

නැති බව කියා දී

වසන්තය ඇවිදින් ගියා (21)

 මෙම අපූරු කුඩා කවි කිනිත්ත ජීවිතේ සත්‍යාවබෝධයට ළඟාවෙන කවියකි.   වසන්තය ඇවිදින් යන ජීවිතේ තනිකම ත් සියල්ල ම එක හා සමාන නොවන බවත් ජීවිතේ විවිධත්වය රැඳී ඇති බැවින් වෙනස්වෙන ලෝකයේ වෙනස් නොවෙන දෙයක් නොමැති බවත් සැම මලක්ම ඵලයක් නොදරන බවත් පෙන්වා දෙයි. 

 හෙමින් ඇවිද යන විට

තණ පළස මත වැතිරුණු

පිනි බිඳුත් සිනාසෙයි

ළෙන්වගතුව  (18)

 ළෙන්ගතුව සිනාසෙන පිනි බිඳු දකින ඇය,  විමසිල්ලෙන් ගමන් කරන සෙයකි. එය සැබෑවකි, ජීවිතයේ ද සෙමින් ගමන් කළ යුතු ය.   එවිට අපට බොහෝ දේ හැඳින ගත හැකි ය.  තණ පළස  සසරක් මෙනි.  එහි ඇති පිනිබිදු දකින්නට ලැබෙන්නේ අවබෝධයෙන් ගමන් කරන කෙනෙකුට ම ය.  ළෙන්ගතුව  සිනාසෙන පිනි බිඳු  ජීවිතයේ අනිත්‍ය බව පසක් කර දෙයි. 

 නිවෙන සැනසෙන

තැනක් ඇත්නම්

එතැන තිබුණා ප්‍රේමය

 දැවෙන විඳවන

තැනක් ඇත්නම්

එතන තිබුණා ප්‍රේමය (17)

ජීවිතය එලෙස ය. නිවෙන සැනසෙන  තත්වයට පත්වන්නේ ජීවිතේ  වියපත් බවට පත්වන යුගයකය දී ය.   අවබෝධයක් ලද වයසක දී ය.  එම කාල සීමාවේ දී හදවත් නිවේ.  හැල්මේ දිවයන ස්වරූපය ගිලිහේ.  එක අතකට ඒ වියපත් බවත් ජීවිත අත්දැකීමත් නිසා  ම විය හැකිය.   ඒ නිවෙන බව අතර රැඳෙන්නේ හදවතින් ගලා එන කරුණාබර ප්‍රේමයකි. 

තව ද ආදරවන්තයෝ දෙදෙනක්  හෝ ආදරය කරන කාලයේ දී තරුණ අය ඔවුනොවුන් ඉදිරියේ දී නිවෙමින් කටයුතු කරයි.  මේ තැන් වලදී බොහෝ විට ප්‍රේමය ද ගිලිහී යාවිය යන බිය ද  සැකයකි.  එවිට ඔවුන් නිවෙන්නේ යම් තෘෂ්ණාබර හැඟීමකිනි. 

 එමෙන් ම දැවෙන විඳවන තාරුණ්‍යය  දැවීමත් සමඟ ම හදවත් ගිනි ගනී .  ඒ බව ස්වරූපයෙන් ද පිළිබිඹු වේ.  මේ දැවීම අහිමි වීම  හා තද ආසක්ත වීමක්  හෝ ළඟාකර ගැනීමට නොහැකි  දෙයක් වැනි දෙයක් විය හැකි ය.  එවිට එතැන තෘෂ්ණාව විසින් හටගන්නා  ප්‍රේමය රැඳේ.   

 මේ මහ සයුර

කෙතරම් කුඩා දැයි

හැඟිණි මට

ඔබ

මා ළඟින් සිට

හුස්ම ගන්නා විට (13)

 ප්‍රේමයේ කවියකි.  මහ සයුරටත් වඩා ඔහු සුවිශාලය.  ඒ ඔවුන්ගේ ආදරයේ බැමි වල තීවෘතාවය යි.  මෙය ආදර කතාවකට මෙන්ම පිය සෙනෙහස ට ළඟාවේ.   ඕනෑම දරුවෙකුට තම පියා  මෙන් සුවිශාල කෙනෙක් තව නැති බව අප හොඳින් දනී.  තාත්තාගේ සෙවණැල්ල යට හැදෙන දරුවාට ඒ සෙවණැල්ල ශක්තියකි.  දරුවන් මුහුකුරා වැඩෙත් දී යම් යම් යුගවල දී ඔවුන්ගේ චින්තන රටාවන් වෙනස් වුන  ද සයුර පරදන යෝධ බලය ඇත්තේ පියාට ම පමණි. 

ආදර කතාවක් ලෙස ගතහොත් අඹුසැමි දෙදෙනෙකුට මෙලෙස දැනෙන්නට හැකි ය.  ඔවුනොවුන් ළඟින් සිටින විට මහ මුහුද  එතරම් සුවිශාල නොවේ. 

ඔහෙ ඇවිත් යන

වලාකුළකට

වුණත් පුළුවනි

තනි රකින්නට

හිස් අහසට (05)

ඇත්තටම ජීවිතේ ට තනි රකින්නට බොහෝ අය ඉදිරිපත් වේ. ඒ තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙකුට ය.  හිස් අහස ඒ ලෙස ය.  අහසට ටිකකට ඇවිත් යන වලාකුළ ගැන වගේ වගක් නැත.  පැමිණිය හැකි මෙන්ම අපසු යා හැකි ය.  ජීවිතය ද එලෙස ය.  තනිකඩයෙකුට කවුරු ආව ද නාව ද එය අත්‍යාවශ ය කරුණක් නොවේ.  ඒ හිත් හරි හයිය යි.   කවුරු ආවත් නාවත්  ජීවත් වීමේ හැඩය ඔවුන් උකහාගෙන අවසන්ය.  ජීවිතේට තනි රකින්නට කැමති අයෙකුට හැකි ය.  එය ඔවුන්ගේ මනෝ ලෝක වල වුව විය හැකි ය.

විටෙක එලෙස පවසන්නේ කවුරු ආවත් කමක් නැ තනියට යන චේතනාව ගැබ්වි ඇති බව පෙනේ.  නමුත් ඒ හිස් අහසකි.  මෙන්ම හිස් ජීවිතයකි.  බලාපොරොත්තු රහිත බවක් පෙනේ.

පරව යන බව

දැන දැන ම

ඔබේ උයනෙත්

මල් පිපෙන්නට

ඉඩ දෙන්න (04)

මලක් නම් පරව යයි.  එය සනාතන දහමකි.  ඔබේ උයනෙත් යන්නෙන් අදහස් කරන්නේ ජීවිත උයන විය හැකි ය.  මෙලෙස කිවිඳිය පවසනුයේ ආදරය ගිලිහෙන බව දැන දැන ම ඇරඹෙන්න ඉඩ හරින්න යැයි මට සිතේ.  වෙනස් වන ලෝකයේ නොවෙනස් වන කිසිදු දෙයක් නැත.  සියල්ල වෙනස් වෙයි. 

එමෙන්ම, තවත් ලෙසකින් ගත් කල  මෙහි මල් ලෙස දරුවන් ද යොදාගත හැක.  ඔවුන් ද අකාලයේ වෙන්විය හැකි ය.  ජීවිත වලින් සමුගෙන යා හැකි ය.  නමුත් දරුවෝ ජීවිතයට ඇවැසි ය.  එබැවින් ඔවුන් ට ඉපදෙන්නට හරින්න.  මෙලෙස ගත් කල මෙහි යටි පෙළ ගබ්සාව නවත්වන්න යනුයි. 

ගිලිහුණු පිහාටුවකට

පණ ලැබී

සුළඟේ නැළවෙනු

බලා සිටියෙමි

නතර වී (01)

යමක් ගිලිහෙන විට බිමට පතිත වේ.  එය නියාම ධර්මයකි.  නමුත් මෙහි දී එම පිහාටුවක ට යළි පණ ලැබි ඇත.  හේතු භූත වන්නේ සුළඟයි.  සුළඟ   ඒ ගමන් මග වෙනස් කරමින් පිහාටුව වෙනත් දිශානතියක ට ගමන් කරයි. 

එමෙන්ම මෙහිදී ගිලිහෙන පිහාටුව ලෙස ජීවිතය ගැන ද සිතිය හැකි ය.  ගිලිහෙන්න යන ජීවිතයට ඔක්සිජන් ලැබි  ඈතට ඈතට දිශානතිය වෙනස් කරමින් ජීවිතය ගමන් කරන බව සත්‍යයකි.  හිරවෙන හුස්ම ට  පිළිතුර ම වන්නේ  සුළඟ බැවින්  ගිලිහෙන ජීවිතේට හුස්ම ටික කොපමණ වටීවි දැයි සිතේ.   සතුට එතැන ය. 

සොයා දිවියේ රන් රස

බැඳිනි අත්වැල එ දවස

බතෙහි දැනුණේ ලුණු රස

එහි නො විණි වෙන රස

ලිහා ගනු බැරි ලෙස

කරත්තය යයි ගොනු පසුපස (30)

ජීවිතේ පරිසමාප්ත අර්ථයෙන් ම දහම ට අනුව ප්‍රමාද වූවෝ කරත්තය පසු පස යන ‍ගොනු මෙනි.  එක්වරම සිහි වන්නේ යමක වග්ගයේ 1වෙනි ගාථාවය. 

- උපුටා ගැනීම - 

“මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා

මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා

තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං“

(වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.

- උපුටා ගැනීම අවසන් -

මෙම කවියේ එ දවස බැඳුණු විවාහ ජීවිතය ගැන මැනවින් ප්‍රකාශ කර ඇත.  විඳින දුක් කම්කටොළු හේතුවෙන් ජීවිතයේ රසයක් නොදැණින.  තමා ප්‍රාර්ථනා කළ සතුට එයින් ගිලිහී ගිය බවකි.    නමුත් එයින් මිදී යාමට ද නොහැක.  එසේ නම් රාහුලයෙක් ඇත්තා සේ ය.  එවිට ඒ බැම්ම  කෙසේ හෝ ඇද ගෙන යා යුතුව ඇත.  එම නිසා එම බැඳීම ගොනු අනුව යන ගැල මෙන් කර්මානුරූපීව ගත  භුක්ති විඳිමින් ගත වේ.    ජීවිත යථාර්ථය එයයි.  හදවතින් අත් හරිමින් එකටම ජීවත් වීම. 

මා නැතුවත්

ඔබේ සිත් උයනෙහි

මල් පිපී තිබෙනු දැක

මසිත සුවපත් විය (36)

මෙම කවියේ දෙදෙනා දෙපසක සිටින අයුරක් අදහස් වේ.  එසේ වුව අනෙක් පාර්ශවය සොයා සිත ඇවිදියි.  සොයා බලනුයේ තනිකම දැනෙන විලාසයයි.   

“ඔබේ සිත් උයනෙහි

මල් පිපී තිබෙනු දැක“  මෙයින් ගම්‍ය වන්නේ ඒ සිතේ ආදරය සතුට ඇති බවකි.  එසේ නම් එම බැඳීම් මිතුරු බැඳීම් හෝ ප්‍රේමනීය බැඳීම් විය හැකිය. 

මේ බැඳීම් වලින් සුවපත් වන සිත දෙස බලමින් ඈතින් සිට  සතුටු වන්නේ තමාගේ නිදහස ගැන සිතමින් ද ?  කෙසේ හෝ සතුටින් සිටී නම් එයින් පහසුවක් ඇති බව ද ?  තමා විසින් අනෙක් පාර්ශවය අත්හැරීම සාධාරනීකරණය කිරීමක් ද ? ලෞකිකත්වයෙන් තොර ජීවිතයකට තමා ඇතුල් වී ඇති බව ද?    කිවිඳිය අප ඉදිරියේ බොහෝ ප්‍රශ්ණ ඉතිරි කර ඇත. 

කළු කෝපි

ඇත්තට ම තිත්ත ය

ඇබ්බැහිය රසවත් ය

ජීවිතෙත් ඒ වගෙ ය

බොහෝ දෑ තිත්ත වුව ද

ඇබ්බැහිය රසවත් ය  (52)

සත්‍ය එයයි කුමකට හෝ ඇබ්බැහිය රසවත් ය තම තමන්ට අනුව.  ඇබ්බැහියේ දී රසය, සුවඳ, ගුණ සහ අගුන කිසිවක් නොතේරෙන මනස සොයා යන්නේ තම කැමැත්තෙන් උද්දීපනය වීමට ය.  එය කවිය ද කතාව ද තනිකම ද වෙනවීම ද එක් විශයකට සීමා නොවේ.  පරිමිතියක් නොමැතිව ගලා යයි.  ඇබ්බැහිය  තිත්ත  වුවත් එක්තරා රසයකි.  යථාර්තය එයයි. 

මෙහි මා කැමති කවි බොහෝමයකි.  එයින් මේ නම් කිහිපයකි.   එසේනම් නොදුටු මිතුරිය ඔබට තව තවත් රසවත් කවි ලිවීමට හැකි වේවා යැයි ආදරයෙන් ප්‍රාර්ථනා කරමි. 

 

  -  නලිනි ද සිල්වා  - කලුතර