උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

සුනිලා ගේ පුංචි සොල්දාදුවා

පුංචි සොල්දාදුවා – Punchi Soldaduwa
කතෘ : සුනිලා විජේසිංහ
මිල : රු. 900 /-
(20% වට්ටම් සහිත මිල රු. 720/-)
www.surasa.l  

 

ගුරුවරියක, කිවිඳියක, කෙටිකතාකාරියක මෙන් ම පරිවර්තිකාවියක සේ කීර්ති නාමයක් දිනා සිටින සුනිලා විජේසිංහ ගත්කතුවරියගේ නවතම පරිවර්තන කෘතිය පුංචි සොල්දාදුවා යි.

කුරිරු යුද්ධයෙන් බැටකමින් නේක විධ දුක්කරදර හිරිහැර පීඩා විඳිමින් සිය මව්බිම වෙනුවෙනු අසීමිත ආදරයක් ඇතිව මාතෘභූමිය රැක ගන්නට සෝවියට් දේශයේ පුංචි පැටියෙක් කළ මහා කාර්ය භාරය හෙළදිව පාඨකයින්ට කියවා රස විඳිමින් සිය ඔඵව කෙළින් තබා ගන්නට සුනිලා හෙළබසට නඟා කරැති හපන්කම කෙබඳුදැ යි කියවා ජීවිතවලට ආදර්ශයක් කර ගන්නේ නම්......

මේ අගනා කෘතිය ගැන ඈ තබා ඇති සටහන යි.

අල්යෝෂා කුස්නෙට්සොව් නමැති පසළොස් වියැති මොස්කව් පිරිමි දරුවා 1917, රුසියානු  ඔක්තෝබර් විප්ලවයෙහි ජයග්‍රහණය වෙනුවෙන් ඉටු කරන ලද කාර්‍ය භාරය ලොවට හෙළිවූයේ ඉන් බොහෝ කලකට පසුවය.

අල්‍යෝෂා සහ ඔහුගේ වැඩිමල් සහෝදරිය ලෙනා විප්ලවීය සටනෙහිදී ජංගම ප්‍රථමාධාර ඒකකයක සාමාජිකයෝ වූහ. කිසි විටෙකත් එක තැනෙක රැඳී නොසිටි අල්‍යෝෂා හැම විටම යුද්ධය වඩාත් බිහිසුණු තැන් සොය සොයා ගියේය. ප්‍රතිවිප්ලවවාදී ධවල ආරක්ෂක භටයින් සමඟ සටන් කොට ස්වේච්ඡා සටන්කාමීන් විසින් ආරක්ෂා කරගත්, යුධ සටන් ඉතා දරුණු ලෙස ඇවිලුණු White Guard මාර්ග බාධකයෙහි ආරක්ෂාව වෙනුවෙන් ඔහු විසින් කොට ඇත්තේ ඉමහත් කැපවීමකි.

යුද්ධයේ දී ඔහු සමඟ එක්ව සේවය කළ බොහෝ දෙනා ඔහුගේ සැබෑ නම දැන සිටියේ නැත. ඒ සියලු දෙනා ඔහු ආමන්ත්‍රණය කළේ 'තණකොළ පෙත්තා' නොහොත් කුස්zනෙචික් (Kuznechik) යන ආදරණීය නාමයෙනි.  එහි කුස්zනෙට්සොව් යන ඔහුගේ වාසගමෙහි කොටසක් තිබීම ද සැබවින්ම අපූරුවකි. අල්‍යෝෂා එක් මාර්ග බාධකයකින් තවත් මාර්ග බාධකයකට මාරුවූයේ  පියාඹමින්, පිනුම් ගසමින් ඉතා ඉක්මනින් ‍යනෙන තණකොළ පෙත්තෙකු සේ ම කඩිනමිනි.

මේ සහෝදරයාත් සහෝදරියත් එක්වගෙන ප්‍රථමාධාර ලබාදුන් තුවාලකරුවන් සංඛ්‍යාව අප්‍රමාණ ය. ඔක්තෝබර් විසි අට වැනි දා එනම් විප්ලවය අග භාගයේ දී මේ ආදරණීය  සහෝදරයා සහ සහෝදරිය එකම ස්ථානයක දී සතුරු වෙඩි වර්ෂාවකට හසුවූහ. ඒ ප්‍රබල හා දරුණු සටන් පැවැති මොස්කව්හි ඔස්ටොzහෙන්කා (Ostozhenka)  වීදියෙහි දී ය. අද එම වීදිය හැඳින්වෙන්නේ මෙට්‍රොස්ටොයෙව්ස්කායා (Metrostoyevskaya) යනුවෙනි.

බොහෝ කාලයක් යන තුරු යුධ තොරතුරු අතර පවා සටහන්ව තිබුණේ මේ දෙදෙනාම එදා ලද තුවාලවලින් මිය ගිය බවකි. එහෙත් අල්‍යෝෂා එම තුවාල නිසා මියගිය ද ඔහුගේ සහෝදරිය යෙලෙනා(ලෙනා) කලෙකට පසුව සුවපත් වී ඇති අතර විප්ලවයෙන් අනතුරුව ඇය සුපුරුදු සේවා ස්ථානය වූ ගිවාර්ටොව්ස්කි (Givartovsky)  ඇඳුම් කම්හලෙහි සේවයට නැවත එක් වී ඇත. පසු කලෙක 'Thaelmann Lace Curtain Factory' නමින් පතළ වූයේ ලෙනා සේවය කළ එම වෙළඳ ආයතනය යි. පසුව යෙලෙනා කුස්zනෙට්සොවා එම ආයතනයෙහි ප්‍රධාන සේවා අංශයක කණ්ඩායම් නායිකාව ලෙස බොහෝ කලක් සේවය කොට ඇත්තී ය.

නාසිවාදීන් මොස්කව් නගරයට බෝම්බ දමා නගරය යටත් කොටගන්නට උත්සාහ ගනිමින් මහ විනාශයක් කළ අවදියේ දී යෙලෙනා වහළයක් මුදුනෙහි මුර කුටියක සිට නාසි හේවායන් පිළිබඳව ඔත්තු බැලුවා ය. ඉනුත් නොනැවත, රැයේ නිදි නොලැබ තුවාල ලද රුසියානු සොල්දාදුවන් රැකබලාගනිමින් භූගත රෝහලක සේවය කළා ය. මහා දේශප්‍රේමී යුද්ධයේදී ලබාදුන් ශ්‍රම ධෛර්‍යය වෙනුවෙන් සහ මොස්කව්හි ආරක්ෂාව සඳහා දැක්වූ දායකත්වය අගයමින් ඇය සම්මානයෙන් ද  පුදනු ලැබුවා ය.

1950 වන තුරු සුපුරුදු වෙළඳ ආයතනයෙහි ම සේවය කොට විශ්‍රාම ලද යෙලෙනා 1970 වසරේ මුල් භාගයෙහිදී මිය ගොස් ඇත.

කෙසේ වුව එක්තරා මොස්කව් පාසලක (අංක 588) සමීක්ෂණ කණ්ඩායමක් විසින් ඇගේ මරණයට කෙටි කලකට පෙරාතුව ඇය මුණගැසෙන්නට සමත්ව ඇත. එය එසේ නොවුණේනම් අල්‍යොෂාගේත්, ලෙනාගේත් ඉතා සංවේදී කතාව කිසිවෙකුත් නොදැන සැඟව යන්නට හොඳටම ඉඩ තිබිණි.

ඉදින් මේ ඓතිහාසික යුධ වෘත්තාන්තය ලියැවී ඇත්තේ යෙලෙනා කුස්zනෙට්සොවා හෙළිදරව් කළ සැබෑ කරුණු කාරණා පදනම් කොටගෙන ය.

අල්‍යොෂා කුස්නෙට්සොවා නම් ප්‍රථමාධාර ඒකකයේ සේවය කළ ඒ ළමා සොල්දාදුවාගේ නාමය සෝවියට් තරුණ පුරෝගාමීන්ගේ සමස්ත සංගමයෙහි (සෝවියට් ළමා සංවිධානයෙහි) ගෞරවනීය නාම ලේඛනයේ සදාකාලිකව ම බබළමින් පවතී.