උණුසුම් පුවත්දේශපාලන

සුනිල් වටගල ට නාමල්ගෙන් බිලියනයක් ඉල්ලා එන්තරවාසියක්

දින තුනක් ඇතුළත මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එන්තරවාසියෙහි දැක් වේ.

නීතිවේදී සංඛ කරුණාරත්න මහතා විසින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට එන්තරවාසියක් යවමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි. එකී වන්දි මුදල ඉල්ලා කරුණාරත්න මහතා එන්තරවාසියක් යවා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ  කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇතැ යි ද, සමාජයේ ඔහු සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇතැ යි ද හේ වටගල මහතාට යොමු කරන ලද ලිපියේ සඳහන් ය.

 අද දින (10) යවන ලද එකී එන්තර වාසියෙහි නියෝජ්‍ය ඇමති වටගල මහතා වෙත යොමු කරන ලද මෙසේ ද සටහන් කර ඇත.

2025 සැප්තැම්බර් 6 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ‌හෝ හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සුනිල් වටගල මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇති බව ද නීතිවේදී කරුණාරත්න මහතා දක්වයි.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සහ මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් පිටුපස සිටින පුද්ගලයෙකු බවට හැඟවෙන ප්‍රකාශ සිදු කර තිබේ.

වටගල මහතා මෙම මාධ්‍ය හමුවේදී මේ උදවිය තමයි මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස සිටින්නේයනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, මෙම ප්‍රකාශය අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේශ සහගත බව නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අවධාරණය කරයි. මෙම ප්‍රකාශය නිසා නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බවත්, සමාජයේ ඔහු සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බවත් ලිපියේ සඳහන් වේ.

2025 සැප්තැම්බර් 8 වැනි දින තංගල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් සඳහා ද මෙම ප්‍රකාශය හේතු වී ඇති බව නීතිඥවරයා පෙන්වා දෙයි.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වන නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසද සේවය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන ඔහු, 2024 ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.

ඔහු දේශීය හා විදේශීය වශයෙන් මහජන සේවය, දේශපාලන නායකත්වය, සහ තරුණ පරපුර බල ගැන්වීම සඳහා විශාල කීර්ති නාමයක් ගොඩනගා ගෙන ඇති බව සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයාට යොමුකරන ලද ලිපියෙහි වැඩිදුරටත් සටහන් කර ඇත.

සුනිල් වටගල මහතාට දින තුනක් ඇතුළත මාධ්‍ය හමුවක් පවත්වා තම ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින ලෙස නීතිඥවරයා මෙම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

එසේ කිරීමට අපොහොසත් වුවහොත්, දින 14 ක් ඇතුළත රුපියල් බිලියනයේ වන්දිය ගෙවන ලෙස ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම් ඉටු නොකළහොත් උක්ත වන්දිය සමග නඩු ගාස්තු සහ අනෙකුත් වියදම්ද ඉල්ලා නඩු පවරන බවට නීතිඥ සංඛ කරුණාරත්න මහතා  විසින්  නියෝජ්‍ය ඇමතිවටගල මහතා වෙත අවධාරණයෙන් දන්වා ඇත.