උණුසුම් පුවත්විශේෂාංග

හිත ලෙඩ කරන බොරු භූතයෝ (මනෝ ව්‍යාධි)

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් (MBBS, MD Psychiatry - Counsult and Psychiatrist) මහතා සමඟ කළ සාකච්ඡා පෙළක කොටසකි මේ

හිත ලෙඩ කළ මිලිටෙරි යක්කු

මේ හොඳ කඩවසම් ඉලන්දාරි දෙන්නෙක්. නිමලු යි, විමලු යි යනුවෙන් අපි ඔවුන් හඳුන්වමු. නිමලුත්, විමලුත් හැදුණෙ ගංතුලානෙ යාබද ගම් දෙකක. එක ම ඉස්කෝලෙට ගියේ ආවෙ එකට. පන්තියෙත් ඉගෙන ගත්තෙ එකම පේළියෙ එක ළඟ අසුන්වල. පුංචි සන්දියේ පටන් ඇති කරගත්තු දෙන්න ගෙ ඇසුර කවර දා ක වත් වෙනස් වුණේ නෑ. දෙන්න ම එක ම තරමේ උස මහත යි. වෙනසක් ඇත්තං ඒ නිමල්, විමල්ට වඩා තරමක් පැහැපත් එක විතර යි.
            දෙන්නම මෙලොව එළිය දැක්කෙ එකදාස් නමසිය හැත්තැ එකේ අප්‍රියෙල් කැරැල්ල කාලෙ. එකදහස් නමසිය අසූ අට අසූ නමය වෙද්දි දෙන්න ම හොඳ නාම්බො. දකුණෙ කොල්ලන් ආයුධ අරන් රාජ්‍ය බලය අල්ල ගන්න විප්ලව කරද්දි නිමලුත් විමලුත් හමුදාවට බැඳුණෙ රටෙන් කෑල්ලක් කඩන් ඊළමක් අටව ගන්න පිරිබාහරන් ගෙ කොටි කල්ලිය උතුරෙ යි, නැගෙනහිර යි යුද්ද කරද්දි හමුදාවට දිරිය දෙන්න සැබෑ දේශප්‍රේමී හැඟීම්වලින් පිරුණු සිත් සතන්වලින්. කොටින් එක්ක හටන් කොරන්න මේ මිත්‍රයන් දෙන්නා කතිකා කර ගෙන ගෙවල් වලටත් හොරෙන් වගෙ යි දෙන්න ම හමුදාව ට බැඳුණෙ. ඒ ගාල්ලෙ දි.
            හමුදා පුහුණුව ඉවර වෙච්චි ගමන් දෙන්න ම රට රකින්න ගියේ උතුරට. යුද්දෙට බැඳුණු දා පටන් ම නිමලු යි, විමලු යි නන්දිකඩාල් කළපුවෙන් හටන අහවරයක් කරන්න, ඔන්න මෙන්න වෙනකං ම තමන් ගෙන් රට වෙනුවෙන් විය යුතු මෙහෙය ඉෂ්ට කරන්න, අබමල් රේණුවකින්වත් පසුබට වුණේ නෑ, දෙන්නට ම රටේ නායකයන් ගෙන් සම්මාන පිට සම්මානත් ලැබුණා.
            යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, නිමලු යි විමලු යි හිටියෙ එකම කුඩා කණ්ඩායමක. හතුරට විරුද්ධව හුඟක් මෙහෙයුම්වලට දායකත්වයක් දුන්නු නිමල් එක්ක එකට ම හිටිය විමල් මිතුරා ගේ ඇකයේ මරු වැලඳ ගත්තෙ කොටි හපුටුවන් ගෙ මෝටාර් ප්‍රහාරයකට ඉලක්කයක් වෙලා. නිමල්ටත් තුවාල වුණා. ඒත් නිමල්, විමල් අත හැරියෙ නම් නෑ. ඒ ඔහු වෙනුවෙන් තිබුණු සැබෑ මිත්‍රත්වය හින්ද.
            නිමල් තුවාල වුණත් ජීවිතේ බේරුණා. සති දෙක තුනක් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් හුන්නා. ඔහුට දුකේ බෑ. යාළුවා අවසන් හුස්ම පොද වාතලයට එක්කළේ තමන් ගෙ ඇකයට වැටී සිටියදි හින්දා.
            සගයා මියැදුණු පසු නිමල් ගෙ හිතේ හටගත්තු වේදනාව වඩා තීව්‍ර වුණේ, විමල් ගෙ අවමඟුල් උත්සවේට එක්වෙන්න නො ලැබිච්ච හින්ද. නිමල් ප්‍රතිකාර ලබල සුව පත්වෙලා ටිකට් කැපුවට පස්සෙ යුදහමුදා රෝහලෙන්  ගෙදර ආවා විතරයි, පුංචි පුතණ්ඩිය බෙල්ල බදා ගත්තා. තිස්පස් වැනි වියේ පසුවන නිමල්ට ඉන්නෙ එක දරුව යි. කොලු පැංචෙක්. කොලු පැටිය වඩාගෙන හුරතල් කරල බිමින් තිබ්බට පස්සෙ නිමල් ගෙ හිත ලොකු දුකකින් පිරෙන්න පටන් ගත්ත.
            කාලය ගෙවෙද්දි දැන් නිතරම වගේ නිමල් ගෙ හිත ලොකු කම්පනයකින් පිරිල. ඒ කම්පනය හින්ද ද කොහෙද රෑට හරියකට නින්දක්  ඇත්තෙත් නෑ.
            මෙහෙම ඉන්න එක නිමල්ට හරි ම වදයක් වුණා. මොක ද කියනවා නම්  වරින් වර යුද්දෙ දි වුණු සිද්ධීන්, එක පිට එක මතකයට නැගෙනවා. මේ දැන් ඇස් දෙක ඉස්සරහ යුද්දෙ දි සගයන් එක්ක කොටින් මරන්න ගිය හැටි. කොටි කල්ලියෙ කොටි කොල්ලන්, කෙල්ලන් ගෙ මළසිරුරු පේනව පේනව වගේ. ඒ වගේ ම හමුදාවෙ සහෝදර සෙබළුන් වෙඩි කන හැටි, මෝටාර්වලට ඉලක්ක වෙලා තුවාල වෙන හැටි. කෙඳිරිලි හඬත් එක්ක ම සගයන් මියැදෙන හැටි..... ඔය වගේ එක එක ආත බූත පේනවා.
            කාල තුවක්කු වෙඩි හඬවල්, කාල තුවක්කු උණ්ඩ පිටවෙද්දි නැඟෙන දුම්වලා, කොටි කඳවුරු ගිනිගෙන පිච්චෙන හැටි.... ඔය අතරේ හමුදා කඳවුරුවලට කොටින් ගෙ කඩා පැනීම්.... හමුදා කඳවුරු විනාශ වෙන අයුරු නිමල් ගෙ ඇස් පනාපිට පේන්නෙ ඉවරයක් නැතිව. එක දිගට..... තුවල වුණු මිතුරන් ගෙන් ගලා යන උණු ලේ දහරා මේ හටන් බිමේ වැගිරෙනව වැගිරෙනව වගෙයි නිමල්ට පේන්නෙ. කෙඳිරිලි හඬවල් අහන් ඉන්න බැරි තරම්. ඒ ඔක්කොම යටපත් කරන් එක පාරට ම මේන්න විමල්ට මෝටාර් එකක් වදිනවා. ඔවුන් අසලට පියඹා ආ මෝටාර් කෑල්ලක් විමල් ගෙ ඔළුවට වැදෙන හැටි නිමල් ගෙ ඇස් ඉස්සරහ වෙද්දි ඇතිවෙන කම්පනේ නම් දරා ගන්න බෑ. ඒත් එක්ක ම විමල් අසල ම හුන් තමා ගෙ සිරුර වෙත පාත් වෙද්දි ඔහු බදා ගත්තු හැටි..... පික්චර් එකක රූප රාමු පෙළක් වගේ එක දිගට දිගෑරෙද්දි නිමල් ගෙ හිතට ඔට්ටු වෙන්නෙ කාටවත් කියන්න බැරි තරමේ බයක්.... ඒ බය ඇති වෙන කොට ඇඟ පුරා හීතල ගඩු පිපෙන්න පටන් ගන්නවා. දිව කට වියැළෙනවා.... ඇඟ කිලිපොළා ගිහින් අප්‍රාණික ගතියක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ම ලේ ගඳ....... මිනී කුණු ගඳ......
            මේවා රෑ ක්, දවාල ක් කියා වෙනසක් නැතිව නිමල් ට පේනවා පේනවා. ඕන්න හිටි ගමන් කාල තුවක්කු හඬක්. නිමල් එක පාරට ම ගැස්සිලා බය වෙනවා. බයෙන් වෙවුලනවා. නිමල්ට දැනෙන්නෙ ඒ වෙඩි සද්දෙත් එක්ක තමා එක පාරට ම උඩ ගිහින් බිම වැටෙන්නා වගේ. ඒත් එක්ක ම හුස්ම හිරවෙන ගතියකිනුත් පීඩාවක් ඇතිවෙලා ඔළුව දෑතින් ම අල්ලන් වේදනාවෙන් ඇඹරෙනවා. සැණෙකින් නිමල් නො දැනීම මරහඬ දී ගෙන කෑ ගහනවා. හැබැයි මේ ඔක්කොම වෙන්නෙ ක්ෂණයකින්. ක්ෂණයක් විතරයි. තත්පරයක් නැත්තං දෙකක් ඇතුළත ඔහු ට ගෙන දෙන මේ පීඩාවන් සුළුපටු නෑ.
            හිත නිවා ගන්න කියා හිතන් නිමල් තම මියගිය මිතුරා ගේ නිවසට යන්න කල්පනා කළේ ඔහොම දේවල් හිතේ මැවි මැවී අසහනයෙන් පෙළෙමින් හිටිද්දි. මං මහ ගුණමකු මිනිහෙක්. විමල් ගෙ දිහා වෙ ගියොත් අවසන් කටයුතු වලට එන්න බැරි වෙච්චි එක ගැන අඩු තරමින් පවුලෙ අයට කිව්වොත් හිතට සැනසීමක් ඇති වේවි නැත්තං. විමල් එක්ක මං ආශ්‍රය කළේ එක බඩවැල කඩා ගෙන ආපු සහෝදරයෙක් වගේ. ඒත් මං ගෙදර ඇවිල්ලත් දවස් ගාණක් ගතවුණා. මට නිකමට වත් හිතුණෙ නෑ විමල් ගෙ ගෙදර පැත්තෙ ගිහින් එයා ගෙ අම්ම තාත්තල ගෙ නෝන ගෙ දරුවන් ගෙ තත්ත්තෙ හොයා බලන්න.
            එහෙම කල්පනා කළ නිමල් තවත් සගයකුත් කැටිව විමල් ල ගෙ දිහාවෙ යන්න හිතන් ගෙදරින් එළියට බැස්සා. නිමල් සගයත් එක්ක විමල් ල ගෙ ගමට හැරෙන පාරට හැරුණා විතරයි ලොකු බයකින් හිත පිරෙන්න ගත්තා. ඇඟපත සලිත වුණා. ඔළුව කැරකෙනවා වගෙ යි දැනුණෙ. 
            “මචං මගේ ඇඟට මොකක්දෝ අමාරුවක් දැනෙනවා. අපි වෙන දවසක යමු.... මයෙ ඔළුව කැරකෙනව කැරකෙනව වගේ. ආපහු ගෙදර යං”
            ඔහු තෙපලූ වදන්වලින් සගයා තැති ගත්තා. කිසිවක් නො පවසා ම ඔහු නිමල්ට අවනත වුණා. දෙන්නා ආපහු ගෙදර බලා ආවා. සගයා නිමල් ගෙ ඔළුව කැරකෙනවා ය කියා කී කතාව බිරියට කීවා. බිරිය සැමියා ගේ මේ වෙනස හොඳින් වටහා ගත්තා. ඈ එයින් බියපත් වුණේ සිය ස්වාමියා කිසියම් බරපතල ලෙඩකට දුකකට පත් වී සිටින බවට හටගත්තු සිතිවිලි ගොන්නත් එක්ක.
            නිමල් ගෙ ඇඟපත දාඩියෙන් පිරිලා. දහඅතේ කල්පනා කර කර කුස්සියට වැදුණු බිරිය සැමියාටත් මිතුරාටත් තේ පීරිසි දෙකක් වක්කරං ආවා. නිමල් තේ කෝප්පය අතට අරන් බොන්න හදන කොට ම සට සට ගාලා අත වෙවුලලා තේ කෝප්පෙ ඇඟ පුරා හීරුණා.
            තමන් ලොකු බයකින් පෙළෙන බව නිමල් බිරිය එක්ක කීවේ වචන කඩින් කඩ පිට කර කර. යාළුවා නිමල් ගෙත් ඔහු ගේ බිරිය ගෙත් මුහුණු මාරුවෙන් මාරුවට බැලුවෙ තුෂ්නිම්භූත වූ වතෙකින්. බිරිය සිය සැමියා සති ගාණක පටන් පත්ව සිටින තත්ත්වෙ ටිකක් සැමියා ගේ මිතුරා ට කීවේ සෝ බරව.
            “මට නං හිතෙන්නෙ මැරිච්චි විමල් ගෙ භූතාත්මෙ නිමල් ට වැහිලා? ඒකයි ඔහොම සිද්ධි වෙන්නෙ.”
            “ඉතින් අයියෙ මං මොනවා කියා කරන්න ද?”
            “නරක ද යකැදුරු කමක්වත් කළොත්. නැත්තං ඉතින් මේක තව තව වැඩි වෙන්නත් පුළුවන් නේ ද නංගියෙ??”
            සැමියා ගේ මිතුරා ගේ උපදේශය ගැන කල්පනා කළ නිමල් ගෙ බිරිය නැන්දම්මා මාමණ්ඩි එක්කත් තොවිලයක් කළොත් නිමල්ට සුවකර ගන්න පුළුවන් නේ ද?” යැ යි පැවසුවා.
            නිමල්ල ගෙ දෙමාපියෝ දක්ෂ කට්ටඬියකු කැඳවා විස්තරය කීවා ම තොවිලයක් කළ යුතු බවයි ඔහු කීවේ. නැත්තං මළගිය ප්‍රාණකාරයා තව තව හානි කරන්න පුළුවන් ය යන අනතුර ද කට්ටඬි උන්නැහෙ පෙන්නා දුන්නා. තොවිලයට දින නියම කෙරුණා. තොවිලෙ හමාර වුණා ම මළගිය ප්‍රාණකාරයා වෙනුවෙන් පින්පෙත් දිය යුතු බවත් ඔහු කීවා. ඒ අනුව සතියක් ම පන්සලේ පුදපූජා පැවැත්තුවා.
.           තොවිලයෙන් පස්සෙ සතියක් දෙකක් විතර කිසිම කරදරයක් නැතිව නිමල් කාලය ගත කළේ බෝ සෑල්ලුවෙන්. ඒත් හිටිවන ම ඔහු පෙර පරිදි ම දහවල් ය රෑය කියා නැතිව බයෙන් භ්‍රාන්තවී කෑ ගහන්න පටන් ගත්තා. කෑම බීම දුන්නහම පිඟාන පිටින් ම වීසි කරන්න වුණා. නිතර ම තරහෙන් පිපිරෙමින් බිරියට විතරක් නෙවෙයි නිමල් හුඟාක් ම ආදරෙන් සිටිය කොලු පැංචටත් කුණුහරුපෙන් බණින්න පටන් ගත්තා. කිසිම කෙනෙක් එක්ක කතා නො කර හැරියා විතරක් නෙ වෙයි කාමරෙන් එළි පහළියට බැහීමත් අත් හැරියා.
            ඔහොම දවසක් දෙකකට පස්සෙ නිමල් කාමරේට වෙලා ලියුමක් ලියනවා. බිරිඳ බොහොම සිත් තැවුලෙන් සැමියා කරන මේ විකාර ඉවසා වදාරමින් කඳුළු සල සලා පැත්තකට වෙලා බලා හිටියෙ ලියුම ලියා තබන්නෙ  කොහෙද කියා. දැන් ඇගේ හිතේ එක එක සැක සංකා ඉපදෙනවා.
            නිමල් ගෙ ලියුම දිග එකක් නෙවෙයි. කෙටි එකක්.
            “මගේ හිතේ ඇතිවෙන බය මොකක් ද කියා මට හරියට තේරුම් බේරුම් කර ගන්න තරම් කල්පනා ශක්තියක් මට නෑ. තව දුරටත් මට මං විඳින මේ දුක දරාගෙන ඉන්න බෑ, මගේ ජීවිතය කොයි වෙලාවක හරි නැති වෙනවා කියා මට හොඳටෝම විශ්වාසයි. ඒක කොහොම වෙනවද කියන්න මං දන්නෙ නෑ. මේ වද වේදනාව විඳ විඳ ඉන්නවට වඩා මං මගේ ජීවිතය නැති කර ගත්තොත් ඔක්කොම ඉවරයක් වේවි. මං ගැන අම්මා, තාත්තා, ඔයා ඇතුළු කවුරුත් ම දුක් වෙන්න එපා.”
            මේ ලියුම දැක්ක ගමන් නිමල් ගෙ බිරිය ගෙ ඉහටත් උඩින් ගින්දර පත්තු වෙන්න පටන් ගත්තා. ඈ අඬ අඬා දුවගෙන ගිහින් නිමල් ගේ අම්මා අතේ ලියුම තැබුවා. ඇයත් ඒක කියෙව්වා විතරයි ඈට ඔට්ටු වුණු බයක තරම......
            “දුවේ පුතාට මොකක් හරි මානසික ආබාධයක් වගෙ යි. නැත්තං ඉතින් මේ වගේ ලියුමක් ලියන්නෙ නෑ... අපි අද ම ගිහින් පුතා ඉස්පිරිතාලෙ නවත්තමු. එතකොට දොස්තර මහත්තුරු හොයා ගනීවි මොකක් දැ මයෙ කොල්ලට හැදිල තියෙන ලෙඩේ.... හොයාගෙන බේත් කරාවි.”
            සැලෙන ගතින්, හැඬූ කඳුළින් යුතුව, වයෝවෘද්ධ මව නිමල් ගේ බිරියට කීවා. තත්පරයක්වත් පමා නොවී මේ නැන්දම්ම ලේලිය ගාලු ආවේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හොයා ගෙන.
            නිමල් කරාපිටිය ඉස්පිරිතාලෙ මනෝ ව්‍යාධි ඒකකයට ඇතුළත් කෙරුණෙ ඒ අනුව.
            මනෝ වෛi විශේෂඥවරයා නිමල් එක්ක කතාබහේ යෙදුණා. ඔහු තමා පත්ව සිටින දුක්ඛිත තත්ත්වය වෛද්‍යවරයා හමුවේ විස්තර කළේ පැයක තරම් කාලයක් ගෙවුණු තැන.
            මෙවැනි අවස්ථාවකට කෙනෙක් පත් වෙන්නෙ කිසියම් බරපතල සිද්ධියක් හේතුවෙන් ඇති වන ප්‍රබල මානසික පීඩාවකින්. කම්පනයකින්. එය ස්වාභාවික අනතුරකින් එහෙමත් නැත්තං සුනාමි ව්‍යසනය වගේ නැත්තං නාය යෑමක් වැනි අවස්ථාවකට මුහුණ පෑමෙන්, ලිංගික අපචාරයකින්, හදිසි අනතුරකින් වගේ අති ප්‍රබල මානසික පීඩාවකට හසුවූ විට, නිමල් මුහුණ පා සිටින තත්ත්වයට කෙනෙක් ගොදුරු වන්න පුළුවන්.
            මෙහි ප්‍රබලතම ලක්ෂණය තමා රෝගියා මුහුණ පෑ ව්‍යසන අවස්ථාවේ ඇති වූ සිද්ධීන් නිතර නිතර මැවි මැවී පෙනීම. ඒ දකින දේවල් හරියට ම, අපි චිත්‍රපටයක දකින දසුන් පෙළක් සේ එක දිගට ඒ දර්ශන ඇස් ඉදිරියේ විද්‍යාමන වීම.
            ඒ ප්‍රබල ව්‍යසන අවස්ථාවේ පැවති පරිසරය, නැවත පේනවා. කෙටියෙන් කීවොත් ඒ වෙලාවේ කිසියම් ගඳක් හෝ සුවඳක් වෙද ඒ අයුරින් ම යි ගඳ හෝ සුවඳ හෝ ඔහුට හෝ ඇයට හෝ දැනෙන්නෙ. මේ සියල්ල ඔහු ගේ මනසේ ප්‍රති නිර්මාණය වී බෝ වෙලාවක් පවතින්නෙ නෑ.... තත්පර කීපයක්.... යළි එය රෝගියා ගේ ඇස් ඉදිරියේ දිස්වෙනවා වගේ දැනෙනවා. පෙනෙනවා. මේක අති ප්‍රබල, බරපතල මානසික බලපෑම නිසා සමහර විට සිහිනයක් වගේ යළි දැකීමෙන් රෝගියා නින්දෙන් අවදි වෙන්නෙ බොහොම බයකින් ත්‍රාසයකින් පෙළෙමින්. ඒ වගේ ම මේ සිද්ධියට ගොදුරු වූ පුද්ගලයා මෙයින් නිතර නිතර බිය ගැන්මකට, තැති ගැන්මකට පත්වෙනවා. මෙවන් රෝගීන්ට ඇතිවන බිය නිසා ම, හෘදය ස්පන්දනය වැඩි වෙනවා. හුස්ම ගැනීම අපහසු වෙනවා. ජීවිතය කෙරෙහි කලකිරීම් ස්වභාවයක් මෙවන් පුද්ගලයන් ගෙන් දිස්වෙනවා. පසුකාලීනව විශාදි තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
            නිමල් නම් මේ රෝගියා පශ්චාත් ව්‍යසන ක්ලමථ (Post traumtic stress disorder) අවස්ථාවට පත් වෙන්න ප්‍රබලතම හේතුව ඔහු ගේ මිතුරා ඔහු ගේ ඇකයේ දී ම මරණයට පත්වීම. ඒක නිමල්ට දරා ගන්න බැරි බිහිසුණු විලාසයකින් තමයි ඔහු පීඩාවට පත් කරන්නෙ. හේතුව ඒක යි.
            රණවිරු නිමල් ගොදුරුවී සිටින්නේ පශ්චාත් ව්‍යසන ක්ලමථ රෝගී තත්ත්වය බව වෛද්‍යවරයා සිය අත්දැකීම් ඔස්සේ මනාව අවබෝධ කර ගත්තා. ඒ අනුව රෝගය විනිශ්චය කරගත් ඔහු රෝගී තත්ත්වය පාලනයට ඖෂධීය ප්‍රතිකාර ඇරඹුවා. එමෙන් ම ඔහු පීඩා විඳින මානසික ව්‍යාධියෙන් ගලවා ගන්නට අවශ්‍ය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර උපයෝගි කර ගත්තා. රැකියාවට ආපසු යෑමේ උවමනාවක් නිමල් දැක්වුයේ නෑ. දැන් ඔහු ඔහුගේ වෘත්තීය තත්ත්වයට ගැලපෙන සුදුසු රැකියාවක නියැළෙමින් බිරියත් දරුවත් පවුලේ සාමාජිකයනුත් එක්ක බොහොම හොඳින් ජීවිතය ගත කරනවා.
( ලබන සති අග තව කොටසක්)
- සුගතපාල මැන්දිස් -