පළමු දා මළ හිරු බසිද්දී වික්ටර් අයිවන් මිතුරාත් දිවි මඬළෙන් බැස ගියා
"සංසාරේ හැටි තමයි
නිවනට ගිය දා
මේ දුක් නැතිවෙන්නේ"
වැහි අඳුර පහව යමින්. හිරු තව ටිකකින් දිවා මෙහෙවර අරඹාවි.
ඒ අතර දුරුත්තේ සීතල ඔබට තව ටිකක් පොරෝණයේ ගුළි වී ඉන්නට කියාවි.
ඒත් එහෙම ඉන්නට බෑ. රජය වගේමාඅණ්ඩුවත් තවම ජන හදවත්වල ස්ථාවර නෑ වගේම ස්ථාවර නැති අපේ ජීවිත ස්ථාවර කරගන්න අපිට කාලය වැදගත්.
ඒ නිසා කවුරුවත් අපේ ස්ථාවරය හදනකම් බලා නොඉඳ අපි එය හදා ගත යුතුයි.
ඒක නිසා ඔබෙත් මගෙත් දවස ඇරඹිලා.
ඒ දවස සපුරන්නට ඔබට සිත සවිමත් වෙන සොඳුරු දොහක් වේවා අද!
මං මගේ අලුත් පොත මේ මාසේ ඔබට පිළිගන්වනවා. ඒ කට මං ඇරියුම් පත් තැපෑලෙන් වගේම මේ මාධ්‍ය මගිනුත් බොහෝ කාලයක් මා හා සිටි අයට යැව්වා.
ඒ එදාට ඔවුන් මගේ මණ්ඩපයේදී මගේ අය සේ දැකගන්නට.
ඒ එදා මා හා සිටි කීප දෙනෙක්ම කීවේ,
''ඉස්සර වාගේ දැන් තනියම එන්න යන්න බෑ. ඒ නිසා අනේ සමාවෙන්න" කියා.
ඔවුන් මා හා ඔබ සමග සිටිය යුතුම මිතුරන්.
මේ රටට සාහිත්‍යයට යමක් ඉතිරි කළ අය.
තවත් කීප දෙනෙක් නොදැනම අප හැර ගිහින්.
ජීවිතේ හැටි සංසාරේ හැටි තමයි .
සමහරු ගෙනා ආයුෂ නිමා කරලා යනවා. තවත් සමහරු ඉන්නම ඕනේ කාලේ යනවා. ඔවුන් තවත් හිටියානම් හොඳයි කියා අපි හිතද්දිම ඔවුන් යනවා. ඒත් එක්කම ඉස්සරනම් හිතුණා "යන්න ඕනේ අය ඉන්නවා මේ හොඳ අය යන්නේ ඇයි කියලා''. ඒත් කරුණු කාරණා තේරෙද්දී එහෙම හිතුවට සමාවෙන්න කියලයි දැන් හිතෙන්නේ.
කොහොමත් ගිය අය අමතක නෑ. සමහරු ගිය විදිය නිසා වැඩි වැඩියෙන් අපිත් එක්ක ජීවත් වෙනවා. මිනිස්කමින් පිරුණු මිනිස්සු, සිල්වන්ත ආගමිකත්තෝ , දේශපාලකයෝ, කලාකාමී නිර්මාණකරුවන් එහිදී ඉදිරියෙන් ඉන්නවා. ජෝතිපාලයන් වගේම විජයත් ඒ අතර ඉහළින් ඉන්නවා.
පළමු දා මළ හිරු බසිද්දී වික්ටර් අයිවන් මිතුරාත් දිවි මඬළෙන් බැස ගියා.
ඔහුගේ දේශපාලනික භූගෝලයේ මෑත කාලීන හැසිරීම් බොහෝ දෙනෙකුගේ හිත්වලින් ඔහු වෙනුවෙන් වෙන්කළ ඉඩ ගැන දුකක් හා විමතියක් ඇති කළා. එහෙත් ඔහු හැමදාමත් ඔහුට නිවැරදි යයි හිතෙන දේ කළා. එතැන දී ඒ වෙනුවෙන් පෙනී සිටියා.
එහි තිබෙන විශේෂත්වය ඔහු ඒවා කළේ කුමන හෝ පෞද්ගලික ලාභයකට නොවීමයි.
ඒ නිසා ඔහු වෙනුවෙන් අද කෙනෙකු යළි සිතන්නේ මේ කෙසඟ මිනිසා තුළ ජීවත් වූ ආයෝමය යෝධ ශක්තිය ගැනයි.
ඒ නිසා ධනපාලයන් ,එව් ජී.ඒස් . රත්නවීරයන්, බී. ඒ. සිරිවර්ධනයන් හා දයාසේන ගුණසිංහයන් ගෙන් පසු බිහි වු කොන්ද පණ ඇති 'පත්තරකාරයෙකු' ලෙස වික්ටර්ට හිමි තැන දීමට බොහෝ දෙනෙකු මැළි වෙන්නේ නෑ.
වරෙක විජය කුමාරණතුංග ඔහු හා හිඟුරක්ගොඩ මැතිවරණයේදී මට කීවේ තමාට අසාධාරණකම් කළේම තමා ළඟ සිටි තමා උදව්කළ අයම බවයි. එහෙත් ඔවුන්ට තමා අහිතක් නොකරන්නේ ඔවුන් සතුව තිබූ කුමන හෝ මිනිස්කමක් සිතා බවයි.
ඔහු එදා මට එය පැහැදිලි කළ මානුෂීය ආකාරය මට තවමත් මතක වගේම එය මා ඔහුගෙන් උගත් පාඩමක් නිසා.
අද සමාජයේ වැඩිහිටි දැනුම්වත් බොහෝ දෙනෙක් සිතන්නේ එහෙමයි.
ඒ අනුව වික්ටර් පමණක් නොව එවන් අන් අය
ගැනත් අපි එසේ සිතන්නට සිතන්නට මේ සමාජය තවත් සුන්දර වෙනු ඇත.
හරියට සේකරයන් ලියූ කවියක වාගේ ඒ සුන්දර සමාජය බිහිවෙනු ඇත.
එතෙක් අපි බලා සිටිමුද?
නැත අපි එසේ සිතමු. එසේ කරමු.
මුල මැද අගම නිවැරැදිම දේ කරමු.
වික්ටර්ට සේම ඒ හැමෝටම සුබ ගමන්!
- චම්මින්ද වෙලගෙදර - 
