ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත විචාර

හේ ගුණදාස අමරසේකර ය.

අනූහත් වැනි වියට පා නඟා අද වන විට දෙදිනක් ගෙවා සිටින මහා සාහිත්‍යධරයාණෝ!

''අද හවස වැස්සෙ නැහැ. ඒක නිසා හෙට ඉඳලවත් මේකෙ වැඩ පටන් ගන්න ඕන. වත්තට යෑම මාසෙකට විතර වත් නවත්වන්න වේවි" යි රෑ නිදාගන්නට ගිය විට තාත්තා කීවේය. තාත්තා කිසිවක් කියන්නේ කෙළින් ම නොව අන් කිසිවකුට කියන්නාක් මෙනි"

(කරුමක්කාරයෝ - 1955 කතාව ඇරඹුම)

'උඹේ මුද්ද අත් ඔරලෝසුව පෑන

ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොට ද

මතක් වෙන්න ව ද නැත් නම් විකුණගෙන

හාල් තුනපහේ අරගෙන කන්නට ද'

 (සිය පුතු එවා ඇති ඔහු සතු අන්තිම වස්තුව වූ මුද්ද, ඔරලෝසුව, පෑන සහ ඇඳුම් පොදිය තුරුලු කරගෙන, පොලිසියක් ඉදිරිපිට වැලපෙන මවක ගේ රූපයක් 1971 කැරැල්ල සමයේ දී ලන්ඩන් පුවත් පතක පළ විය. දිනපොතේ ලියන ලද කවියට නිමිත්ත එය වෙයි)

දිනපොතේ ලියූ කවිය - ආවර්ජනා - 1975)

හු නිර්මාණකරුවෙකි. අති දක්ෂ නිර්මාණකරුවෙකි. ඔහු නවකතා ලියුවේ ය. කෙටිකතා ලිව්වේ ය. කවිපද ඇමුණුවේ ය. සාහිත්‍ය සමාජ විචාර ලියුවේ ය. ඒවායින් දෙකක් හෝ තුනක්  රාජ්‍ය සම්මානයට ද පාත්‍ර විය.

මෙබිමේ සිටින විශිෂ්ටතම සාහිත්‍යයධරයා ඔහු ය.දෙටු නිර්මාණකරුවා ඔහු ය.

ඔහු පෙරළිකාරයෙකි. ඒ සිංහල සාහිත්‍යයෙහි දැවැන්තයකු ලෙස කළ පෙරළි ය. ඒමතුද නොවේ. ස්වකීය චින්තනය ඉතා නිරවුල්ව පැහැදිලිව රටට ජනතාවට ඉදිරිපත් කරන්නට බිඳකුදු බියක් හෝ සැකයක්  හෝ ඇත්තකු ලෙස නොවේ. චින්තකයකු සේ හෙළදෙසේ චින්තනය ගැන බොහෝ දෑ කතා කළේ ය. අද ද ඒ කතාව හමාර නැත. දිගට ම ජාතියක් හැටියට හෙළයන් මව්බිම රැක ගන්නට සංවර්ධනය කරන්නට පිය නැඟිය යුතු දිසාව හෙවත් මඟ සලකුණු ලාංකේය ජනසමාජයට පෙන්වා දෙන්නට නිබඳව ම පියවර ගන්නේ ය.

ඔහු ඒ සඳහා සිය සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි නොමිනිය හැකි මෙහෙයක් කළ, කරනා  අති දැවැන්තයෙකි. අපේ යුගයේ සිටිනා සැබෑ මිනිසා ඔහු ය. ප්‍රදීපස්ථම්බය ඔහ ය.

කවුරුන් කවර ලෙසකින් ඔහු පිළිබඳව කවර මතයක් දැරව ද හේ තම දැක්ම නිවැරදිව, නිරවුල් ව ඉදිරිපත් කරමින් උත්සාහ ගන්තෙත්, ගන්නේත්, හෙළදිව වාසීන්ට මේ බිමේ ඇති අගය මොනවට පැහැදිලි කරමින්, හෙළ මහා සංස්කෘතියේ අගය වටහා ගෙන එය රැක ගන්නට උත්සුක වෙන ලෙස යි.

ඔහු ගේ මතය කෙනෙක් පිළිකෙව් කරති. තව කෙනෙක් ඉහළින් අගයති. පිළිගනිති. ඔහු විවාදපන්න මත ඉදිරිපත් කරන්නෙකි. චින්තකයෙකි. දාර්ශනිකයෙකි. විදග්ධයෙකි.

හේ නමින් ගුණදාස අමරසේකර ය. දොස්තර ගුණදාස අමරසේකර ය. ආචාර්ය ගුණදාස අමරසේකර ය. සූරියාරච්චි ගුණදාස අමරසේකර ය ඔහු.

ඔහු උපන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ය. බද්දේගම ආසනයේ යටලමත්තේ ය. යටලමත්ත පාසලේ  ගුරු නිවාසයේ ය. ඒ ඔහුගේ මෑණියන් ඒ පාසලේ ගුරුවරියක සේ සේවය කරද්දී ය.  ඔහුගේ පියා සිංහල වෙදදුරෙකි. 1929 ඉල් මහේ 12 වැනිදා උපන් ගුණදාස අමරසේකර, ගමේ පාසලෙන් ද අනතුරුව බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ද ඊට පසු රතනසාර විදුහල්වලින් ද, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද සිල්ප හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එයින් බටුයේ දන්ත වෛද්‍යවරයකු සේ ය. අද දවස වන විට ඔහුගේ වයස හවුරුදු 96 ක් ඉක්ම දෙ දොහකි.

නාලන්දාවෙහි ඉගෙන ගනිමින් සිටිය දී 'සෝමා' නම් කෙටිකතාව ලියා, අන්තර් ජාතික කෙටිකතා තරගයක ප්‍රථම ස්ථානය දිනීමෙන් පසු සමඟ ඔහු කෙරෙහි සාහිත්‍ය ලෝකයේ අවධානයට හසුකර ගැනීමට ගුණදාස අමරසේකරයෝ සමත්කම් පෑහ. එයින් ලද උත්තේජනයෙන් හේ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය එළිදක්වමින් ලාංකේය සාහිත්‍ය කෙත වැපිරීමට මුල පිරී ය. ඒ 1953 වකවානුවේ දී ය.

අමරසේකරයන් ගැන යමක් කියන විට ලියන විට ඔහු ගැන බෝ දෑ සඳහන් කළ හැක.

වඩා නොඋස් වූ සිරුරක් හිමි අමරසේකරයාණන් ගේ අභ්‍යන්තරයේ හුන්නේත්, හිඳින්නේත් මහා විසල් මිනිසෙකි.

කෙටිකතාවෙන් සාහිතකරණයේ අයන්න කීම පටන්ගත් ඔහු සිංහල කවිකෙත අස්වැද්දීමට සිත යොමු කරන්නේ 1955 දී ය.ඒ 'භාව ගීත' ජනගත කිරීමෙනි. එතැනින් නොනැවතුණු ගත්කතුවරයා, සාහිත්‍යධරයා 'ජීවන සුවඳ' ඔස්සේ ඔහුගේ ප්‍රාගුණ්‍යය කෙබඳුදැයි හෙළයේ සාහිත්‍යධරයන්ටත්, පාඨකයින්ටත්, රසවතුන්ටත්, සතතාභ්‍යාසයේ ම නිරත වෙමින් විදාළේ ය. 1956 දී හෙතෙම සිංහල කෙටිකතාව ලියන්නට පෙර අප මේ සටහන අරඹමින් දක්වන ලද පිවිසුමට පාදක කර ගන්නා ලද 'කරුමක්කාරයෝ' 1955 දී ම ලාංකේය ජනතාව අතපත් කරමින් නවකතා කරණයට ප්‍රවිෂ්ට වීම ඔහු තුළ හිඳිනා සාහිත්‍යවේදියා කෙබන්දෙක්දැ යි වටහා ගන්නට ඉඩහසර පාදා දුන්නේ ය.

නවකතාකාරයෙක් හැටියට 'යළි උපන්නෙමි', 'දෙපා නොලද්දෝ', 'ගන්ධබ්බ අපදානය', 'අසත්‍ය කතාවක් - ප්‍රේමයේ සත්‍ය කථාව', 'ගමනක මුල', 'ගම්දොරින් එළියට', 'ඉනිමඟ දිගේ ඉහළට', 'වංකගිරියක', 'යළි මග වෙත', 'කියනු මැන දිවි අරුත', 'ගමනක අග' ඈ නවකතා රැසක් අත දරන්නා වූ පන්හිඳෙන් ඔහු අකුරු කළේ සිය විචක්ෂණ බව කදිමට පෙන්වා දෙමිනි.

'රතු රෝස මල' ලියා 'ජීවන සුවඳින්' මත් වූ ගුණදාස අමරසේකරයෝ 'එකම කථාව', 'එක්ටැමෙන් පොළොවට බැස' 'කතා පහක්' ගොතා 'ගල් පිළිමය හා බොල් පිළිමය' කෙබඳුදැ යි හෙළයේ පාඨක රසවතුන්ට කියවන්නටත්, කියවා යමක් හිතන්නටත් මඟ හෙළි පෙහෙළි කර දුන්නේ ය.

භාව ගීත' ලියා කාව්‍ය ක්ෂේත්‍රය ද පිවිසි ගුණදාස අමරසේකරයාණන්, එය ද දික්විජය කරමින් 'උයනක හිඳ ලියූ කවි 'අමල් බිසෝ'ට ගයමින් 'ගුරු සෙවන ආවර්ජනය කළේ රසිකයින්, පාඨකයින් වෙත සිය නිපුණත්වය විදාළමිනි.

''බුද්ධිමත් පාඨකයාට තමා වසන සමාජය සහ තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් වන නවකතාව අප විසින් නොසෙවුණ කැඩපතක් බවට පත් වන්නට වූයේ කලකට පෙර යි. අද වන විට සිංහල නවකතාව ඒ තත්වයෙනුත් පහතට ඇද වැටී බාලයන් පිනවන විනෝදාංශයක් මෙන් ම වාණිජ රැල්ලකට සරිලන වෙළඳ භාණ්ඩයක් බවට පත් ව තිබේ.''

අමරසේකරයෝ ඒ බව දක්වන්නේ අදින් හවුරුදු දොළහකට පෙර ය. එනම් 2013 වසරේ  'කියනු මැන දිවි අරුත' වියමන පළ කරමින් එහි පෙරවදනට මුල පුරමිනි.

වෛද්‍ය ගුණදාස අමරසේකරයෝ ජාතික චින්තනය මේ යැයි සමාජගත කළහ. එමඟට පිළිපන් සෑහෙන පිරිසක් අද මෙරටෙහි සිටිති.
ඔහු හෙළ මහා සමාජයේ අක්මුල් සොය සොයා අනාවරණය කරන්නට අද  දක්වා ම ඇප කැපවී හිඳියි.
අමරසේකරයන් ගැන බොහෝ දේ කියන්නට ලියන්නට ඇත්තේ ය. ඒත් සබඳ අපි මෙතැනින් හමාර කරන්නෙමු.
අමරසේකරයෝ හැදෑරිය යුතු චරිතයක් වෙති.ඔහු හෙළි පෙහෙළි කළ මඟ ඔස්සේ හෙළ වැසියා ගමන් කරන්නේ නම්...
මෙබිමට ජනසමාජයට නේක විධ අභියෝග එල්ල වූ හැම විටෙක ම ගුණදාස අමරසේකරයන් පෙරට ආ අයුරු අප මතකයට නැඟේ. අද වන විට 96 වැනි විය ඉක්මවා සිටින මේ වෘද්ධකර මිනිසා සාහිත්‍යධරයා, ප්‍රාඥයා නොබියව නොසැලී පෙරට එන අයුරු ඔබට කියන්නේ නම් මා ඒ ගහ දන්න මිනිහාට කොළ කඩා පෑමක් නොවන්නේ ද?

අදින් හවුරුදු හතළිහක පමණ කාලය පුරා ඔහු ලාංකේය ජනයා විද්වත් සංවාදයකට යොමු කරන්නට සිය මතය, දැක්ම, කියාපාමින් නෙත්තියෙහිම හිඳ කරන කියන දේ බැහැර කරන්නට පිටපොට ගසා ගත්තු පිරිසක් සිටිය ද ඔවුන් හඳට පොලු ගසමින් වෙහෙස වෙන්නන් බඳු බව නොකියා ම බැරි ය.

වැස්ස

උදේ හිට වහිනවා මහ වැහි

මට පෙනේ යන්තන් ජනේලෙන්

වැහැපන් මහ වැස්ස නො නැවතී

පාර - තොට ගහ - කොළ වසාගෙන

 

ගුළි වෙලා මගෙ මනස ඈතට ම

තුරුලු වී ඇත ඇඳෙහි වකුටු ව

වෙළාගෙන ගහ කොළ පාර - තොට

වැහැපන් නො නැවතී එක ලෙස

 

මා වෙළා ගෙන ගේ වෙළාගෙන

පාර - තොට ගහ කොළ වෙළා‌ෙ/න

තුරුල් නො කර ම එක ම යායට

 වැහැපන් දෙවියනේ පිට පිට

 

ඇත්තෙ නැහැ ඉස්කෝලෙ අද නම්

සත්තක යි මට එන එකෙක් නැහැ

ඉන්න පුළුවන් ඇඳේ උණ්ඩි ව

වැහැපන් දෙවියනේ පිට පිට

 

මා වෙළාගෙන ගේ වෙළාගෙන

පාර - තොට ගහ - කොළ වෙළාගෙන

තුරුල් නො කර මපැළලි බැඳගෙන

වැහැපන් නො නැවතී පිට පිට

 

තුරුල් කෙරුවා වැස්ස මේ දැන්

වීසි විය මා අඳෙන් එළියට

හිඳී ගොස් ඇත දැහැන මා සිත

එදා නැති ඉස්කෝලෙ ඇත අද

 

වහා නැඟිටිය යුතු ය මෙ තැනින්

පෑව්ව යි වැස්ස යි වෙනස නැත

තිබේ මෙහෙවර නොයෙක් යුතුකම්

බැරිය හැංගී ඉන්න වැහි යට

(ආවර්ජනා - පිටු 99, 100)

ඉන් සතියකට පමණ පසු ගුණසෝම සංජීවට ලියුමක් ලියා ඇරියේ ය. එයින් ඔහු කියා සිටියේ මහ ගෙදර විකුණ දැමීමට කටයුතු කරන ලෙසය.

(කියනු මැන දිවි අරුත කෘතියේ අවසන් ඡේදය - පිටුව 135)

අනූහත් වැනි වියට පා නඟා අද වන විට දෙදිනක් ගෙවා සිටින විද්වතාණෙනි! ඔබ ලාංකේය ජන සමාජයට පහන් ටැඹක් වී චිරාත් කාලයක් රටත්, දැයත් බබළවන්නට හෙළදිව ආසිරි!!!

- සුගතපාල මැන්දිස් -