ආර්ථිකඋණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

සිව් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය

සාමය, සතුට, සෞභාග්‍ය, උදාවේවා! සෙනෙහසිින් දයාවෙන් හා මෛත්‍රියෙන් පිරිපුන් මිනිස් කැලක් සේ යෙහෙන් වැජඹේවා!!!

සිතුවම - සිත්තර ශිල්පී ලලිත් සේනානායක ගේ තෙලි තුඩිනි

ශ්‍රී ලංකා‌‌වේ හෙවත් හෙළදිව් හි මහා සංස්කෘතික මංගල්‍යය අද (13) හා හෙට (14) දිනයන් හි පැවැත්වෙන්නේ දුරාතීතයේ පටන් නේක විධ වෙනත් වෙනස්කම්වලට භාජනය වෙමිනි. හෙළදිව් හි පැවැත්වෙන මේ මහා සංස්කෘතික මංගල්‍යය මේ බිමේ උපන් හැම දෙනාට එකසේ වැදගත් වන්නේ එය චිරාත් කාලයක් පුරා මොන අමාරුකම්, බාධක මධ්‍යයේ වුව සැමරීමට ඔවුන් භේදයකින් තොරව එක මිටට ගොනු වි පැරණි සම්ප්‍රදායන් සුරකිමින් අනාගත පරපුරට දායාද කරන්නට සැදී පැහැද සිටින හෙයිනි.

මේ හෙළ මහා සංස්කෘතික  මංගල්‍යය ඇරඹෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ ය. මෙය එක් වසරක අවසානයත් සමඟ ම නව වසර උදාවන්නේ වුව ද එය මැදියම් රැය පාදක කොට ගෙන නොව අපේ නැකැතිරාලලා හෙවත් නක්ෂ්‍යත්‍රකරුවන් ලබා දෙන්නා වූ සංක්‍රමණ හෝරාව අනුව සිදු කෙරෙන්නකි.

'නොනගතය' යනුවෙන් හැඳින් වෙන්නේ එයයි. මේ කාලය අපේ ජනයා හුරු පුරුදු ව ඇත්තේ   ආගමික වතාවත් හි නියැළීම උදෙසා යි. ආගමික සම්ප්‍රදායන් රැක්මට හැම හෙළයකු ම උනන්දුවක් උද්යෝගයක් දැක්වීම නිසා, මේ බක් මහේ සංස්කෘතික මංගල්‍යය පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩව නොනැසී පැවත් වෙන්නේ සෙසු ලෝකාට ද ඉමහත් ආදර්ශයක් සපයමිනි.

බොහෝ විට  සෑම වසරක ම  අප්‍රෙල් මස 13 හෝ 14 හෝ දිනවල අලුත් අවුරුද්ද යෙදේ. හෙළයන්ගේ බසින් මෙය  'අලුත් අවුරුද්ද'  වේ. දෙමළ ජනයා මෙය හඳුන්වන්නේ  'පුත්තාන්ඩු' ලෙසට යි.

දුරාතීතයේ පටන් හෙළදිව යනු කෘෂිකර්මාන්තය හා බැඳුණු රටකි. බක්මහ යනු අස්වනු නෙලා හමාර වෙන කාලය යි. මේ මාසයේ සූර්යයා ශ්‍රී ලංකාවට සම්පාතක වේ. නැතහොත් හිරු ඍජුව ඉහළින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැකි ය.

හෙළයන් ගේ මේ සැණකෙළියේ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ඇරඹෙන්නේ අලුත් අවුරුද්ද ඇරඹීමෙන් පසුව යි. ඒත් ගේ දොර පිරිසිදු කොට මෙදින සැමරීම් වස් පෙර සූදානම් වීම දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැම නිවෙසක ම  දැකිය හැකි ය.

අලුත් හවුරුද්ද උදාවීමත් සමඟ නැතිරාලලා විසින් සකසන ලද නැකැත් සීට්ටුවට අනුව එහි සඳහන් හෝරා මත පිහිටා  පොල්තෙල් පහනක් දල්වා මේ උතුම් උලෙළේ කටයුතු ආරම්භ කිරීමට හැම සිංහල බෞද්ධයකු ම යුහුසුලු වේ.

සියලු වැඩ අත්හිටවා 'නෝනගත' කාලයේ දී ආගමික වතාවත් හි නිරත වන හෙළයා අනතුරුව නක්ෂ්‍යත්‍රකරුවන් ගේ නැකැත් වේලා පිළිපදිමින් ලිප් ගිනි මොලවා කිරිබතක් පිස, ආහාර අනුභව කරන්නට නියම කරැති වේලාවට සියලු දෙනා කෑමට එක්වෙති. නැකැති රාලගේ උපදේශය අනුව ආහාර ගැනීමට පෙර 'වැඩ ඇල්ලීම' කරන්නේ ය.

මේ සියලු කටයුතුවල දී  මූලික ම කාර්යභාරය නිවෙස් හි ගෘහිනියන්ට හිමි වේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රනුකූලව ඇය නව වසරේ මුල් ම කාර්යය සේ කරනුයේ මුළුතැන්ගෙට වැද නැකතට ලිප ගිනි මෙළවීම යි. ගිනි මොළවා කිරි උතුරුවා කිරිබතක් පිසිති. මේ කටයුතුවල දී ගෙදර සියල්ලෝම ඇයට සහාය දක්වති. මේ චාරිත්‍ර විධි පළාතෙන් පළාතට පොඩි පොඩි වෙනස්කම් ද පවතින්නේ ය. කෙසේ වුවද මූලික හරය සියලු දෙනා එකම වෙලාවට සියලු කාර්යයන් තාවකාලිකව අත් හැරීම යි. සියලු කටයුතු එකම වෙලාවක කිරීම යි. ඒ හෙළයන් ගේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයි.

අලුත් ඇඳුම් කැඩුම්වලින් සැරසී සියලු දෙනා නෑ හිතමිතුරන් හා එක්ව තුටු පහටුවනු රටේ කොතැනත් දැකිය හැකි දසුනයි. ඒ ඒ චාරිත්‍ර නැකතට අනුව කිරීමේ දී ඒ ඒ ගම්ගොඩවල විහාරස්ථානයන් හි ඝණ්ඨා නාදය විසින් සතර පේරුවේ වැසියන්ට සංඥා කරමින් නැකත උදා වූ බව සන්නිවේදනය කරයි. ඒත් එක්කම රතිඤ්ඤා හඩින් පළාතම, රට ම ගිගුම් දෙනු ඇසේ.

නිවෙස් හි ගෘහිනිය විසින් පවුලේ ඇත්තන් උදෙසා පිළියෙල කරන්නා වූ කිරිබත් පිඟානත්, කැවුම්, කොකිස්, මුං අලුවා, මුං කැරලි, කෙසෙල් ආදී කැවිලි පෙවිලිවලින් කෑම මේසය සැරසීමට යුහුසුලු වේ..

හිස තෙල්ගෑම, අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව සිදු කෙරෙනා මූලික චාරිත්‍රය යි. මෙකී කාර්යයන් හමාර කිරීමෙන් පසු සියල්ලෝම නේකාකාර සාම්ප්‍රදායික කෙළි සෙල්ලම් කිරීම අරඹති.

පංච කෙළිය, ඔළිඳ කෙළිය, ඔංචිලි වාරම්, රබන් ගැසීම ඈත අතීතයේ පටන් මෙරටේ පවතින සිංහල අලුග් අවුරුදු ක්‍රීඩාවලින් කිහිපයකි.

එමෙන් ම ගංගොඩවල් හි බක්මහ ක්‍රීඩා උලෙළ පැවැත්වීම ද අපූර්වත්වයක් ගෙන දෙන සංස්කෘතිය හා බැඳුණු සාමුහිකත්වය ලොවට ප්‍රකාශ කරනා බව සඳහන් කිරීම වටී. කොට්ට පොරය, පොරපොල් ගැසීම, කඹ ඇදීම, ලිස්සන ගසේ නැඟීම, මට්ට කැඩීම, අලියාට ඇහැ තැබීම, පිහිනුම් තරග, අවුරුදු කුමරිය තේරීම, ගම හරහා දිවීම, හෙළයන් ගේ සාමුහිකත්වය විදහා දක්වන ජනක්‍රීඩාවන් ය.

පැරණි එදිරිවාදිකම්, කෝන්තර සියල්ල දුරලා, එකිනෙකා හා සමගි සම්පන්නව පෙර මෙන්, කටයුතු කරන්නට ද හෙළයේ මහා බක්මහ උළෙල විසින් අපට ලබා දී ඇති අගනා වටිනා දායාදයකි

බුලත්  හුරුල්ලක් දී  වැඩිහිටියා ගේ දෙපා අල්ලා වැඳ සිත් හතන් හි ඇති අමනාපකම් දුරළීමට සිංහලයා බක්මහ මංගල්‍යයේ දී කරන්නා වූ ඉතා උසස් කාර්යයකි. මෙය දුරාතීතයේ පටන් හෙළ දෙස් හි පවතින යහපත් කටයුත්තක් බව සටහන් නොකර ම බැරිය. මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තේ නාගරික ප්‍රදේශවලට වඩා ගම්බදව මේ උතුම් මංගල්‍යය සැමරීමට වැසියන් දක්වන උනන්දුවයි.

පුරාණයේ දී සිංහල රටේ අලුත් අවුරුද්ද සමරා ඇත්තේ  සිංහල අලුත් අවුරුද්ද  ලෙසට යි. ඒත් මෑත ඉතිහාසයේ දී සිංහල අලුත් අවුරුද්ද යන යෙදුමට දෙමළ අවුරුද්දක් බලෙන් කාවද්දා ඇත්තේ ය. එය හුදෙක් දකුණු ඉන්දියානු සූර්ය මංගල්‍යය මෙන් ම හෙළයේ දෙමළ වැසියන් සැමරීම මෙය සිංහල දෙමළ අවුරුදු වූවාට සැක නැත. සැබෑ ලෙසට ම කපටි දේශපාලනඥයින් විසින් පොදු මහත් ජනතාව ගොන්නුන්ට ඇන්දවීමේ අරමුණින් යුතුව අද එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වී ඇත්තේ ය.

නැකතට සිදුතරන අලුත් අවුරුදු සිරිත්
අලුත් අවුරුදු උදාව
නව සඳ බැලීම,
පරණ අවුරුද්දේ අවසන් ස්නානය.
කෑම පිසීම.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර ගැනීම,
හිස තෙල් ගෑම හා
රැකියාවට පිටත්වීම
අවුරුදු උත්සව පැවැත්වීම සිරිලක පුරාණයේ පටන් පැවත එන පිළිවෙත් ය.
මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය අලුත් නැඹුරුවට ගොදුරු ව සිටිති. එය යහපත් යොමුවීමක් නම් නොවේ.  වෛද්‍ය විශේඥයින් විසින් කෙතෙක් උපදෙස් දුන්න ද ඔවුන් වෙළඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරණය කෙරෙනා, ශරීර සෞඛ්‍යයට බරපතල හානි පමුණුවන, කෑම පසුපස හඹා යන්නේ කුලප්පු වූ අලි ඇතුන් මෙනි. ඉතා සරල හා චාම් දිවි පැවත්මකට දුරාතීතයේ පටන් හුරු පුරුදුව හුන් ලාංකේය ජනයා අද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කෙරෙනා ආහාර නිශ්පාදනය කරනා බහුජාතික සමාගම්වල කූට උපක්‍රමවලට හසුව කෑදර මිනිසුන් සේ 'දහ ජරාව' ගිලිති. මෙයින් රටේ දියුණුව කෙසේ වුවත් පරිහානිය නම් සුළුපටු නොවේ.

ශ්‍රී ලංකාවේ ආහාරවල ඇති සමතුලිත බව, ගුණය, කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන රට වැස්සා වාර්ෂිකව ්වන සංඛ්‍යාව කෙතරම් ද? අද වන් දිනෙක මේ ගැන ද පාඨක ඔබ මඳක් හිතන්න. සැලකිලිමත් වන්න. මන්ද මේ බිමේ උපන් ඔබ අප හැම දෙනා දැඩි ආර්ථික අසීරුතා මැද දිවි ගෙවන්නේ ජාතික ආර්ථිකයට මහත් බරක් එක් කරනා බෝ නොවන ලෙඩ රෝගවලට දැන හෝ නොදැන හසුවීමෙන් නිසයි.

ලාංකිය ජනයාට කුඹුරේ කෙතේ අනේක විධ මන්සියෙන් වගා කරගත් ගොවිතැන්බත් හෙවත් අස්වැන්න ගෙට ගෙන ගොවියාට විවේක පාඩුවක් ලැබෙන්නේ මේ සමයේ දී ය. හෙළයට නව වසර සාම්ප්‍රදායික නව හවුරුද්දක් මෙන්ම අස්වනු මංගල්ලය ද වන බව සිහිකට යුතු ය.

සිංහල අලුත් අවුරුදු සමය උදා වූ බව අපට කියන්නේ කොවුලා ය. එරබදු මල් පිපී රතු පැහැයෙන් බැබළෙන අසිරිය දක්නට හැකි වන්නේ ද බක්මහේ දී ය. අප පැටි සංදියේ අපේ ගංගොඩවල්හි එරමුදු ගස්වල පිපී කදිම නෙත්කලු  දසුනක්  පෙන්වමින් හිනා සිසී රතුපාට මල් බක්මහේ අසිරිය විඳින්නට අප සූදානම් කරන බවකි පෙන්නුම් කළේ. ඒත් වත්මන් පරපුරට එරමුදු මල් දක්නට ගංගොඩකවත් නැතැ යි මට සිතේ.

මේ වසන්ත සම යි. ගහ කොළ මලින් පලින් බරව ආඩම්බරකම් නොපා පොළොවට බරවී කියා දෙන පාඩම ද බක්මහේ තවත් වැදගත් කමක් සේ සැලකිය හැකි ය.

මේ සියලු කටයුතු හමාර වෙන්නේ නවසඳ බැලීමෙන් ද රැකියා කටයුතුවලට නැකතට අනුව ගෙන් පා නැඟීමෙනි.

ගම් දනව්වල මෙන් ම නගරයේ ද ක්‍රියාකාරීත්වය යළි පණගැන්වී සාමයෙන් සතුටෙන්, ප්‍රීතියෙන් හෙළයා ඊළඟ වසරේ බක්මහ එළඹෙන තෙක් ඔවුන් සිය දැතේ දෙපයේ වාරුවෙන් තම තමන් නිරත රැකියාව කුමක් වුවද එහි නියැළෙන්නේ දහසකුත් පැතුම් පොදි බැඳගෙන ය. අලුතෙන් දිවිමඟ සරිකර ගන්නට හැම හෙළයකුට ම ඇති සිහින ඉටු කරගන්නට බක්මහ සංස්කෘතික මංගල්ලය හේතු කාරණා වේ.

ඒ හේතු කාරණා හැම හදවතක ම එක සේ නොඅඩුව පැළපදියම් වී ඇතැ යි සඳහන් කිරීම නිබොරුවකි.

බක්මහේ මහා සංස්කෘතික මංගල්‍යය සදා දිනේවා. හැම හදවතක ම රඳවා ගත් අපේක්ෂා ඉෂ්ට සිද්ධ වේවා ඒ හෙළදිව ඊ පුවත් සංග්‍රහයේ අපේ පැතුම යි!

 - සුගතපාල මැන්දිස් -