උණුසුම් පුවත්

හඬ රංගේ බණ්ඩාරගේ, ඇත්ත වුවමනාව රනිල් වික්‍රමසිංහගෙ – විජිත හේරත්

මුට්ටිය දමා බැලිල්ලකි මේ

එක්සත්  ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර ඊයේ (28 දා) කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා.  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. 2024 නොවැම්බර් 17 දිනයෙන් එම වසර පහක කාලය අවසන් වෙනවා. ඒ අනුව ව්‍යාවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මසකට පෙරාතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා ලබන සැප්තැම්බර් මස 17වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වුණා. ව්‍යවස්ථානුකූලව ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී ධුරය අත්හැර ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි, පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා පත්කර ගත්තේ. නීත්‍යානුකූලව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන්වුණු අවුරුදු පහ සීමාව දක්වා පමණයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වුණාට පස්සේ ඔහුට අවසන් කිරීමට බැරි වුණු ඉතිරි කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහට අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ හැක්කේ. එදිනෙන් ඉදිරියට එක දවසක් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එම ධුරයේ ඉන්න බැහැ. ඔහු ජනතාවගෙන් පත්නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගත හැක්කේ ඊට පෙරාතුව සිටි ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම දක්වා පමණක් බව.

රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත්  ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක. ඒනිසා තමයි මෙවැනි සෙල්ලම් දාන්න පටන් ගන්නේ. ජේ.ආර්. ජයවර්ධන එදා 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවෙත් 1983 පවත්වන්න තිබුණු මහ මැතිවරණය වළක්වලා පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හයකට දික්කිරීම සඳහායි. ඒ ලාම්පු - කළගෙඩි සෙල්ලමේ දෙවැනි ජවනිකාව තමයි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා මේ එළිදක්වා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කරනවා නම්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් කර ගැනීමට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015දී තේරී පත්වුණේ අවුරුදු හයකටයි. නමුත් පාර්ලිමේන්තුවේ 19 සංශෝධනය සම්මත වුණාට පසුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද අනුමැතියකින් ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට අඩු වුණා. හැබැයි ධුර කාලය දික් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ප්‍රමාණවත් නැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඒක තමයි ව්‍යවස්ථාව, එක තමයි නීතිය. රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දෙන්නේ මේ ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිවද? මේ දෙන්නාම ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව ගැන දැනුවත්වම තමයි මේ ප්‍රකාශය කරන්නේ. 

මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. මේ සමාජයේ මත දැක්වීම කොහොමද කියා බැලීමක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු  රනිල් වික්‍රමසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේදිත් පරාජය වෙන බව දැනගත් නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියන එක දැන දැනම කරපු ප්‍රකාශයක්. රටේ ජනතාවත් විදේශයන්හි සිටින අපේ ජනතාවත් පෙළගැසී ඉන්නවා, ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක්,  නව ආණ්ඩුවක්, නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්න. ඔවුන්ගේ පැත්තෙන් මේ උත්සාහ කරන්නේ මේ ඇතිවෙන ජන පෙළගැස්ම, ජන මතය අවුල් කරන්නයි. මීට පෙරාතුව ඔබ දැක්කා මහ මැතිවරණයක් ගැන කතාවක් ඇති කළා. මැයි 15දා පාර්ලිමේන්තුව විසුරුවනවා යනුවෙන් මතයක් හැදුවා. ඉන්පසුව ලබන මාසෙ 15දා විසුරුවනවා කිවුවා. පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කොටම ජනතාවගේ අරමුණ අවුල් වෙනවා.