තිස් වසරකට පසු නිදහසේ හුස්ම ගන්නට ලාංකිකයනට අවස්ථාව සැලසූ වීරෝදාර රණවිරු වන්දනාව යි මේ

1975 ජූලි 27 වන දින යාපනයේ විෂ්ණු දේවාල පරිශ්‍රයට යාඥා කිරීම සඳහා ඇතුළු වෙමින් සිටියදී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීම එල්ටීටීඊ ත්රස්තවාදයේ පළමු ගොදුර විය. සෑම ඉරිදාවකම දුරෙයිඅප්පා කෝවිලට යාම සිරිතක් විය. යාන්නමින් දැලි රැවුල වත් නොතිබුණු ගැටයෙක් පයිසිකලයකින් පැමිණ දෙවියන් යදින්නට ආ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ද වූ යාල්පනම් හි නගරාධිපතිට ගිනි පිඹ පලා ගියේ ය.
දුරෙයිඅප්පා කෝවිලට ආවේ තම සුදු පැහැ පර්ජෝ වර්ගයේ මෝටර් රියෙනි. හේ විෂ්ණු දේවාලයට ඇතුළු වීමට සූදානම් වෙද්දී, ඔහු ඝාතකයාට ඉලක්ක විය.
මේ සාහසික අපරාධයට වසර දෙකකට පෙර එවකට දෙමළ නව කොටි (TNT) ලෙස හැඳින්වූ අංශය සමඟ සන්නද්ධ ත්‍රස්තවාදය ආරම්භ කළ වේලුපිල්ලේ ප්රභාකරන් පසුව ඔහුගේ සංවිධානය එල්ටීටීඊය ලෙස නම් කළේය. මේ අනුව, අභාවප්‍රාප්ත දුරෙයිඅප්පා යාපනය අර්ධද්වීපයේ සන්නද්ධ ත්රස්තවාදීන්ට ගොදුරු වූ පළමු ප්රජාතන්ත්රවාදියා බවට පත්විය..
උතුරු කොනේ පේදුරුතුඩුවේ සිට දකුණු කොනේ දෙවුන්දරතුඩුව දක්වා ද නැගෙනහිර සංගමංකන්දේ පටන් බටහිර ගාලුමුවදොර දක්වා ද පුරා පැතිරැති හතරැස් හැත්ප්ම 25000 ක වටිනා අගනා සුන්දර පොළෝ තලයේ හැම බිම් අඟලක් ම පාහේ මිනිස් රුහිරින් නහවමින් මේ දේශය අමු ම අමු කනත්තක් කරමින්, තම හීනය සැබෑ කර ගන්නට සිය දාස් ගණනක්, දෙමළ යෞවනයින්, යෞවනියන් මෙන් ම යාන්තමට කිරෙන් හැරුණු කිරිසප්පයන් ද, නරුම ඝාතකයින් කරමින් හුන්, මහා ලේපිපාසිත ගහලයා හා උගේ ගිනිබටවලින් සන්නද්ධව හුන්, දඩයක්කරුවන්, දඩයක්කාරියන් මුළුමණින් ම නිහඩ කර, ගෙවී ගිය කාලය හරියට ම කියනවා නම් හවුරුදු දහසයක් ගෙවී හමාර ය. දාහත් වැනි හවුරුද්දට පිය නඟනා සඳ, මිනිමරු ඊනියා ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ අංශය හෙවත්, කොටි හමුදාව අවසන් වුවද උන්ගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කර ගන්නට කැසකවමින්, ලෝකයේ විවිධ රට රාජ්ජයන් හි හිඳිමින් විෂ වපුරන, කොටි ඩයස්පෝරාව නම් වෙනදටත් වඩා වැඩි වැඩියෙන්, උන්ගේ අරමුණ කරා පියෙන් පිය නඟමින් සිටින බව, මේ බිමේ දිවි ගෙවන බොහෝ දනන්ට අමතක බව පෙනේ.
තිස් වසරක කාලයක් පුරා විදෙස් කුමන්ත්රණකරුවන් ගේ ආශිර්වාදය මත මේ බිමේ වපුල කුරිරු යුද්ධයෙන් කොටි සාමාජිකයින් වේවා, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ පිරිස් මෙන් ම අහිංසක අසරණ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ඈ පොදු මහ ජනතාව වේවා ඝාතනයට ලක්විය. හිංසා පීඩාවන්ට ගොදුරු වූහ. විනාශ වූහ.
යුද්ධය කුරිරු ය. සැහැසිය. ම්ලේච්ඡ ය. තිරස්චීන ය. යුද්දෙන් රජ කරන්නේ හිංසනය ම ය. ඝාතනය ම ය. දූෂණය ම ය. කරදර හිරිහැර ම ය. එයයි සත්‍ය ය. එයින් ජයකට වඩා ඇත්තේ පරාජය ම ය.
මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ආදි හැම දනා දිවි ගෙවුවේ බොහොම සාමකාමී සමාජයක ය. ඒ අති බහුතරයක් වන සිංහල ජනයා හැදී වැඩුණු බෞද්ධ මඟ අනුව තමන් ගේ ජීවිත හැඩගස්වා ගත්තු හෙයින් ය. සියලු සත්වයන්ට මෙත්සිත් පෑම නිවට කමක් හෝ බියගුලු කමක් හෝ නොවේ. වේදනාව කවරකුට වුව දරා ගත නොහැකි ය. හිංසනය ඔබට හෝ වේවා මට හෝ වේවා දැනෙන්නේ එයින් පීඩාවට පත් කරන්නා ගේ දණ්ඩනයේ ප්‍රමාණයේ හැටි හැටියට ය.
මේ රටේ තිස් වසරක් පුරා පැවති කුරිරු ම්ලේච්ඡ යුද්ධය නිමා කරනා විට කෝටි ප්‍රකෝටි ගණනක භෞතික සම්පත් ද මිල කළ නොහැකි වටිනා කියන ජීවිත දස දහස් ගණනක් ද රටට ජාතියට අහිමි වී හමාර ය. ඒ එක්තරා කුරිරු මිනිසකු විසින් යාපනයේ නගරාධිපතිවරයා සේ හුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා 1975 ජූලි මස 27 වනදා යාපනයේ විෂ්ණු කෝවිලට ඇතුළු වෙද්දී ඔහුට වෙඩි තබා ඝාතන සංස්කෘතිය ට අත්පොත් තබන ලද්දේ එවක දෙමළ නව කොටි නමින් හඳුන්වා ගත් සංවිධානයේ වේළුපිල්ලේ ප්‍රහාකරන් විසිනි.
ඒදා මෙදා තුර 2009 මැයි මස අදවන් දිනක් දක්වා ඔහු හා ඔහුට අනුගත වූ සන්නද්ධ දෙමළ කොටින් විසින් වෙඩි තබමින් ද, මිනිස් බෝම්බ, කාල බෝම්බ ද, පැති බෝම්බ ද උපයෝගි කරගෙන සිංහල, දෙමළ මුස්ලිම් ජනයා දස දහස් ගණනකට ජීවත්වීමේ අයිතිය පැහැහර ගත් අයුරු පොළොව නුඋසුලන මහා අපරාධ නොවන්නේ ද? එච්චර විතරක් නොවේ. කඩු, පිහි, මන්නා කිනිසි භාවිතා කරමින් සිංහල ජන ගම්මානවලට කඩා වැද ගැබිණි මව්වරුන් ද හයක් හතරක් නොදත් කිරි සප්පයන් ද කැති ගා මරා දමන්නට තරම් මේ නරුමයෝ ලේ පිපාසයෙන් පෙළුණහ.
උන්ට මේ සියල්ල කරන්නට අනුබල දුන්නෝ උතුරු කරේට අරක් ගත්තු ඊනියා ප්‍රභූ පැළැන්තියේ කපට දේශපාලන හිවලුන් ය. උන් හා උන්ගේ පින්වන්ත දූ පුතුන් ලොව නන් දෙස පිහිටි රට රාජ්ජවල සුඛෝපභෝගී ජීවිත ගත කරද්දී, දෙමළ ජාතිවාදයේ විෂ එන්නත් කිරීමෙන් අවසිහි ගැන්වුණු අසරණ දෙමළ දනන් ගේ, කෙල්ලන් කොල්ලන් ගේ මොළ සෝදා ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව අවි ඔසවන්නට පෙළඹ වූහ.
ප්රභාකරන් හා ගෝල බාලයින් විසින් වපුල ඊනියා සිහින දේශයේ මිත්‍යාව නිසා මෙබිමේ වැඩියෙන් ම පීඩාවට අසරණ බවට පත්වූවෝ උතුරුකරේ මාපියෝ ය. බිරින්දැවෝ ය. දූ පුතණුවෝ ය. තරුණ තරුණියෝ ය. පුංචි ළමා පරපුර ය.
අද ඒ ජනයා බියෙන් සැකෙන් තොරව දිවි ගෙවති. උදේ රැකියාවට ගිය සැමියා නිරුපද්‍රිතව හවහට ගෙදර එන විශ්වාසය උතුරුකරේ බිරියන්ට විශ්වාස ය. පාසල් ගිය දූ පුතණුවන් දහවල් වෙන විට ඉස්කෝල නිමා වී ගෙදොර කරා එන වගක විශ්වාසයක් හැම මාපියකුට ම සහතික ය. ඒ උතුරු කරේ ජනයාට ය. ඔවුන්ට අද රිසි සේ සිය ජීවන මඟෙහි පා නැඟිය හැකි ය.
ඒ තත්වය දකුණු කොනට ද එසේ ම ය. අදින් හවුරුදු දහසයට පෙර කල අම්මා තාත්තා එක ම බස් රියක නැඟී රැකියාවට ගියේ නැත. දෙන්නා ගියේ වාහන දෙකක ය. ඒ කොයි මොහොතේ කෙතැනක දී කොටින් ගේ බිම් බෝම්බයකට, මිනිස් බෝම්බයකට නැත්නම් වෙඩි උණ්ඩයකට ඉලක්ක වී මිය පරලොව යෑමට වේදැ යි යන සැකය, හැම හදවක ම එක සේ කිඳා බැස තිබුණු වග දැන් නම් අති බහුතරයකට අමතක ය. සමහරුන් එය මතක ඇතැ යි පෙන්නන්නේ නැත. කියන්නේ නැත.
ඒ මේ බිම පුරා කොටින්ගේ කෲර ක්‍රියාකාරකම්වලින් පිරී තිබුණු කාලය අදින් දාසය වසරකට පෙර අද වන් දිනෙක පටන් අහෝසි වී ඇති හෙයිනි. යුද්ධයේ කුරිරු ගිනිදැල්වලින් ලක්මාතාව ඉතා ශෝචනීය ලෙස පීඩා වින්ද සමය නිමා කරන්නට, ජාතියේ ආරක්ෂක හමුදා හා පොලිසියත් සිවිල් ආරක්ෂක බළකායත් විසින් අභීතව, පෙරට ඇදී පුරා වසර තුනක තරම් කාල පරාසයක් අතර තුර ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීන් සුන්නත්දූලි බවට පත් කිරීමේ හේතුවෙනි.
ත්‍රිවිධ හමුදාව නැගෙනහිර මාවිල්ආරුවෙන් පටන් අරන් ඒ පළාත මුළුමණින් ම ත්රස්තවාදීන් ගේ ග්රහණයෙන් මුදා ගත්තේ ඒ සොරොව්ව උන් නතු කරගෙන නැගෙනහිර ගොවි ජනයාගේ කුඹුරු අස්වද්දනට දියවර නිකුත් කිරීම අහෝසි කොට බීමට පැන් පොදක් පවා නැති කරන්නට ගත්තු මුග්ධ වූත් තිරස්චීන වූත් දුෂ්ට වූත් පිළිවෙත නිසාවෙනි.
මාවිල්ආරු සොරෙව්ව කොටි ග්රහණයෙන් මුදවා ගන්නට ආරක්ෂක හමුදාවන්ට නියෝග කළේ මහින්ද රාජපක්ෂ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. ජනාධිපති තුමාණන් ය. රාජ්‍යයේ සේනාධිනායකයා ය.
කොටි කල්ලිය සිය බලපුළුවන්කාරකම් ලෝකයාට ම විදහා පාමින් 2006 ජූලි 21 වනදා උන්ගේ සිව්වැනි ඊළාම් යුද්ධය ඇරඹුවේ නැගෙනහිර පළාත රංග ශාලාව හෙවත් වේදිකාව කර ගනිමිනි. උහු නැගෙනහිර දිස්ත්‍රික්කයේ කුඹුරුවලට දියවර නිකුත් කිරීම කපා හැරියේ ය. කොටින් මාවිල්ආරු ජලාශයේ සොරොව්ව වසා දමා ගම්බිම් 15000 කට පමණ පැන් පහසුව අවහිර කොට එතෙක් පවත්වා ගෙන ගිය ඊනියා සටන් විරාමය කීතු කීතු කර දමා හතර වැනි ඊළාම් යුද්ධයට අත වැනී ය. අගෝස්තු 8 වැනි දින සොරෙවේව විවෘත කරන්නට හමුදාව සමත් කම් පෑවේ ය. අනතුරුව යි නැගෙනහිර ජනයා කොටි කටින් මුදා ගැනීමේ සටන දියත් කෙරුණි.
සේනාධිනායකයා වූ රාජපක්ෂයන් ගේ නියමයෙන් හමුදාව නැගෙනහිර කොටි බලය සුනු විසුනු කර මාවිල්ආරු සොරෙව්ව අත්පත් කර ගත්තේ හමුදා ජීවිත රැසක් කොටින්ගේ මෝටාර් ප්‍රහාරවලින් අහිමි කර ගෙන ය. කොටින්ගේ බල කඳවුරු වූ තොප්පිගල, මාලතී බේස්, මීනා බේස්, වාකරේ ස්වර්ණම් බේස්, ආදි කොටින් ගේ මර්මස්ථාන එකින් එක සිඳළමින් හමුදාව පෙරට ගියේ ය.
සාම්පූර්, වාකරෙයි, කන්චිකුඩිචාරු, කොක්කඩිච්ලොයි සහ තොප්පිගල යන ප්‍රදේශවල කළ ප්‍රධාන සටන් ජයගන්නට හමුදාව සමත්කම් පෑවේ ත්‍රිවිධ හමුදාවේ නොසැළෙන අධිෂ්ඨානයත්, අප්‍රතිහත කැපකිරීමත් නිවැරදි නායකත්වයත් නිසි රිසි වේලාවේ ලැබීමෙනි.
එය හුදෙක් යුද්ධයක් නොව මානුෂික මෙහෙයුමකි. වසර ගණනාවක් පුරා කොටි ත්රස්තවාදීන් ගේ නේකාකාර හිංසා පිඩා විඳිමින් ඉතා අන්ත අසරණව ජීවිත ගැටගසා ගත් නැගෙනහිර සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ත්රස්තවාදීන්ගෙන් ගලවා ගැනීමට කළ සටනකි එය. යුද්ධයකි එය.
නැගෙනහිර අත්පත් කරගත් පසු ත්‍රිවිධ හමුදාව යොමු කෙරුණේ පෑන, පැන්සල, අතදරා හිඳිය යුතු ළමා සොල්දාදුවන් ද නාඹර යෞවනියන් ද යොවුනුන් ද බිල්ලට දෙමින් ඊනියා ඊළාම් රාජ්‍යයේ සිහිනය දැක දැක හිඳින පිරිබාහරන් නම් අළුගෝසුවා හා උහුගේ සෙසු අන්තේවාසික කොටි නායුවන් ද ජීවග්රහයෙන් හෝ ඝාතනය කර හෝ උතුරු අර්ධද්වීපය මුදාගැනීමේ අති දුෂ්කර මෙහෙයුම අරඹා ලක්ෂ කීපයක වැසියන් මුදා ගැනීමේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යෑමට යි.
මේ කාලය වන විට වියරු වැටී හුන් පිරිබාහරන් රටේ තන් තන් හී කළ මහා ඝාතන සංඛ්‍යාව ද අඩුවක් නොවී ය.
මන්නාරමෙන් ක්‍රියාන්විතය දියත් විය. ඒ මෙහෙයුම වසර දෙකක තරම් කාලයකි. 2008 අගෝස්තු 2 වැනිදා කොටියන් විසින් පාලනයට නතුකර ගෙන පැවති වෙල්ලන්කුලම නගරය අහිමි විය.
සිලාවතුර, පුනරින්, මාන්කුලම, පරත්තන්, කිලිනොච්චිය, ත්රස්තවාදීන්ගේ උන්ගේ ඊළාම් දේශයේ සිහින අගනගරය උන් අතින් ගිලිහී ත්‍රිවිධ හමුදාව අතට අත්පත් වෙද්දී මේ නරුම ඝාතකයෝ මුලතිව් දිහාවට පල්ලම් බැස්සේ වහසිබස් තෙපලමිනි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක අංශවලට ඇවැසි සියලු පහසුකම් නොඅඩුව ලබා දෙමින් තිස් වසරක් පුරා මේ රටට ශාපයක්ව පවතින ඊළාම් කොටින්ගේ යුද්ධය අවසන් කරන්නට යුදහමුදාපති එවක ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ යුද මෙහෙයුමට අපරිමිත ශක්තියක් එන්නත් කළේ ය.
එතැන් පටන් ගොඩබිමෙන් ද, මුහුදින් ද ගුවනෙන් ද කොටි ත්රස්තවාදීන්ගේ කෲරකම් හමාර කරන්නට ඉෂ්ටාරම්මණයෙන් යුද බිමට පා නැඟූ ත්‍රිවිධ හමුදාවන් හි වීරෝදාර රණවිරුවෝ සියලු බාධක සුනුවිසුනු කරමින් ඉදිරියට පිය නැඟීමේ ප්‍රතිඵලය ඉෂ්ටාර්ථසිද්ධියෙන් ම සාර්ථක කර ගත්තේ දහස් ගණනක ගේ ජීවිත පූජා කරන්නට එකම අදිටනකින් කළා වූ අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොලු විඳ දරා ගන්නට සමත් වූ හෙයිනි.
කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න ද සිල්වා, ජගත් ඩයස්, චාගි ගාල්ලගේ, නන්දන උඩවත්ත මේ ඈ කී නොකී, සේනාංකාධිපතිවරුන් ඉමහත් කැපවීම් කරමින් මුලතිව් වන්නිය ඔස්සේ පුදිකුඩුඉරිප්පුව කරා සිය භට පිරිස් මෙහෙයවීමේ ප්‍රතිඵලය, නන්දිකඩාල් කළපුව දක්වා අහිංසක දෙමළ සිවිල් වැසියන් යුද පලිහක් කරගෙන වියරුවැටී හුන් පිරිබාහරන් හා උහුගේ ළඟ ම ත්‍රස්ත නායකයින් රොත්ත සීමා කළ අයුරු එසමයේ ලාංකේය මෙන් ම ලෝක වාසීන් ද නිවෙස් හි රැඳී හිඳිමින් බලා සිටිය අයුරු....
පිරිබාහරන් ගේ කොටි කල්ලිය බේරා ගන්නට විදෙස් බලවේග, විදෙස් රාජ්‍යයන් හි විලම්බීත කරුවන් ද ගත්තු උත්සාහයත්, ඊට නිසි රිසි පිළිතුරු සපයමින් ශ්‍රී ලංකාව යනු, අන් කිසිදු රටක රාජ්‍යයක යටත් විජිතයක් නොවන වගත්, අභීතව පවසමින් රාජ්‍ය නායකයා සේ මහින්ද රාජපක්ෂයාණන් පෙන්වා දෙමින් ඒ පරදේසක්කාරයින්ට උත්තර බැන්ද අයුරු දැන් නම් බොහෝ දෙනකුට අමතක ය.
කොහොම වුණත් පිරිබාහරන් ගේ හෙවත් වේළුපිල්ලේ ප්රභාකරන් ගේ පණ සිඳුණු මෘත දේහය නන්දිකඩාල් කළපුවෙන් ගෙන එන විට රණවිරුවන් මෙන් ම පොදු මහත් ජනතාව තුටු පහටු වූයේ ඔවුන් ජීවිතයේ වගාදිගා කර ගත් බෞද්ධාගමික ගුණ ධර්ම මොහොතකට යටපත් කරමිනි.
ප්රභාකරන් ගේ මළසිරුර සොයාගත් පසු තිස් වසරක කුරිරු යුද්ධයේ සාපයෙන් ලාංකේය ජන සමාජය මිදුණු බව සිතමින් පසුවන්නේ වුව ද එය මිථ්‍යාවක් බව අද වන් දවසෙක සඳහන් කිරීම වටී.
අප හිංසනය කිසිදු අයුරකින් අනුමත කරන්නේ හෝ ඊට උඩගෙඩි දෙන්නෝ හෝ නොවන්නෙමු. හිංසනය, කවරාකාරයකින් වුව හිංසනයක් ම ය. එය කිසිවකු රිසි දෙයක් නොවේ. ඒත්.....
ජීවත්වීමේ අයිතිය, නිදහසේ අදහස් කියා පෑමේ අයිතිය ජාතිය, ආගම, කුලය හෝ බලය හෝ පදනම් කරගෙන අනෙකා යටපත් කරන්නට කිසිවකු ක්‍රියාකරන්නේ නම් උහු මුග්ධයන් ම ය. තිරස්චීනයන් ම ය. ඒ වග ද සඳහන් කරමින් මේ පින් බිමේ තිස් වසරක් පුරා පැතිර පැවති කොටින්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් අවසන් යැ යි යමකු සිතනවා නම් ඒ බාහිර ලෝකයේ බලවතුන් බලය උදෙසා කරන්නා වූ කවරාකාර වූ හෝ අධම ක්‍රියා ගැන නොදත් හෝ දැන ගෙන නොදන්නා සේ හිඳින කපටි දේශපාලනඥයින් ම ය. ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් බඩ බොකු පුරවා ගන්නා අමනයින් ම ය. උන්ගේ ඩොලර් කාසි පණම්වලට ගිජුව මහා පාණ්ඩිත්‍යයක් පාන්නා වූ සමහර ඇදුරු, මහැදුරු, සාහිතවේදී, හැත්ත බුරුත්ත ය.
ජාතිවාදී විෂ සහිත එන්නත් විද මිනිස් සිත් සතන්, හිස් මොළ කුරෝලු කර සමස්ත සමාජය ම ආබාධිත රෝගීන් බවට පත්කොට, උනට රිසි පරිද්දෙන් මේ බිම උන්ට නතු කරගන්නට පිටපොට ගසනා පිරිස් මේ මොහොතේ පවා, කුමන්ත්‍රණ කරනා බව අප කවුරුත් සිහියට ගත්තොත් එය මතු පරපුරේ පැවැත්මට වැඩදායක වනු ඇත.
ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ලකී විජේරත්න වැනි හා තවත් සිය දාස් ගණන් යුද නයුවන් හා සොල්දාදුවන් ජීවිත පූජා කරමින් කළ කැපකිරීම් හි සැබෑ පලය, සරත් ෆොන්සේකා කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න ද සිල්වා, චාගි ගාල්ලගේ, ජගත් ඩයස්, ජයම්පති තිලකරත්න, වැනි නයුවන් විසින් රටට ලබා දුන් බව ඒ හැමට ගෞරවයක් සේ සඳහන් කළ යුත්තේ ම ය.
ගොඩ බිමින් ද, මුහුදෙන් ද ගුවනින් ද සිල්ප දැක්වූ ලොව දරුණුතම ත්‍රස්තවාදී කල්ලිය සමඟ සටන් කළෝ හෙළදිව් හි හමුදාවෝ ය.
ඊළාම් කොටින් පුරුදු පුහුණු කළා වූ ද උනට කෝටි ප්‍රකෝටි ගණනින් ඩොලර් හා නවීනතම ගිනි අවි ද පිරිනැමූ විදෙස් ලොක්කන් ගේ හීන බොඳ කරන්නට කැප වූ හමුදාවක අභිමානය ලඝු කොට තකන්නට සැදී පැහිදි සිටින අපේ ම පිරිස් ද අඩුවක් නැතිව හිඳිනා රටකට හිමි වන්නේ කුමක් දැ යි හිතන්න ඔබට ඇරයුම් කරම්හ.
ත්‍රිවිධ හමුදාව විසින් තමන් හා හටන් වැද හුන් සන්නද්ධ කොටි හපුටුවන් මුළුමණින් ම විනාශ කර දමද්දී උන් විසින් අහිංසක අසරණ දෙමළ ජනයාගෙන් කඩාවඩා ගෙන තිබුණු රන් භාණ්ඩ තොග ගණනින් ද මුදල් ද, හමුදාව සතුව වත් නොතිබුණු නවීන පන්නයේ තම ස්වයංක්‍රීය ගිනි බට ද සොයා ගත්තේ ය.
කොටි ඝාතකයින් විසින් මරා දමන ලද්දේ හමුදා සාමාජිකයින් විතරක් නොවේ. රාජ්‍ය නායකයකු ඇතුළු දේශපාලනඥයින් ගණනාවකි. එමෙන් ම උහු ඝාතනය කළ පිරිස් අතර ලක්ෂ්මන් කදිරගාමර්, නීලන් තිරුචෙල්වම්, ඒ. තංගතුරෙයි, ඒ. අමීර්තලිංගම් වැනි ද්‍රවිඩ නායකයින් ද වූ බව සටහන් කළ යුත්තේ ම ය . රාජිනී තිරාණාගම වැනි උගත් බුද්ධිමත් අය ද උන්ගේ ගොදුරු වූයේ ඇයි?
උන් සිරිමා බෝ සමිඳුන් සෙවණේ ශීල සමාදානයෙන් හුන් උවැසි උවැසුවන් ද අමු අමුවේ මරා දැම්මා පමණක් ද නැත. සිරි දළඳා වහන්සේ වැඩ හිඳින මාළිගාවට ද ප්‍රහාර එල්ල කරන්නට තරම් නින්දිත වූහ. නිහීන වූහ. තිරස්චීන වූහ.
දකුණේ කපටි හිවල් රැළ ද උතුරේ කැනහිලුන් ද ස්වකීය බලය රැක ගන්නට හෝ බලය ලබා ගන්නට හෝ කරනා මේ දුෂ්ට ක්‍රියා පිළිවෙතට අප හසුව සිටින තාක් කල් අප සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඈ භේදයන්ගෙන් හිස් ගෙඩි පුරවා ගෙන සිටිනු ඇති. ඒ ඛේදවාචකයෙන් මිදෙන්නට නම් අප හැම හිත් හතන් හි වගා දිගා කර ගත යුත්තේ 'මානුෂීක වාදය' හැර අන් කිසිවක් නොවේ. මිනිස්කම රජයන ජන සමාජයක් මේ පුණ්‍යභූමියේ ස්ථාපිත නොවන තාක් කල් දේශපාලුවන්ට වල් ඌරන් හා හබන් කුකුළන්ගේ රංගනය මේ බිමේ රඟ දැක්වෙන බව සැබෑ ය.