ඈ... මාලනී ෆොන්සේකා නම් හෙළසිනමාවේ අග රැජින
සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ ශ්‍රීපා පියුමින් පාරිශුද්ධත්වය ලද කැලණි පුරවරයේ පෑලියගොඩ දී උපන් කෙලි පොඩිත්තියකි. ඒ බිළිඳිය කැලණියට දායාද කෙරෙන්නේ 1947 බක්මහේ 30 වැනි දා ය. ඇ නිසා තෙවන වරටත් මව් පදවිය දිනා ගන්නේ සීලවතී මාතාව යි. සිය සැමියා වන ගිල්බට් ෆොන්සේකාට දාව උපන් මේ සිඟිත්තියට, වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා යයි මාපියෝ ඇගේ උප්පැන්නයේ ලියවන ලද්දා හ. දරු දැරියන් පස්දෙදෙනකුගෙන් යුත් ගිල්බට්, සීලවතී යුවල ගේ කුඩුම්බය කැලණියේ පෑලියගොඩින් බැහැරට ගොස් නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පදිංචි වූහ.

ඒ දෙන්නා ඇය බහ තොරමින් අකුරු කරන්නට සුදුසු කල් එළඹි සමයේ, එකදාස් නමසිය පනස් දෙකේ හවුරුද්දේ නුගේගොඩ සාන්ත ජෝන් සිප්හලට ඇතුළු කළහ. ටික කලකින් මේ මාපිය දෙදෙනා දරුමල්ලන් ද සමඟ යළි කැලණියට සේන්දු වූහ. දැන් ඔවුන් ගේ පදිංචිය කැලණිය වෙදමුල්ලේ ය. ඇයට කැලණිය ගුරුකුල විදුහලින් ඉගෙන ගන්නට ඉඩ හසර පෑදිණි.
කැලණිය ගුරුකුලේ දී සෙනෙහෙලතා ගේ හිත් හතන් හි වැඩියෙන් ම ඇල්මක් දකින්නට තිබුණේ කලා කටයුතු වෙතයි. හවුරුදු සොළොසක් වෙද්දී ඇගේ කලා කුසලතා ඔප්නැංවෙන අයුරු පැහැදිලිව ම දකින්නට හැකි බව කාට කාටත් ප්‍රදර්ශන වූවේ ඈ 'නොරත රත' නම් වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් පෙන්වූ කුසලතා ඔස්සේ ය.ඇගේ රංගන දිවිය ඔප්නංවමින් තවත් හවුරුදු පහකින් සෙනෙහෙලතා මාලනිය, හොඳම වේදිකා නාට්‍ය නිළිය සේ සම්මානයට පාත්‍ර වූයේ ජාතික නාට්‍ය උලෙළේ දී ය. මාලනී සෙනෙහෙලතා වේදිකාවේ රංගන සිල්ප දක්වමින් නාට්‍ය 14 කට දායකත්වවයදුන්නී ය. වේදිකාවේ රංගනයෙන් පන්නර ලද සෙනෙහෙලතා මාලිනිය, සිංහල සිනමාව දීග්විජය කරමින් ලොව සම්මානනීය නළු නිළියන් අතරට පා නඟන්නේ, 'සේනාධීර ආරච්චිලගේ මාලා පත්මලතා' නමින් ඇගේ පළමුවැනි සිනමා අත්දැකීමට මුහුණ දෙමිනි. ඒ 'පුංචි බබා' සිනමා පටයෙනි. එහිලා පුංචි බබා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තිස්ස ලියනසූරිය සිනමාවේදියා විසින් ඇය සිනමාවට හඳුන්වා දෙන නිළිය සේ සටහන් කර ඇත්තේ එහි ප්‍රධාන නිළිය සේ ය. මාලනිය එහි රඟපාන්නේ සම්මානනීය නළුවකු සේ සිංහල සිනමාවේ අති සූර රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රමයන් ගේ පෙම්වතිය ගේ භූමිකාවට පණ පොවමිනි. 1968 දී සිංහල සිනමා භූමියට පා නඟන ලද මාලනී සෙනෙහෙලතා ඒ වසෙර් දී ම 'අබුද්දස්ස කාලේ', 'දහසක් සිතුවිලි' හා 'ආදරවන්තයෝ' හි ද රඟන්නට වරම් ලද්දී ය. එදා මෙදා තුර එතැන් පටන් ආ ගමනේ දී, චිත්‍රපට 150 කට වැඩි සංඛ්‍යාවක දෙස් විදෙස් චලන චිත්‍රයන් හි සිය කුසලතා දක්වමින් රසික හදවත් ස්පර්ශ කළ අයුරු කෙසේ නම් වනන්න ද?
සිංහල සිනමාවේ සක්විති, ගාමිණි ෆොන්සේකා සමඟ කළ රඟපෑම් මෙන් ම අනතුරුව විජය කුමාරතුංගයන් හා එක්ව සිනමා සිතුවම් ඔප කළ අයුරු අදින් දසක ගණනාවකට පෙර බයිස්කෝප් වලින් අති මහත් වින්දනයක් ලද සිනමා ප්‍රේක්ෂකයින් ගේ හදවත් තුළ සදා ස්මරණීය ය.
ගාමිණි ෆොාන්සේකා, විජය කුමාරතුංග සමඟ පෙම්වතියගේ චරිතයට ආරූඪ වූ මාලනිය ගේ පෙම්වතා ගේ චරිත රඟ පෑ රවීන්ද්‍ර රන්දෙණිය මෙන් ම සනත් ගුණතිලක ද ප්‍රෙක්ෂක රසික හදවත් ඇද බැඳ ගන්නා අයුරින් කළ රඟපෑම්....

හෙළ සිනමාවේ මහා නිර්මාණකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'නිධානය' ඇය රඟන ලද සාර්ථක ම රූප රාමු පෙළක් ලෙසට එක්වේ. එමෙන් ම අමරනාත් ජයතිලකගේ 'සිරිපාල හා රන්මැණිකා' ද ඊට අසමාන නොවේ.
එපමණක් ද ? නැත. ධර්මසේන පතිරාජයන් විසින් නිමහම් කළ 'එයා දැන් ලොකු ළමයෙක්' ද 'බඹරු ඇවිත්' සිනමා පට ද ප්‍රේක්ෂකයනගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා මාලනියගේ දක්ෂතා මොනවට පෙන්නුම් කරන්නට ඈ කළ කැපවීම් කෙබඳු දැ?
මාලනිය කළේ ප්‍රෙක්ෂක හදවත් ස්පර්ශ කරමින් රඟපෑම් පමණක් නොවේ. ඈ චිත්‍රපට නිශ්පාදනයට ද අධ්‍යක්ෂණයට අත්පොත් තබන ලද නිළියකි. 'සසර චේතනා' ඈ 1984 දී ලාංකේය සිනමා ලෝලීන් වෙත පිරිනමා අනතුරුව තවත් තෙවසරක ඇවෑමෙන් 'අහිංසා' ද අනතුරුව තවත් සිව්වසරකින් 'ස්ත්‍රී' ද අධ්‍යක්ෂණ කරන්නට කැප වූ රංගධාරිනියයි.

ඇගේ රංගනයන් කෙබඳු දයි ලාංකේය ප්‍රෙක්ෂකයන් මැනවින් දනී, එකල ඈ රඟන චිත්‍රපට නැරඹීමට සිනමාහල් අසල දිගු පෝලිම්වල වේලෙමින් හෝ තෙමෙමින් හෝ රසික දනන් හුන් හැටි...
ඇගේ රංගන සිතුවම්පට බලද්දී විටෙක රසිකයින් තුඩු පහටුව ප්‍රීතියෙන් කුල්මත්ව අත්පුඩි තැලූ අතර විටෙක නෙතු අග කඳුළක් රඳවා ගත්තේ සිනමා කතන්දරයේ ඈ මුහුණ දෙන දුක කනගාටුව ප්‍රෙක්ෂකයාට දරාගත නොහැකි තරමට ප්‍රක්ෂේසණය කරන්නට දැක්වූ නිර්මාණශීලීත්වය නිසාවෙනි. 
ඈ ජනාධිපති සම්මානයේ පිදුම් ලද නිළි රැජින යි. සිංහල සිනමාවේ ආරම්භයේ රුක්මනීදේවිය ගෙන් පසු රංගනයට පිවිස මාලිනි සෙනෙහෙලතා ආ දිගු දුර ගමනින් කාන්තාවනට පමණක් නොව සෙසු දනන්ට ද කියා දෙන ලද පාඩම් බොහෝ ය. දැඩි කැපවීම, උට්ඨාන වීර්යය, උනන්දුව අවංකවීම මේ සියල්ල ඈ අපට පෙන්වා දී ඇත්තේ ය.
මාලනිය සිය කැපකිරීම් නිසා ම ලද ගෞරව සම්මාන මහා කන්දරාවකි. ඒ සියල්ල රටට ලොවට කියා පාන්නා වූ එක් සත්‍යයක් නම් ඈ සිත් දරා ගත්තා වූ අනේක විධ දුක්ඛදෝමනස්ස, ලොව උපන් සියලු දනන් විවිධ ලෙස උරුම කොට ගත් දායාදයන් බව යි.

මාලනිය හෙට (26 වැනි සඳුදා) සැඳෑ හෝරාවේ සදහට ම නික්ම යනු ඇති. ඒ කොළඹ 7 හි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඉදිකෙරුණු චිතකයක ය. ඇගේ අළු දුහුවිලි භෂ්මාවශේෂ හැටියට ඉතිරි වී ඒවා ද වාතලයට මුසුවනු ඇති. ඒත් ඇගේ නාමය 'හෙළසිනමාවේ අග්‍රගන්‍ය නිළිය' බව සැමදා දනන් තුඩ තුඩ රැඳෙනු ඇති. ඇගේ දස්කම් ගැන ඇය ලද ප්‍රසස්ත ගෞරව සම්මාන ගැන බො දේ සටහන් කරන්නට ඇති බව සැබවි. ඒත් ඉදින්..... සබඳ.....
නිළි රැජින සේ බුහුමනට පාත්‍ර වූ නිහතමානි කාන්තාවකි. ඈ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුනක් වෙන්කරන්නට තරම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිර්ලෝභි විය. ඈ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක සේ 2010 සිට 2015 දක්වා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා ය.

ඒ සියල්ල අවසන් ය. ඈ මේ පොළොවට ඇගේ කිර්තිනාමය එක්කොට නිම යන්නී ය. ජන හදවත් තුළ හෙළදිව් හි හෙළ සිනමා රැජින සේ ඔටුණු පලන් මාලනිය දැරූ ඒ කිරුළ ඉදින් අන් කවර නිළියක හිස දරානු ඇද්දැ යි සැක සංකා ඉතිරි කරමින් ඕ අර දඟකාර යුවතියක සේ, පෙම්වතා හා තොඳොල් වෙමින් උකුළු මුකුළු පාමින් ජන හදවත් රසවත් කර කර කළ, රංගනයට තිත තබා පැසුණු බුද්ධියෙන් යුත් දක්ෂ සිනමාවේදිනියක් සේ ද රූපවාහිනී නිළියක් සේ ද දස්කම් පෙන්වමින් දිවිමඟ සරිකර ගත් නිළියෙනි. මාලනියෙනි.සුබ ගමන්!!!
ඔබට නිවන් සුව සුවහසක් ලාංකේය දනන් වෙනුවෙන් අපි දු එක්වෙමින් මෙසේ සටහන් තබන්නෙම්හ.
නිවන් සුව!
