උණුසුම් පුවත්දේශපාලනසාහිත්‍යය හා කලාව

සිළුමිණ නියෝජ්‍ය කර්තෘ තනතුරේ සුමුදු වහා යළි පිහිටුවන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලේක්හවුස් ලොක්කන්ට නියෝගයක්

මාධ්‍ය නිදහස වෙනුවෙන්  සමස්ත ක්ෂේත්‍රය ම ලද   වෘත්තීය ජයග්‍රහණයක්!

සිළුමිණ පුවත්පතෙහි  නියෝජ්‍ය කර්තෘවරිය සේ දිගු කලක් සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මිය  කිසිදු හේතුවක් රහිතව මාලිමා ආණ්ඩුව විසින් පත්කරන ලද  ලේක්හවුස් පාලනාධිකාරියේ වත්මන් බලධාරීන් විසින්, ඉවත් කිරීම  නිවුරදි කර යළි කී තනතුරෙහි ඇය නැවත පත්කරනා බවට පාලක මඬුල්ල විසින් කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට  පොරොන්දු වී ඇත්තේ ය.

 සීමාසහිත එක්සත් පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නීතිඥ රජිත පෙරේරා මහතා විසින්  2025 මැයි 08දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය, පෙර දැරූ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස නැවත පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යි.

 යසන්ත කෝදාගොඩ, සම්පත් අබේකෝන් යන විනිසුරු මඩුල්ල විසින් ලේක්හවුස් සමාගමේ සභාපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට නියෝග කරන ලද්දේ අදාළ දැනුම්දීම ප්‍රකාරව කටයුතු කර එළඹෙන ජුනි 5 වන දිනට පෙර  ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙසය .

 සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කළ තමන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සහ අත්තනෝමතික ලෙස ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමිය වෙතට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වගඋත්තරකාර ලේක්හවුස් සමාගමේ සභාපතිවරයා 2025 ජනවාරි 3 වැනිදා කළ දැනුම්දීම සහ එකී තීරණය බල රහිත කරන ලෙසත් ඉල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක ඉකුත් අටවැනිදා (මැයි 08)  කැඳවූ අවස්ථාවේ දී  උක්ත නියෝගය  අධිකරණය නිකුත් කළේ ය.

මෙම නඩු තීන්දුව  මාධ්‍ය ක්ෂේත්‍රයේ නිදහස, සාධාරණතාවය සහ වෘත්තීය ආරක්ෂාව පිළිබඳව අතිශයින් වැදගත් සංකේතයක් සේ හෙළදිව කළ විමසුමක දී විචාරක මතය බව ප්‍රකාශ විණි.  එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන්  සමස්ත ක්ෂේත්‍රය ම ලද   වෘත්තීය ජයග්‍රහණයක් සේ සටහන් වේ.

වගඋත්තරකාර පාර්ශ්වය එම දැනුම්දීම අනුව යම් සමථයකට එළඹෙන්නේ නම් 2025 ජුනි 5 වන දින අධිකරණයට වාර්තා කරන ලෙසට ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේ ය.

නීතිඥ යොහාන් පීරිස් මහතා විසින්  පෙත්සම්කාර සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය වෙනුවෙන්ම ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන්  නීතිඥ ශරින්ද ජයවර්ධන, නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා  පෙත්සම්කාරිය වෙනුවෙන්  පෙනී සිටින ලදි.